ශුන්‍යතා කථා
දැන් ලෝකෝත්තර බලකථා කෙළවර කොටැති, බලකථායෙහි, අනතුරුව කියන ලද, ලෝකෝත්තර ශූන්‍යතා කෙළවරකොට ඇති, සූත්‍රාන්ත පූර්වංගම ශූන්‍යතා කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. සූත්‍රාන්තයෙහි අථ යනු වචන ගැනීමේ නිපාතයි. එයින් ‘ආයස්මා’ ආදී වචනයෙහි ගැනීම කරන ලද්දේ වේ. ඛො යනු (පද) පූරණාර්ථයෙහි නිපාතයි. යෙන භගවා තෙනූපසංකමි යනු සත්තමී අර්ථයෙහි කරණ වචනයි. එහෙයින් යම්තැනෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිත්ද එහි එළැඹියේ යැයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. යම් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ දෙව්මිනිසුන් විසින් එළැඹිය යුතුද? එම කරුණෙන්ම එළැඹියේ යැයි මෙසේද මෙහි අර්ථය දැකිය යුතුය. කවර කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ එළැඹිය යුතුද? නානාප්‍රකාර ගුණ විශේෂයෙන් අධිගම අභිප්‍රායයෙන්, මිහිරිඵල පරිභෝග කිරීමේ අභිප්‍රායයෙන්, පක්‍ෂි සමූහයා විසින් සෙවුනා සැමදා පලගත් මහරුකක මෙනි. එකරුණින් එළැඹීයයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. උපසංකමි යනු ගියේයැයි යූ.සේයි. උපසංකමිත්‍වා යනු එළැඹීමෙහි අවසානය දැක්වීමයි. නොහොත් මෙසේද ගියේ, එයින්ද ඉතා ආසන්න ස්ථානයට භාග්‍යවතුන් වහන්සේගේ, සමීපයයැයි කියන ලද ස්ථානයට ගොස් යයි යූ.සේයි.
අභිවාදෙත්‍වා යනු පසඟ පිහිටුවීමෙන් වැඳ දැන් යම් අර්ථයකින් ලෝකයෙහි අග්‍ර පුද්ගලයාගේ උපස්ථානයට පැමිණියේද, එය විමසනු කැමැතියේ, දස නඛ සමෝධානයෙන් සමුජ්වලිත අංජලිය සිරසෙහි පිහිටුවා එකමන්තං නිසීදි. එකමන්තං යනු භාව නපුංසක නිර්දේශයයි. ‘විසම සඳහිරු කැරකෙමින් ගමන් කරයි’ ආදීන්හි මෙනි. යම්සේ හිඳගත් තැනැත්තේ එකත්පස්ව හිඳගත්තේ වේද, එසේ හිඳීයයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. එය සත්තමී අර්ථයෙහි හෝ ද්විතියා වචනයි. නිසීදි යනු හිඳීම කළේය. නුවණැති දෙව් මිනිස්සු ගරු කළයුතු අයෙකු වෙත එළඹ හිඳීමෙහි දක්ෂ බැවින් එකත්පස්ව හිඳිති. මෙම තෙරහුද ඔවුනතර එක්තරා අයෙකි. එහෙයින් එකත්පස්ව හුන්හ.
කෙසේ හුන්නහු එකත්පස්ව හුන්නාහු වෙත්ද, ෂට් නිසද්‍ය දෝෂයන් දුරුකොට, ඒ කවරේද යත්? ඉතා දුර, ඉතා ළඟ, උඩුසුළඟෙහි, උස් ප්‍රදේශය, ඉතා අබිමුව, ඉතා පසු ප්‍රදේශය. ඉතා දුර හුන්නාහු වනාහි ඉදින් කියනු කැමැත්තේ වේද, උස් හඬින් කිවයුතු වේ. ඉතා ආසන්නයෙහි හුන්නේ ගැටීම් කරයි. උඩුසුළඟෙහි හුන්නේ සිරුරු ගඳින් බාධා ඇතිකරයි. උස් පෙදෙස්හි හුන්නේ අගෞරවය ප්‍රකාශ කරයි. ඉතා අබිමුව හුන්නේ ඉදින් දක්නා කැමැති වේද? ඇසින් ඇස ගටා දැකිය යුතු වේ. ඉතා පසුපසින් හුන්නේ, ඉදින් දක්නා කැමැතියේ වේද? ග්‍රීවය දිගුකොට දැකිය යුතුවේ. එහෙයින් මෙතෙමේද, එම නිසද්‍ය දෝෂයන් දුරුකොට හුන්නේය. එහෙයින් එකත්පස්හි හුන්නේ යයි යූ.සේයි. එතදවොච යනු එය කීවේය.
සුඤ්ඤො ලොකො සුඤ්ඤො ලොකොති භන්තෙ වුච්චති යනු මෙ සස්නෙහි සසුන් පිළිවෙත්හි පිළිපන් ඒ ඒ භික්‍ෂූන් විසින් ලොව හිස්ය, ලොව හිස්යයි කියනු ලැබේ යයි අර්ථයි. මෙසේ කී කල්හි එබඳු සියලු වචන සංගෘහිත වෙයි. කිත්තාවතා යනු කොපමණ ප්‍රමාණයකින්ද, නු යනු සංශයාර්ථයෙහි නිපාතයි. සුඤ්ඤං අත්තෙන වා අතනියෙනවා යනු කරන්නා, විඳින්නා, ස්වයං වශීයැයි මෙසේ ලෝකයෙහි පවත්නා පරිකල්පිතයන්ගෙන් තමාද, ආත්ම අභාවයෙන්ම තමා සතු පරිෂ්කාරයන්ගෙන්ද, සියලුම චක්‍ෂුරාදී ලෞකික ධර්ම සමූහයෙන්ද ශූන්‍යයි. එයම පලුදුවන අර්ථයෙන් ලෝක නමැ. මෙහි ආත්මයක් නැත. මෙහි ආත්මනීයත්වයක්ද නැත. තස්මා සුඤ්ඤො ලොකො වුච්චති යයි අර්ථයි. ලෝකෝත්තර ධර්මයද ආත්ම ආත්මනීයත්ත්‍වයෙන් ශූන්‍යමය. විමසීමට අනුරූප අයුරින් ලෞකික ධර්මයම යූ.සේයි. ශූන්‍යයයි ධර්මයක් නැතයයි කියන ලද්ද එසේම නොවේ. එම ධර්මයෙහි ආත්ම ආත්මනීය සාරයෙහි නොමැති බැව් යූ.සේයි. ලෝකයෙහි ‘හිස්ගෙය, හිස් කළය’ යැයි කී කල්හි ගෘහයෙහිද, කළයෙහිද අවිද්‍යමාන බැව් කියන ලද්දේ නොවේ. එම ගෘහයෙහිද, කළයෙහිද අන්දැයක නොමැති බැව් යූ.සේයි. භාග්‍යවතුන් වහන්සේ විසින්ද ‘මෙසේද යමක් වනාහි එහි නොවේද? එහෙයින් එය ශූන්‍ය වශයෙන් නුවණින් මනාව බලයි. යමක් වනාහි එහි ඉතිරි වේද? එසේ පවත්නා මෙය තිබේයයි විශේෂයෙන් දැනගනී යයි මෙයම අර්ථයැයි යූසේයි. එසේම න්‍යාය ග්‍රන්ථයෙහිද ශබ්ද ග්‍රන්ථයෙහිද මෙයම අර්ථයි. මෙසේ මෙම සූත්‍රාන්තයෙහි අනාත්ම ලක්‍ෂණයම කියන ලදි.
සූත්‍රාන්ත නිර්දේශයෙහි සුඤ්ඤ සුඤ්ඤං යනාදී පස්විසි මාතෘක පද ශූන්‍යය හා සම්බන්ධයෙන් උදෙසා ඒවාහි නිර්දේශය කරන ලදි. එහි මාතෘකාවෙහි පළමුව ශූන්‍ය සංඛ්‍යාත ශූන්‍යය. අනෙක් උප පදයකින් වෙසෙසා නොදක්වන ලදැයි සුඤ්ඤං ශූන්‍යයි. අසවල් දැයයි අනිර්දිෂ්ට හෙයින් මෙහි ශූන්‍යතාවම අපේක්‍ෂාකොට නපුංසක වචනය යොදන ලදි. සෙස්සෙහිද එසේමය. සංස්කාරයෝම සෙසු සංස්කාරයන්ගෙන් ශූන්‍යනුයි සංඛාර සුඤ්ඤංයි. ජරා භංග වශයෙන් විරූප වූ වෙනස්වීම විපරිණාමයි. එම විපරිණාමයෙන් ශූන්‍ය වූයේ විපරිණාම සුඤ්ඤංයි. අග්‍රවූයේද එය ආත්ම ආත්මනීය භාවයන්ගෙන්ද, සියලු සංස්කාරයන්ගෙන්ද ශූන්‍යනුයි අග්ගසුඤ්ඤංයි. ලක්‍ෂණයම සෙසු ලක්‍ෂණයන්ගෙන් වික්ඛම්භන සුඤ්ඤංයි. තදංග සුඤ්ඤාදී තදංග ශූන්‍යාදී සතරෙහිද එම ක්‍රමයමැයි. අධ්‍යාත්මය එය ආත්ම ආත්මනීයාදීන්ගෙන් ශූන්‍යනුයි අජ්ඣත්ත සුඤ්ඤංයි. පිටතද එය ආත්ම, ආත්මීයතාවයන්ගෙන් ශූන්‍යනුයි බහිද්ධා සුඤ්ඤංයි. එම ද්වයයම, ආත්ම ආත්මීයතාවන්ගෙන් ශූන්‍යනුයි උභතො සුඤ්ඤංයි. සමාන කොටස් එයටනුයි සභාගංයි. සභාගයද එය ආත්ම ආත්මීයතාවයන්ගෙන් ශූන්‍යනුයි සභාග සුඤ්ඤංයි. සමානතා ශූන්‍යයයිද අර්ථයි. විසභාගයද එය ආත්ම, ආත්මීයතාවන්ගෙන් ශූන්‍යනුයි විසභාග සුඤ්ඤංයි. විසදෘශ ශූන්‍යයයි අර්ථයි. සමහර පොත්වල සභාග ශූන්‍යය, නිස්සරණ ශූන්‍යයට අනතුරුව ලියන ලදි. නෛෂ්ක්‍රම්‍යාදීන් සෙවීම කාමච්ඡන්‍දාදියෙන් ශූන්‍යනුයි එසනා සුඤ්ඤංයි, පරිග්ගහ සුඤ්ඤාදීහු පරිග්‍රහ ශූන්‍යාදී සතරෙහිද එම ක්‍රමයමැයි. එක් අරමුණැ පිහිටි හෙයින්, විවිධ අරමුණු වික්‍ෂෙප අභාව හෙයින්, එකත්වදයද වූ එය නානත්‍වයෙන් ශූන්‍යනුයි එකත්තසුඤ්ඤංයි. එයට විපරීත වශයෙන් නානත්‍වයද වූ එය ඒකත්‍වයෙන් ශූන්‍යනුයි නානත්ත සුඤ්ඤංයි. නෛෂ්ක්‍රම්‍යාදී ක්‍ෂාන්තිය කාමච්ඡන්‍දාදීන් ශූන්‍යනුයි ඛන්ති සුඤ්ඤංයි. අධිට්ඨාන සුඤ්ඤෙ පරියොගාහන සුඤ්ඤෙව මේවාහිද එම ක්‍රමයමැයි. පරියොගාහ සුඤ්ඤංයිද පාඨයි. සම්පජානස්ස යනු සම්‍යක් ඥානයෙන් යුක්තව, පිරිනිවෙන්නා වූ රහත්හුගේ, පවත්ත පරියාදානං යනු ප්‍රවෘත්තික්‍ෂය සංඛ්‍යාත අනුපාදා පරිනිර්වාණය සබ්බ සුඤ්ඤතානං යනු හැම ශූන්‍යයන් අතරින්, පරමත්‍ථ සුඤ්ඤං යනු සියලු සංස්කාර අභාවයෙන් ශ්‍රේෂ්ඨ අර්ථය වූ ශූන්‍යය.