සොළසපඤ්ඤානිද්දෙසවණ්ණනා
සූත්රාන්ත නිර්දේශයෙහි, ඡන්නං අභිඤ්ඤා ඤාණානං යනු ඉද්ධිවිධ, දිව්යස්රොත, චෙතොපරිය, පූර්වෙනිවාස, දිව්යචක්ෂු, ආශ්රවක්ෂයකර ඤාණය යන සයයි. තෙ සත්තතීනං ඤාණානං යනු ඤාණ කථායෙහි නිර්දිෂ්ට ශ්රාවක සාධාරණ ඤාණයන්ගේ, සත්ත සත්තතීනං ඤාණානං යන මෙහි;
‘මහණෙනි, නුඹලාට සත් සැත්තෑ ඤාණ වස්තූන් දේශනා කරන්නෙමි. එය ශ්රවණය කරවු. මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි. මහණෙනි, සත් සැත්තෑ ඤාණ වස්තූහු කවරහුද? ජාති ප්රත්යයෙන් ජරා මරණ වේ යනු ඤාණයකි. ජාතිය (ඉපැත්ම) නොමැති කල්හි ජරාමරණ නැත යනු ඤාණයකි. අතීත වූද, සංසාර දීර්ඝ ගමන් මාර්ගයෙහිද ජාති ප්රත්යයෙන් ජරා මරණ යූසේය යනු ඤාණයකි. ජාතිය නොමැති කල්හි ජරාමරණ නොවේ යනු ඤාණයකි. අනාගත සංසාර දීර්ඝ ගමන් මාර්ගයෙහිද ජාති ප්රත්යයෙන් ජරාමරණ වන්නේය යනු ඤාණයකි. යම් ආකාර වූ ධර්ම ස්ථිති ඤාණයක් වේද, එයද ක්ෂය ධර්මයකි. ව්යය ධර්මයකි. විරාග ධර්මයකි. නිරෝධ ධර්මයකි යනු ඤාණයකි. භව ප්රත්යයෙන් ඉපැත්ම වේ යනු ඤාණයකි. උපාදාන ප්රත්යයෙන් භවය වේ යනු ඤාණයකි. තෘෂ්ණා ප්රත්යයෙන් උපාදාන වේ යනු ඤාණයකි. වේදනා ප්රත්යයෙන් තෘෂ්ණාව වේ යනු ඤාණයකි. ස්පර්ශ ප්රත්යයෙන් වේදනාව වේ යනු ඤාණයකි. ෂඩායතන ප්රත්යයෙන් ස්පර්ශය වේ යනු ඤාණයකි. නාමරූප ප්රත්යයෙන් ෂඩායතන වේ යනු ඤාණයකි. විඤ්ඤාණ ප්රත්යයෙන් නාමරූප වේ යනු ඤාණයකි. සංස්කාර ප්රත්යයෙන් විඤ්ඤාණය වේ යනු ඤාණයකි. අවිද්යා ප්රත්යයෙන් සංස්කාර වේ යනු ඤාණයකි. අවිද්යාව නොමැති කල්හි සංස්කාර නැත යනු ඤාණයකි. අතීත වූද සංසාර දීර්ඝ ගමන් මාර්ගයෙහිද අවිද්යා ප්රත්යයෙන් සංස්කාර වූයේය යනු ඤාණයකි. අවිද්යාව නොමැති කල්හි සංස්කාර නොමැත යනු ඤාණයකි. අනාගත සංසාර දීර්ඝ ගමන් මාර්ගයෙහිද අවිද්යා ප්රත්යයෙන් සංස්කාර වන්නේය යනු ඤාණයකි. අවිද්යාව නොමැති කල්හි සංස්කාර නොවන්නේය යනු ඤාණයකි. යම් ධර්මස්ථිති ඤාණයක් වන්නේද එයද ක්ෂය ධර්මයකි. ව්යය ධර්මයකි. විරාග ධර්මයකි. නිරෝධ ධර්මයකි යනු ඤාණයකි. මහණෙනි, මේවා සත් සැත්තෑ ඤාණ වස්තු යැයි කියනු ලැබේ.
භාග්යවතුන් වහන්සේ විසින් නිදාන වර්ගයෙහි දේශිත සත් සැත්තෑ ඤාණ මෙසේය. ජරාමරණයෙහි ඤාණය, ජරාමරණ සමුදයෙහි ඤාණය, ජරාමරණ නිරෝධයෙහි ඤාණය, ජරාමරණ නිරෝධගාමිනී ප්රතිපදා ඤාණය යැයි, මෙම ක්රමයෙන් එකොළොස් අංගයන්හි සතර සතර බැගින් කොට කියන ලද, සිව්සාළිස් ඤාණ වස්තූහු මෙහි නොගන්නා ලදහ. දෙවැදෑරුම් ඤාණයෝම හිතසුවයට හේතුවූවෝනුයි ඤාණ වස්තූහුය. ලාභො යනාදීන්හි ලාභයම උපසර්ගයෙන් වෙසෙසා පටිලාභොයි යූසේයි. නැවත එහිම අර්ථ විවරණ වශයෙන් පත්ති සම්පත්තියි යූසේයි. ඵුසනා යනු අවබෝධ කිරීම් වශයෙන් ස්පර්ශ කිරීමයි. සච්ඡිකිරියා යනු ප්රතිලාභ වශයෙන් සාක්ෂාත් කිරීමයි. උපසම්පදා යනු නිෂ්පාදනයයි.
සත්තන්නඤ්ච සෙක්ඛානං යනු ත්රිවිධ ශික්ෂා හික්මෙත්නුයි ශෛක්ෂ්යයැයි දන්නා ලද ශ්රෝතාපත්ති මාර්ගස්ථාදී සත් ශෛක්ෂ්යයන්ගේ, පුථුජ්ජන කල්යාණකස්සච යනු නිර්වාණගාමී ප්රතිපදාවෙන් යුත් හෙයින් සුන්දරාර්ථයෙන් යහපත් පුද්ගලයෙකැයි හඟවන ලද පෘථග්ජනයාගේ, වැඩුණු, වැඩීම් එයටනුයි වඩ්ඪිත වඩ්ඪනායි. කියන ලද ආකාර ඇති අෂ්ට ප්රඥාවන්ගේ වශයෙන් විශේෂ වශයෙන් රහත්හුගේ ප්රඥා වශයෙන් ප්රඥාවගේ වැඩීමෙන් පඤ්ඤා වුද්ධියා, පඤ්ඤා වෙපුල්ලාය යනු එසේය. මහන්තෙ අත්ථෙ පරිගණ්හාති යනාදීන්හි, ප්රතිසම්භිදාප්රාප්ත ආර්ය ශ්රාවක තෙමේ අර්ථාදීහු අරමුණු කිරීමෙන් පිරිසිඳ ගනීනුයි සියලුම මහා ප්රඥාවෝ ආර්යශ්රාවකයින්ටමය. එම ප්රඥාවෙහි විෂයතා යට කියන ලද අර්ථමය.
පුථුනානාඛන්ධෙසු යනාදීන්හි නානා යන ශබ්දය පුථු ශබ්දයාගේ අර්ථය දෙන වචනයයි. ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා යනු ඒ එසේ කියන ලද ස්කන්ධාදීන්හි ඤාණය පවත්වයි කොට, එම ඤාණය පෘථු ප්රඥා නමැයි අර්ථයි. නානා පටිච්ච සමුප්පාදෙසු යනු ප්රතීත්ය සමුත්පන්න ධර්මයන්ගේ වශයෙන් ප්රත්යය බහුත්වය යූ.සේයි. නානා සුඤ්ඤත මනුපලබ්භෙසු යනු ලැබීම උපලබ්ධයි. ග්රහණය යන අර්ථයි. නොලැබීම අනුපලබ්ධයි. අනුපලබ්ධයන්ගේ සංඛ්යාව බොහෝ බැවින් බහුවචනයෙන් දැක්වීය. පස්විසි අනුපලබ්ධයෝ, ශූන්යතා වශයෙන් හෝ නොයෙක් ශූන්යතාවන්හි ආත්ම ආත්මනීයාදීන්ගේ වශයෙන්, අනුපලබ්ධ වූවාහු නානා ශූන්යතානුපලබ්ධයහ. ඒවාහි, ‘නානා සුඤ්ඤතානුපලබ්භෙසු’යි කිවයුතු කල්හි ‘අදුක්ඛමසුඛා’ ආදීන්හි මෙන් මකාරය පද සන්ධි වශයෙන් යූ.සේයි. මෙම පස්වැදෑරුම් ප්රඥාවෝ කල්යාණ පෘථග්ජනයින් හා සාධාරණය. නොයෙක් අර්ථාදීන්හි ප්රඥාව ආර්යයන්ගේමය. පෘථග්ජනයින් හා අසාධාරණය. ධම්මෙ යනු ලෞකික ධර්මයෙහි, මෙයින් අවසන් ක්රමයෙන් ලෞකිකත්වයෙන් පෘථක්භූත වෙන්වූ ප්රඥාවනුයි පුථුපඤ්ඤා නමැයි යූ.සේයි.