කථිතා විස්සජ්ජිතා යනු මෙසේ නුඹලා විචාරවු යයි නොවිචාළ ප්රශ්නයන්ගේ උච්චාරණයෙන් එම ප්රශ්න භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහුම වෙති. යම්සේ ඒවා විසඳිය යුතුද, එසේ විසඳන ලද්දාහුම වෙති. නිද්දිට්ඨ කාරණා යන මෙම කරුණෙන් හේතුයෙන්ම වේයයි, මෙසේ සහේතුකත්ව කොට විසඳීමෙන්, එම ප්රශ්න භාග්යවතුන් වහන්සේ විසින් නිර්දිෂ්ඨ කරුණුම වේ. උපක්ඛිත්තකාව තෙ භගවතො සම්පජ්ජන්ති යනු එම ක්ෂත්රිය පණ්ඩිතාදීහු භාග්යවතුන් වහන්සේගේ ප්රශ්න විසඳීමෙන්ම භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි විසිරුණාහු, පාද විසිරුණු බවට පත්වෙති. ශ්රාවක බවට හෝ උපාසක බවට පැමිණෙතියි අර්ථයි. ශ්රාවක සම්පත්තියට හෝ උපාසක සම්පත්තියට පැමිණෙති යයි යූ.සේයි. අථ යනු අනන්තරාර්ථයෙහිය. ඔවුන්ගේ ශ්රාවක, උපාසක සම්පත්ති සමනන්තරවමයැයි අර්ථයි. තත්ථ යනු එම ස්ථානයෙහි හෝ එම ප්රාර්ථනයෙහි හෝ, අතිරොචති යනු අතිශයින් ජෝතිමත් වේ. බබළයි. යදිදං පඤ්ඤාය යන යම් ආකාර වූ භාග්යවතුන් වහන්සේගේ ප්රඥාවක් වේද, එම ප්රඥාවෙන් භාග්යවතුන් වහන්සේ අතිශයින් බබළත් යන අර්ථයි. ඉති ශබ්දය කාරණාර්ථයෙහි. මෙම කාරණයෙන් අග්ගො අසාමන්ත පඤ්ඤො යනු අග්ර අන්යයන් විසින් පැමිණිය නොහැකි ප්රඥාව යැයි අර්ථයි.
රාගං අභිභුය්යතීති භූරිපඤ්ඤො යනු එය සාමග්රී ප්රඥාවෙන් තම වරද රාගය අභිභවනය කෙරේ. මැඩපවත්වයි. මර්දනය කෙරේනුයි භූරි පඤ්ඤායි. භූරි යනු ස්පර්ශාර්ථය, ප්රකටාර්ථයයි. යමක් ස්පර්ශ කරන ලදුයේද, එය ප්රතිපක්ෂය මැඩපවත්වයි. ස්පර්ශ නොකරන ලද්ද එසේ නොවේ. එහෙයින් භූරි ප්රඥාවෙන් අභිභවනාර්ථය යූ.සේයි. අභිභවිතා යනු ඒ ඒ ඵල ප්රඥාව ඒ ඒ රාගය අභිභවනය කරන්නේනුයි, මර්දනය කරන්නේනුයි භූරි පඤ්ඤායි. අභිභවතායිද පාඨයි. සෙස්සෙහිද එම ක්රමයමැයි. රාගාදීන්හි වනාහි ඇලීම් ලක්ෂණය රාගොයි. දූෂ්යවීම් ලක්ෂණය දොසොයි. මුළාවීම් ලක්ෂණය මොහොයි. කිපීම් ලක්ෂණය කොධොයි. වෛර බැඳීම් ලක්ෂණය උපනාහොයි. පෙර කල ක්රෝධය, පසුකල උපනාහයයි. අන් ගුණ මැකීම් ලක්ෂණය මක්ඛොයි. තරගකාරී ලක්ෂණය පලාසොයි. පර සම්පත් ක්ෂය කරන ලක්ෂණය ඉස්සායි. තම සම්පත් සඟවන ලක්ෂණය මච්ඡරියංයි. තමා කළ පාපයන් සැඟවීම් ලක්ෂණය මායායි. තමාගේ අවිද්යමාන ගුණ ප්රකාශ කිරීම් ලක්ෂණය සාඨෙය්යංයි. සිතෙහි ඉදිමුණු ස්වභාව ලක්ෂණය ථම්භොයි. කළ දෙයට වැඩියමක් කිරීම් ලක්ෂණය සාරම්භොයි. ඉහළ නැගීම් ලක්ෂණය මානොයි. වැඩිපුර ඉහළ නැගීම් ලක්ෂණය අතිමානොයි. මත්වූ ස්වභාව ලක්ෂණය මදොයි. පඤ්චකාම ගුණයන්හි සිත අත්හැරීම් ලක්ෂණය පමාදොයි.
රාගො අරි, තං අරිං මද්දනී පඤ්ඤා යන ආදීන්ගෙන් කුමක් යූසේයිද? රාගාදී ක්ලේශය චිත්ත සන්තානයෙහි වූ සතුරෙක්නුයි භූඅරියි. පද සන්ධි වශයෙන් අකාර ලෝපය කොට භූරියං යූසේයි. එම සතුරා මර්දනය කරන ප්රඥාව යැයි කිවයුතු කල්හි (භූරිස්සමද්දනී පඤ්ඤා) මද්දන ශබ්දය ලොප්කොට ‘භූරි පඤ්ඤායි’ යූසේයි. එම සතුරා මර්දනය කරයිද, එම සතුරන්ගේ මර්දනය යැයි පදච්ඡේද කළයුතුය. පඨවිසමාය යනු පැතිරුණු, මහත් අර්ථයෙන්ම පෘථුවිය හා සමවූ, විත්ථතාය යනු දතයුතු විෂයයෙහි පතළ භාවයෙන්, එක් කොටසක පමණක් පවත්නා දැනුමෙන් නොවේ. විපුලාය යනු විශාල වූ, මහා නිර්දේශයෙහි වනාහි විපුලාය විත්ථතාය යනුවෙන් ආයේය. සමන්නාගතො යනු එයින් යුක්ත පුද්ගල තෙමේ ඉති ශබ්දය කාරණාර්ථයි. මෙම කරුණෙන් පුද්ගලයා භූරි ප්රඥාවෙන් යුක්ත වූ හෙයින් ඔහුගේ ප්රඥාව භූරිප්රඥා (භූතාර්ථයෙහි සිත් අලවානුයි) නමැයි අර්ථයි. භූරි ප්රාඥයාගේ ප්රඥාව භූරිපඤ්ඤා ප්රඥාව යැයි කිවයුතු කල්හි එක් ප්රඥා ශබ්දයකගේ ලෝපය කොට භූරි පඤ්ඤායි යූ.සේයි. භූරිසම ප්රඥාවනුයි හෝ භූරි පඤ්ඤායි. අපිච යනු අන් ක්රමයක් සඳහා යූ.සේයි. පඤ්ඤාය මෙතං යනු ප්රඥාවට එය, අධිවචනං යනු අධික වචනයයි. භූරි යනු භූතාර්ථයෙහි සිත් අලවානුයි භූරියි. මෙධා යනු පර්වතයෙහි වැදුණු හෙණක් මෙන් කෙලෙසුන් පීඩනයට පත්කරයි. හිංසාවට පත් කෙරේනුයි මෙධායි. වහා ග්රහණ ධාරණාර්ථයෙන් හෝ මෙධායි. පරිණායිකා යනු යමෙකුට එය හටගනීද? එම සත්ත්වයා යහපත් ප්රතිපත්තියෙහිද, සම්ප්රයුක්ත ධර්මයෙහිද යථා ස්වභාව ලක්ෂණ ප්රතිවේධයෙහි මනාව ගෙනයයි නුයි පරිණායිකායි. මේවායින්ම අන්ය වූද, ප්රඥා ආකාර වචන යූසේයි.