බල කථා
ලෝකෝත්තර කථාවට අනතුරුව කියන ලද, ලෝකෝත්තර කථා ප්රවෘත්තියෙහි සූත්රාන්ත පූර්වංගම බලකථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි පළමුයෙන් සූත්රාන්ත වශයෙන් පඤ්ච බලයන් ගෙනහැර දක්වා, එයින් අන්ය වූද බලයන් දක්වනු කැමැතියේ, අට්ඨ සට්ඨි බලානි ආදිය වදාළහ. සියල්ලම එයට ප්රතිපක්ෂයන්ගෙන් කම්පා නොවන අර්ථයෙන් බල නම් වේ. හිරිබලං යනාදීන්හි එය කරණකොට පාපය කෙරෙන් ලජ්ජා වේනුයි හිරියි. එය ලජ්ජාවට නාමයකි. පාපය කෙරෙන් එය කරණකොට බිය වේනුයි ඔත්තප්පංයි. එය පාපය කෙරෙන් තැතිගැන්මට නාමයකි. ලජ්ජාව ආධ්යාත්මිකව හටගනී. බිය බාහිරව හටගනියි. ලජ්ජාව ආත්මාධිපතියි. බිය ලෝකාධිපතියි. හිරිය ලජ්ජා ස්වභාවයෙහි පිහිටියේය. ඔත්තප්පය බිය ස්වභාවයෙහි පිහිටියේය. තමා ගැන ගෞරව ස්වභාව ඇතියේ හිරියි. වරදෙහි බියජනක ස්වභාවය හා බියදක්නා සුලු ලක්ෂණය ඔත්තප්පයයි. එම ලජ්ජාවම, ලජ්ජා නොමැති ස්වභාවයෙන් කම්පා නොවේනුයි හිරිබලංයි. එම බියම, නොබියවීමෙන් කම්පා නොවේනුයි ඔත්තප්පබලංයි. නුවණින් සලකා නොබැලීමෙන් කම්පා නොවේනුයි පටිසංඛානබලංයි. විමසා බැලීමේ ප්රඥාවට එය නාමයකි. වීර්ය ශීර්ෂයෙන් සප්ත බොධ්යංගයන් වඩන්නාහුට උපන් බලය භාවනා බලංයි. එසේ පැවැති සිව් ස්කන්ධයන්ට එය නාමයකි. පිරිසිදු සීලාදීන් අනවජ්ජබලංයි. සතර සංග්රහ වස්තූන් සංගහබලංයි. සංගහෙබලංයිද පාඨයි. දුක පිළිබඳ ඉවසීම ඛන්තිබලංයි. දැහැමි කථායෙන් අන්යයා තෘප්තියට පත්කිරීම පඤ්ඤත්තිබලංයි. කියන ලද්දෙහි අර්ථාවබෝධයට පැමිණීම නිජ්ඣත්තිබලංයි. කුසලයන්හි බහුලභාවය ඉස්සරියබලංයි. කුසලයන්හි කැමැති පරිදි පිහිටීඹ අධිට්ඨානබලංයි. හිරිබලාදීන්ගේ අර්ථය මාතෘකා පදයන්හි අක්ෂර වශයෙන් විශේෂයෙන් යෙදෙන ආකාරය ගෙන යූසේයි. සමථබලං විපස්සනා බලං යනු බලවත් භාවයට පත් සමථ විදර්ශනාමය.
මාතෘකා නිර්දේශයෙහි, අස්සද්ධියෙ න කම්පතීති සද්ධාබලං යනු මුල් බලාර්ථය කියා එයම වෙනත් නව (9) ක්රමයන්ගෙන් වෙසෙසා දැක්වීය. යම් ධර්මයක් වනාහි කම්පා නොවූයේ බලප්රාප්ත වේද, එය සමග හටගත් දැයට රුකුල් දෙයි. තමාට ප්රතිපක්ෂ කෙලෙසුන් හාත්පසින් ක්ෂය කරයි. ප්රතිවේධයට මුල්වූ සීලයද, දෘෂ්ටියද පිරිසිදු කරයි. සිත අරමුණෙහි පිහිටුවයි. සිත ප්රභාස්වර කරනුයේ පිරිසිදු කරයි. වසඟයට පමුණුවනුයේ විශේෂයන් අවබෝධ කරවයි. ඉන් මතුයෙහි පමුණුවනුයේ, මත්තෙහි ප්රතිවේධ කරවයි. ක්රමයෙන් ආර්යමාර්ගයට පමුණුවා සිව්සස් අවබෝධ කරවයි. ඵල ප්රාප්තියෙන් නිරෝධයෙහි පිහිටුවයි. එහෙයින් නව (9) අයුරෙකින් බලාර්ථය වෙසෙසා දැක්වීය. වීර්ය බලාදී සතරෙහිද එම ක්රමයමැයි.
කාමච්ඡන්දං හිරීයති යනු නෛෂ්ක්රම්යයුක්ත යෝගියා නෙක්ඛම්මෙන කාමච්ඡන්දය කෙරෙන් ලජ්ජා වේ. ඔත්තප්පයෙහිද එම ක්රමයමැයි. එම සියලු අකුසලයන්ගෙන් ලජ්ජාවීම බියවීම යූසේයි. බ්යාපාදං යනාදීන්ගේද මෙම ක්රමයෙන් අර්ථය දතයුතුය. පටිසංඛා යනු මුළානොවීම් වශයෙන් ආදීනව වශයෙන් මනාව නුවණින් පිරික්සයි. භාවෙති යනු වඩයි. වජ්ජං යනු රාගාදී දෝෂයයි. සංගණ්හාති යනු බඳියි. ඛමති යනු එම යෝගීහට ඉවසයි. රිසි වේ. පඤ්ඤාපෙති යනු සතුටු කරයි. නිජ්ඣාපෙති යනු චින්තනය කරවයි. (ශ්රැතාර්ථ විමර්ශන) වසං වත්තෙති යනු සිතෙහි බොහෝම, සිත තම වශයෙහි කොට පවත්වයි. අධිට්ඨාති යනු නියම කරයි. භාවනා බලාදී සියල්ලම නෛෂ්ක්රම්යාදීහුමය. මාතෘකා වර්ණනායෙහි අන් අයුරෙකින් යූසේයි. අර්ථය වනාහි ව්යඤ්ජන වශයෙන්ම ප්රකට හෙයින් මෙහි නොකියන ලදැයි දතයුතුය. සමථ බලයද, විදර්ශනා බලයද විස්තර වශයෙන් නිර්දේශකොට අවසානයෙහි උද්ධච්ච සහගත කිලෙසෙච ඛන්ධෙච න කම්පති යන ආදියද, අවිජ්ජා සහගත කිලෙසෙච ඛන්ධෙච න කම්පතී යනාදියද සමථබල, විදර්ශනා බලයන්ගේ ලක්ෂණ දැක්වීම සඳහායි යූසේයි.
ශෛක්ෂ්ය, අශෛක්ෂ්ය බලයන්හි, සම්මාදිට්ඨිං සික්ඛතීති සෙඛබලං යනු ශෛක්ෂ්ය පුද්ගලයා සම්යක් දෘෂ්ටියෙහි හික්මේනුයි ශෛක්ෂ්යයි. ඒ සම්යග් දෘෂ්ටිය එම ශෛක්ෂ්යයාගේ බලයනුයි ශෛක්ෂ්ය බලය යයි අර්ථයි. තත්ථ සික්ඛිතත්තා අසෙඛ බලං යනු, අශෛක්ෂ්ය පුද්ගලයා සම්යග් දෘෂ්ටියෙහි ශික්ෂිත බැවින් නොහික්මේනුයි අශෛක්ෂ්යයි. එම සම්යග් දෘෂ්ටියම එම අශෛක්ෂ්යයාගේ බලයනුයි අශෛක්ෂ්ය බලයයි. සම්යග් සංකල්පාදියෙහිද එම ක්රමයමැයි. සම්මා ඤාණං යනු ප්රත්යවේක්ෂා ඤාණයයි. එයද ලෞකික වනුයේ ශෛක්ෂ්යයාට පැවැති හෙයින් ශෛක්ෂ්ය බලයයි. අශෛක්ෂ්යයාට පැවැති හෙයින් අශෛක්ෂ්ය බලයැයි යූසේයි. සම්මා විමුත්ති යනු මාර්ගාංග හැර සෙසු බල සම්ප්රයුක්ත ධර්මයි. සමහරු වනාහි ලෝකෝත්තර විමුක්තිය හැර සෙසු විමුක්තීහු සම්මා විමුත්ති යැයි කියති. එහි ශෛක්ෂ්ය, අශෛක්ෂ්ය බලත්වය කියන ලද ක්රමයමැයි.