2. සූකරමුඛ ප්රේතවස්තු වර්ණනාව
කායො තෙ සබ්බ සා වණ්ණෙ - මෙම ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ රජගහනුවර ඇසුරු කොට ලෙහෙනුන්ට බත් වැටුප් දුන් තැන වූ වේළුවනාරාමයෙහි කලන්දක නිවාපයෙහි වැඩ වසන්නේ එක්තරා ඌරු මුවක් ඇති ප්රේතයකු අරභයා දේශනා කළ සේක. ඈත අතීතයෙහි කාශ්යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි එක් භික්ෂුනමක් කායද්වාරයෙන් හික්මීම ඇත්තේ විය. වාක් ද්වාරයෙන් හික්මීම නැත්තේ විය. භික්ෂූන්ට ආක්රෝශ කරයි. පරිභව කරයි. ඒ භික්ෂුව කළුරිය කොට නිරයෙහි උපන්නේ, එක් බුද්ධාන්තරයක් මුළුල්ලේම ඒ නරකයෙහි පැසී, එයින් චුතව මේ බුද්ධෝත්පාදයෙහි දී රජගහ නුවර සමීපයෙහි ගිජ්ඣකූට පර්වත ප්රාන්තයෙහි, ඔහුගේම කර්මයේ විපාක වසයෙන් දුකෙන් හා පිපාසයෙන් මඩනා ලදුව ප්රේතයකු වී උපන්නේ ය. ඔහුගේ ශරීරය රන්වන් පැහැ විය. මුහුණ ඌරු මුවක් වැනිය. එක් දිනක් ආයුෂ්මත් නාරද භික්ෂුව පර්වතයෙහි වසන්නේ උදේට ශරීරය පිළිදැගුම් කොට පා සිවුරු රැගෙන රජගහ නුවරට පිඬු පිණිස වඩින්නේ අතරමග දී ඒ ප්රේතයා දැක ඔහු විසින් කරන ලද කර්මය විමසන්නේ.
4. ඔබගේ ශරීරය සියල්ල රන්වන්ය. සියළු දිශාවන් බබළන ශරීර ප්රභාවෙන් බබළයි. එහෙත් තොපගේ මුඛය වනාහි සූකරයකුගේ බඳුය. පෙර ජාතියෙහි කෙබඳු කර්මයක් කළේ ද.
එහි කායො තෙ සබ්බ සොවණ්ණෙ - ඔබගේ ශරීරය දේහය සියල්ල ස්වර්ණ වර්ණය. රත් වී දිලිසෙන රත්රන් සමානය. සබ්බාදිසා - තොපගේ ප්රභාවෙන් හාත්පස සියලු දිසා ප්රභාශ්වර වී බබළයි - ආලෝකමත් වෙයි. අන්තර්ගත හේතු එහි අරුත්ය. ඔහුගේ ශරීරය මුළුමනින් රන්වන් වී සියලු දිසා බබළයි, සියලු දිසා ආලෝක වෙයි. විදුලියක් සේ දිලෙයි. මුඛන්තෙ සුකරස්සෙවා - මුඛය වනාහි ඌරකුගේ මෙනි. ඔබගේ මුහුණ ඌරකුගේ මුහුණ හා සමානය. අර්ථයි. පෙර අතීත ආත්ම භාවයන්හි දී කවර ආකාරයේ අකුසල කර්මයක් කරන ලදදැයි විචාළේය.
තෙරුන් විසින් කරන ලද කර්මය විචාරණ ලදුව ඒ ප්රේතයා එයට පිළිතුරු දෙමින් මේ ගාථාව කීහ.
5. කාය ද්වාරික වූ සංවරයෙන් කාය සංවර ඇත්තෙක් වීම්. වාග් ද්වාරයෙන් වචනයෙන් අසංවරයෙන් යුක්ත වීම්. පින්වත් නාරදයන් වහන්ස ඔබ වහන්සේ යම් සේ පැහැදිලි වසයෙන් මා දුටුවේද? මම එබඳු වූ ශරිර වීම්යි කීය.
එහි කායෙන සඤ්ඤතො ආසී කායද්වාරයෙන් සංවරවීම හික්මීමෙන් යුක්තවීම්. කායද්වාරයෙන් සංවර වීමෙන් යුක්ත වූයේ වෙමි. වාචායාසිං අසඤ්ඤතො වචනයෙන් කථා කිරීමෙන් අසංවර වීම්. නොහික්මීම්. තෙන - මේ දෙක්හි සංයමයෙන් අසංයම වීම්, නොහික් මීම්. මේ - මගේ තාදිසො වණ්ණෙ - මේ හා සමාන වූ (ප්රත්යක්ෂ වන්නා වූ, පෙනෙන්නා වූ ) ඔබ වහන්සේ විසින් ප්රත්යක්ෂ වශයෙන් දකින්නා වූ මෙබඳු වූ ශරීරයකින් මිනිසකු වශයෙන් පිහිටියේ, ස්වර්ණ වර්ණ විය. මුහුණින් ඌරෙකු සමාන විය. වර්ණ ශබ්දයෙන් මෙහි සිවිය හම අදහස් කරන්නේ යයි දත යුතු.
මෙසේ ප්රේත තෙමේ තෙරුන් විසින් විමසන ලද ප්රශ්නයට, තමන් විසින් විසඳුම් දී, තමාගේ කාරණයම උදාහරණයට ගෙන තෙරුන්ට අවවාද දෙන්නේ මේ ගාථාව කීය.
6. පින්වත් නාරදයන් වහන්ස! නුඹ වහන්සේ විසින් තෙමේම මාගේ ශරීරය දක්නා ලද්දේය. එහෙයින් නුඹ වහන්සේට මම (අවවාද වශයෙන්) කියමි. මුකයෙන් හෙවත් වාග් ද්වාරයෙන් පව්කම් නොකරනු මැනවි. ඌරු මුව ඇතෙක් නොවේවා!
අර එහි - ‘ත’ යනු එහෙයින්, ත්යාහ යනු ඒ මම, නාරද ස්ථවිරයන් අමතයි. බ්රෑමි, කීවෙමි. සාම - යනු තමාම, ඉදං යනු තමාගේ ශරීරය සඳහා කියන ලදි. මේ එහි අර්ථයයි. ස්වාමීනි, යම් හෙයකින් නාරද වූ ඔබ වහන්සේ මේ මගේ ශරීරයේ ගෙල පටන් මිනිස් සටහන් ඇත්තේ, ඔබ වහන්සේ විසින් ප්රත්යක්ෂයෙන්ම දක්නා ලද්දේය. එහෙයින් අවවාද වසයෙන් කියමියි ප්රේතයා කීහ. “මාකාසි මුඛතොපාපං මා ඛො සුකර මුඛො අහු” මෙහි ‘මා’ යනු පටිසෙධාර්ථයෙහි නිපාතයි. “මුඛසා” යනු කටින් මුඛයෙන්, “ඛො” යන වචනයෙන් පාපකර්ම නො කළ යුතු යයි අවධාරණය කරයි. “මාඛො සූකරමුඛො අහු” මා මෙන්ම ඌරු මුව ඇත්තෙක් වන්නේය. යම්කිසි හෙයකින් ඔබගේ මුඛය මෙහෙයවා වචනයෙන් පව්කම් කෙරේද? අනිවාර්යයෙන්ම, සූකර මුව ඇත්තෙක් වන්නෙහිය. එහෙයින් එය නොකළ මැනවි. ඔබ වහන්සේ දොඩමළුව වචනයෙන් පව්කම් කරන්නාහු නම් එහි විපාක වශයෙන් ඒකාන්තයෙන්, මුඛයෙන් කරන පව් මුඛයෙන්ම ප්රතිවිපාක දීමට හේතු වන්නේමය.
ඉක්බිති ආයුෂ්මත් නාරද ස්ථවීරයන් වහන්සේ රජගහනුවර පිඬු සිඟා වැඩ බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුණේ (පෙරළා පැමිණ) සිව්පිරිස මැද වැඩහුන් ශාස්තෲන් වහන්සේට මේ කථා පුවත දැන්වීය. ශාස්තෲන් වහන්සේ නාරදය! පෙර ද මා විසින් ඒ සත්ත්වයා දක්නා ලද්දෙම් යි වදාරා, නොයෙක් ආකාර වාග් දුශ්චරිතයන්හි ආදීනව විපාක පෙන්නා, වාක් සුචරිතයන් ඇසුරෙන් ආනිසංස ප්රකාශ කරමින් ධර්මය දේශනා කළ සේක. එම දේශනාව එතැන්හි පැමිණි පිරිසට සාර්ථක විය.
“ඌරු මුව” ප්රේත වස්තු වර්ණනාව නිමිය.
3. පූතිමුඛ ප්රේතවස්තු වර්ණනාව
දිබ්බං සභං ධාරෙසි වණ්ණ ධාතු - මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි ලෙහෙනුන්ට අභය දුන් තැන වැඩ වසන්නේ එක්තරා “පූතිමුඛ” ප්රේතයකු අරබයා වදාළ සේක. අතීතයෙහි කාශ්යප භාග්යවතුන් වහන්ගේ කාලයෙහි උන්වහන්සේගේ සසුනෙහි කුල කුල දරුවන් දෙදෙනෙකු පැවිදි වී සීලාචාර සම්පන්නව සැහැල්ලු පැවතුම් ඇතිව, එක්තරා ගමක ආවාසයක සමගිව විසූහ. ඉක්බිති එක්තරා පාපී අදහස් ඇති, කේලාම් කීමෙහි ඇලුණු භික්ෂුවක් ඔවුන් වසන තැනට පැමිණියේය. තෙරුන් වහන්සේලා දෙනම පිළිසඳර කථාකොට වසන තැන් දක්වා, දෙවන දිනයෙහි ඔහු ද සමගින් ගමට පිඬු පිණිස වැඩියහ. මිනිස්සු ඒ තෙරුන් දැක ඉතා යටහත් පහත් බවින් වත් පිළිවෙත් කොට කැඳ බත් ආදියෙන් පූජා කළහ. එසේ විහාරයට පැමිණි ආගන්තුක භික්ෂුව මෙසේ සීතීය. මේ ගොදුරුගම ඉතා යහපත්ය. මිනිස්සු ද ඉතා ශ්රද්ධා සම්පන්නයෝය. ප්රණීත ප්රණීත වූ පිණ්ඩපාතය දෙති. මේ විහාරය ද ආවාසයද සිහිල් සෙවණින් හා මිහිරි ජලයෙන් යුක්තය. මෙහිම සුවසේ වසන්නට හැකිය. මේ භික්ෂු දෙනම මෙහිම සිටිද්දී මට පහසු විහරණයක් නොවන්නේය. අතවැසිව විසීමක් මෙන් වේ. එහෙයින් මේ තෙරණුවන් දෙදෙන ඔවුනොවුන් බිඳවා, යම්සේ ඔවුන් මෙහි නොවසන්නෝද එසේ කරමියි කල්පනා කළේය.