පුග්ගලවිසෙසනිද්දෙසවණ්ණනා
ද්වෙ පුග්ගලා යනාදීන්හි ප්‍රතිසම්භිදා ප්‍රාප්ත පුද්ගල විශේෂ පිළිවෙල දක්වයි. එහි පුබ්බයොගො යනු අතීත ජාතීන්හි ප්‍රතිසම්භිදා ප්‍රාප්තියට හේතුවූ පුණ්‍ය ප්‍රයෝගයයි. තෙන යනු එම පූර්වයෝග කාරණයෙන්, සෙස්සෙහිද මෙසේමය. අතිරෙකොහොති යනු අතිරික්ත වේ. අතිරේක යෝගයෙන් හෝ අතිරේක යැයි යූ.සේයි. අධිකොහොති යනු අග්‍ර වේ. විසෙසො හොති යනු විශිෂ්ට වේ. විශේෂ යෝගයෙන් හෝ විශේෂයි. ඤාණං පභිජ්ජති යනු ප්‍රතිසම්භිදා ඤාණ ප්‍රභේදයට පැමිණේ.
බහුස්සුතො යනු බුද්ධ වචන ශ්‍රවණ වශයෙනි. දෙශනා බහුලො යනු ධර්මදේශනා වශයෙනි. ගරූපනිස්සිතො යනු ප්‍රඥායෙන් අධික ගුරුවරයෙකු ඇසිරි කරන ලදුයේ, විහාර බහුලො යනු විදර්ශනා විහරණ බහුල වූයේ, ඵල සමවත් විහරණ බහුල වූයේ හෝ, පච්චවෙක්ඛනා බහුලො යන විදර්ශනා විහරණ ඇතිකල්හි විදර්ශනා ප්‍රත්‍යවේක්‍ෂණ බහුල වූයේ, ඵල සමවත් විහරණ ඇතිකල්හි ඵල සමවත් බහුල වූයේ, සෙඛ පටිසම්භිදප්පත්තො යනු ශෛක්‍ෂ්‍යයෙක්ව ප්‍රතිසම්භිදා ප්‍රාප්ත වූයේ, මෙසේ අසේඛ පටිසම්භිදප්පත්තො, සාවක පාරමිප්පත්තො යන මෙහි අග්‍ර මහාප්‍රාඥ මහා ශ්‍රාවක සත්සැටක් ඤාණයන්ගේ පරතෙරට යාම පාරමීයි. ශ්‍රාවකයාගේ පාරමීය ශ්‍රාවක පාරමියි. එම ශ්‍රාවක පාරමීයට පැමිණියේනුයි සාවක පාරමිප්පත්තොයි. සාවක පාරමිතාප්පත්තොයි හෝ පාඨයි. ඒ සත්සැටක් ශ්‍රාවක ඤාණයන්ගේ, පාලකයා වූද, පූරකයා වූද ඒ මහා ශ්‍රාවක තෙමේ උතුම්ය. ඒ උතුම් පුද්ගලයාගේ මේ සත් සැට ප්‍රභේදගත ඤාණ ක්‍රියාව උත්තමයාගේ ස්වභාවය, ක්‍රියාවනුයි පාරමීයි. එම ශ්‍රාවකයාගේ පාරමීය ශ්‍රාවක පාරමීයි. එයට පැමිණියේනුයි ශ්‍රාවක පාරමීප්‍රාප්ත යනු සාවක පාරමිප්පත්තො යනු මහ මුගලන් තෙරුන් ආදී වූ යම්කිසි ශ්‍රාවකයෙකි. ශ්‍රාවක පාරමීප්‍රාප්ත ශ්‍රාවකයාගෙන් අතිරේක අන්‍ය ශ්‍රාවකයෙකුගේ අභාවයෙන් එකො පච්චෙක සම්බුද්ධොයි වදාළහ. නැවත පඤ්ඤා පභෙද කුසලො යන ආදීන්ගෙන් කියන ලද අර්ථයම නිගමනය කොට දැක්වීය. ඤාණ කථායෙහි බොහෝ සෙයින් නොයේක ඤාණ නිර්දිෂ්ටය. ප්‍රඥා කථායෙහි බොහෝසෙයින් එකම ප්‍රඥාව, නොයෙක් ආකාර වශයෙන් නොයෙක් ආකාර කොට යූසේයි. මේ විශේෂයයි.
ප්‍රඥා කථා වර්ණනා නිමි.
ඍද්ධි කථා
දැන් ප්‍රඥා කථාවට අනතුරුව ප්‍රඥානුභාව දක්වන්නහු විසින් දේශිත සෘද්ධි කථායෙහි පෙරනුවූ අර්ථ අනුවර්ණනාවයි. එහි විමසීම්හි කා ඉද්ධි යනු ස්වභාව විමසීමයි. කති ඉද්ධියො යනු ප්‍රභේද විමසීමයි. කති භූමියො යනු රාශි විමසීමයි. කති පාදානි යනු පිහිටීම විමසීමයි. කතා පදානි යනු ආසන්න කරුණ විමසීමයි. කති මූලානි යනු මුල් කරුණ විමසීමයි. විසඳීම්හි ඉජ්ඣනට්ඨෙන ඉද්ධි යනු සමෘද්ධවීම් අර්ථයෙන්, ප්‍රතිලාභාර්ථයෙන් හෝ යන අර්ථයි. යමක් නිපදේද, ලබයිද, එය සමෘද්ධ වේයයි යූසේයි. දෙසූ පරිදි ‘කැමැති දේ කැමැති වන්නහුට ඉදින් සමෘද්ධ වේද, නෛෂ්ක්‍රම්‍යය සිද්ධවේනුයි ඉද්ධියි. බැහැර කෙරේනුයි ප්‍රාතිහාර්යයි ආදියයි. වෙනත් ක්‍රමයක් සමෘද්ධවීම් අර්ථයෙන් සෘද්ධියි. උපාය සම්පත්තියට එය විශේෂ නාමයකි. උපාය සම්පත්තිය වනාහි අදහස් කරන ලද ඵලය බිහිකරවන හෙයින් සමෘද්ධ වේ. දෙසූ පරිදි, මෙම චිත්ත ගෘහපති තෙමේ සිල්වත්ය. යහපත් ධර්මයන්ගෙන් යුක්තය. ඉදින් ප්‍රාර්ථනා කරන්නේද අනාගත කාලයෙහි සක්විති රජ වන්නේය. සිල්වතාට චිත්ත ප්‍රණිධි විශුද්ධ හෙයින් සමෘද්ධ වන්නේය. වෙනත් ක්‍රමයක් එයින් සත්ත්වයෝ සමෘද්ධ වෙත්නුයි සෘද්ධියි. සමෘද්ධ වූවාහු, අභිවෘද්ධියට පත්වූවාහු උසස් බවට පැමිණියාහු වෙත්යයි යූසේයි.
දශ සෘද්ධීන්හි අදිටන් වශයෙන් නිපන් හෙයින් අධිට්ඨානා ඉද්ධියි, ප්‍රකෘති වර්ණ අත්හැරීමෙන් වන වෙනස්වීම් වශයෙන් පවත්නා හෙයින් විකුබ්බනා ඉද්ධියි. ශරීරාභ්‍යන්තරයෙහි අන් මනොමය ශරීරයක්හුගේ හටගැනීම් වශයෙන් පවත්නා හෙයින් මනොමයා ඉද්ධියි, ඤාණයාගේ හටගැන්මෙන් පෙර හෝ පසුව හෝ එකෙණෙහි හෝ ඤාණානුභාවයෙන් නිපන් විශේෂය ඤාණ විප්ඵාරා ඉද්ධියි. සමාධියෙන් පෙර හෝ පසුව හෝ එකෙණෙහි හෝ සමථානුභාවයෙන් නිපන් විශේෂය සමාධි විප්ඵාරා ඉද්ධියි. සිත් වසඟ කළ ආර්යයන්ටම හටගන්නා හෙයින් අරියා ඉද්ධියි. කර්ම විපාක වශයෙන් හටගත් විශේෂය කම්ම විපාකජා ඉද්ධියි. පෙර කළ පිනැත්තහුට හටගත් විශේෂය කම්මවිපාකජා ඉද්ධියි. පෙර කළ පිනැත්තහුට හටගත් විශේෂය පුඤ්ඤවතො ඉද්ධියි. විද්‍යාවෙන් හටගත් විශේෂය විජ්ජාමයා ඉද්ධියි. ඒ ඒ සම්‍යක් ප්‍රයෝගයෙන් ඒ ඒ ධර්මයාගේ සමෘද්ධවීම තත්‍ථ තත්‍ථ සම්මාපයොග පච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධියි.
ඉද්ධියා චතස්සො භූමියො යයි විශේෂයක් නොකොට කියන ලද්දේ නමුත්, යථාලාභ වශයෙන්, අධිට්ඨාන, විකුර්වණ, මනොමය සෘද්ධීන්ම භූමිහුය. සෙස්සන්ගේ වශයෙන් නොවේය. විවෙකජා භූමි යනු විවේකයෙන් හෝ විවේකයෙහි හෝ හටගත්තාහු විවේකජ භූමියි පීති සුඛ භූමි යනු ප්‍රීති, සුව යුත් භූමියයි. උපෙක්ඛා සුඛ භූමි යනු තත්‍රමධ්‍ය ස්ථොපේක්‍ෂාවෙන්ද, සුවයෙන්ද යුත් භූමියයි. අදුක්ඛමසුඛ භූමි යනු නොදුක්, නොසුව වේදනා යුත් භූමියයි. ඒවා අතර ප්‍රථම ද්විතීය ධ්‍යානයන්, ප්‍රීතිය පැතිරීමෙන්ද, ධ්‍යානත්‍රයයක් සුවය පැතිරීමෙන්ද චතුර්ථ ධ්‍යානයන් චිත්තයාගේ පැතිරවීම් වශයෙනි. මෙහිද ප්‍රථම ත්‍රිවිධ ධ්‍යානයන් ප්‍රීතිය පැතිරීමෙන්ද, සුවය පැතිරීමෙන්ද, සුව සංඥාවටද, ලහු සංඥාවටද බැස ලහු (සැහැල්ලු) මෘදු කර්මණ්‍යතාවයන් වී සෘද්ධියට පැමිණේ. මෙම ක්‍රමය සෘද්ධි ප්‍රතිලාභය සඳහා පවත්නා හෙයින් සම්භාර භූමියයි දතයුත්තාහ. (හටගන්නා භූමි) චතුර්ථ ධ්‍යානය වනාහි සෘද්ධි ලාභය සඳහා ප්‍රකෘති භූමියමය. ඉද්ධිලාභාය යනු තම සන්තානයෙහි පහළවීම් වශයෙන් සෘද්ධීන්ගේ ලැබීම සඳහා, ඉද්ධිපටිලාභාය යනු පරිහානියට පත්වූ සෘද්ධීන්ගේ වීර්යාරම්භ කිරීම් වශයෙන් නැවත ලැබීම සඳහා, උපසර්ග වශයෙන් හෝ පදය වඩන ලදි. ඉද්ධි විකුබ්බනතාය යනු සෘද්ධියෙන් නොයෙක් ක්‍රියාමාර්ග සඳහා, ඉද්ධිවිසවිතාය යනු නොයෙක් විශේෂතා ගලායයි. හටගන්වයි. පවත්වයිනුයි විසවියි. විවිධ වූ ශ්‍රවණය හෝ මොහුට ඇත්තේනුයි විසවියි. එහි ස්වභාවය විසවිතායි. එම විසවිතායෙන්, සෘද්ධියෙන් විවිධ විශේෂ පවත්වන ස්වභාවය යැයි අර්ථයි. ඉද්ධි වසීභාවය යනු සෘද්ධියෙහි ස්වාමිත්වය සඳහා, ඉද්ධි වෙසාරජ්ජාය යනු සෘද්ධියෙහි විශාරද බව සඳහා (නිපුණතාවය සඳහා) සෘද්ධිපාද ඤාණ කථායෙහි කියන ලද අර්ථමය.