2. යුගනද්ධ වර්‍ගය
යුගනද්ධ කථා
යුගනද්ධකථාවණ්ණනා
දැන් මණ්ඩපෙය්‍ය ගුණයෙහිද, ආර්ය මාර්ගයෙහිද, එකට වෙළී පවත්නා ගුණ ගෙනහැර දක්වන්නාහු විසින් කියන ලද සූත්‍රාන්ත පූර්වංගම යුගනන්‍ධ කථායෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි. දම්සෙනෙවි තෙමේ, ධර්මරාජයන් වහන්සේ ජීවමානව සිටියදීම ධර්මරාජයාණන් වහන්සේගේ පරිනිර්වාණ සංවත්සරයෙහිම පිරිනිවියේද, එහෙයින් ධර්මරාජයාණන් වහන්සේ ජීවමාන කල්හිම ධර්මභාණ්ඩාගාරිකයාණන් විසින්, දේශනා කරන ලද මෙම සූත්‍රාන්තය එතුමන් වහන්සේගේම හමුයෙහි ශ්‍රවණය කොට එවං මෙසුතං ආදිය කීවේයයි දතයුතුය. එහි ආයස්මා යනු ප්‍රිය වචනයකි. ගරු වචනයකි. ගෞරව සහිත, සැලකිලි සහිත වචනයකි. ආනන්‍දො යනු ඒ තෙරුන්ගේ නාමයයි. හෙතෙම උපදිනු ලබන්නේම කුලයෙහි ප්‍රීතිය සතුට බොහෝ සේ වර්ධනය විය. එහෙයින් මොහුට ආනන්ද යැයි නාමය කරන ලදැයි දතයුතුය. කොසම්බියං යනු එබඳු නම් සහිත නගරයෙහි, එම නගරයෙහි මල් පලතුරු සහිත වතු හා පොකුණු ආශ්‍රිත ඒ ඒ තන්හි කොහොඹ රුක් ඉතා බහුල විය. එහෙයින් එය කෝසම්බියයි යන සංඛ්‍යාවට ගියේය. කුසම්බ නමැති සෘෂිහුගේ ආශ්‍රමයට නුදුරින් නිමවන ලද හෙයිනැයි ඇතැම්හු කියති.
ඝොසිතාරාමෙ යනු ඝෝසිත සිටුහු විසින් කරවන ලද අරම්හි, කොසඹෑ නුවර, ඝෝසිත සිටු කුක්කුට සිටු පාවාරික සිටුයයි සිටුවරු තිදෙනෙක් විසූහ. එම තිදෙනම ලොවැ බුදුරදහු උපනැයි අසා, ගැල් පන්සියය බැගින් දානෝපකරණයන් අසුරවා සැවැතට ගොස් දෙව්රම සමීපයෙහි කඳවුරු බැඳ, බුදුරදුන් වෙත ගොස් වැඳ, පිළිසඳර කොට හුන්නාහු, බුදුරදුන්ගේ ධර්ම දේශනාව ශ්‍රවණයකොට, සෝවාන් ඵලයෙහි පිහිටා, බුදුරදුන්ට ආරාධනා කොට, බුද්ධප්‍රමුඛ භික්‍ෂු සංඝයාට අඩමසක් පමණ මහදන් දී බුදුන් පාමුල වැදහෙව, සියදනව් යාම සඳහා බුදුරදුන් ආරාධනා කොට ‘ගෘහපතිවරුනි, තථාගතවරු ශූන්‍යාගාරයන්හි සිත් අලවතියි බුදුරදුන් වදාළ කල්හි, භාග්‍යවතුන් විසින් අපට ප්‍රතිඥා දෙන ලදැයි අතිශයින් සතුටට පත්ව දසබලධාරීන් වැඳ නික්මුණාහු අතරමග යොදුනක් යොදුනක් පාසා භාග්‍යවතුන් වහන්සේට විසීම සඳහා විහාර කරවනුයේ, පිළිවෙලින් කොසඹෑ නුවරට පැමිණ, තම තමන්ගේ ආරාමයන්හි මහත් ධන පරිත්‍යාගකොට භාග්‍යවතුන් වහන්සේට විහාරයන් කරවූහ. එහි ඝෝසිත සිටුහු විසින් කරවන ලද ආරාමය ඝෝසිතාරාම නම් විය. කුක්කුට සිටුහු විසින් කරවන ලද ආරාමය කුක්කුටාරාම නම් විය. පාවාරික සිටුහු විසින් අඹ වනයෙහි කරවන ලද ආරාමය පාවාරිකම්බන නම් විය. ඒ සඳහා යූ.සේයි. ‘ඝෝසිත සිටුහු විසින් කරවන ලද ආරාමයෙහි යැයි.
ආවුසො භික්ඛවෙ යන මෙහි භාග්‍යවත් බුදුවරු ශ්‍රාවකයින් ආමන්ත්‍රණය කරන්නාහු භික්ඛවෙ යයි ආමන්ත්‍රණය කරති. ශ්‍රාවකයෝ වනාහි බුදුවරු හා සමාන නොවෙමුයි ඇවැත්නි යයි ප්‍රථමයෙන් කියා, පසුව මහණෙනියි කියති. බුදුවරුන් විසින් අමතනු ලැබූ භික්‍ෂු සංඝයා, භදන්තෙ යයි පිළිවදන් දේ. ශ්‍රාවකයින් විසින් අමතනු ලැබූ කල්හි ආවුසොයි පිළිවදන් දේ.
යොහි කොචි අනියම් වචනයයි. එයින් එබඳු වූ සියලු භික්‍ෂූන්ගේ ග්‍රහණයයි. මම සන්තිකෙ යනු මාගේ සමීපයෙහි තමාගේ අර්හත්වයට පැමිණීම, නපුංසක භාවයෙහි සිද්ධ වචනයයි. අරහත්තං පත්තං යනු පදච්ඡේදයි. තමා විසින් පත් අර්හත්වයයි අර්ථයි. අර්හත්වයට පත් තමා යයි පාඨ ශේෂයි. චතුහි මග්ගෙහි යනු මතු කියනු ලබන සිව් ප්‍රතිපදා මාර්ගයන්ගෙන්, ආර්ය මාර්ගයන්ගෙන් නොවේ. චතුහි මග්ගෙහි යයි වෙන්වද කියන ලද හෙයින් කිසි රහත් කෙනෙකුන්ට ප්‍රථම ආර්ය මාර්ගයෙහි ඕභාසාදී ධර්මයෙහි නොසන්සුන් භාවයන් විරෝධයට පැමිණවීම් පූර්වාංගම මාර්ගයයි. එක් අයෙකුට සමථ පූර්වංගම ආර්ය මාර්ගයාගේ වශයෙනි. එක් අයෙකුට විදර්ශනා පූර්වංගම මාර්ගය වශයෙනි. එක් අයෙකුට සමථ විදර්ශනා දෙකම එක්කොට (යුගනද්ධ) පූර්වංගම වශයෙනි. මෙසේ මේ චතුෂ්කයම ප්‍රතිපදා මාර්ග වේයයි දතයුතුය. එතෙසංවා අඤ්ඤතරෙන යනු එම සිව් ප්‍රතිපදා මාර්ගයන්ගෙන් එක් ප්‍රතිපදා මාර්ගයකින් හෝ, අර්හත්ව ප්‍රාප්තිය ප්‍රකාශ කෙරේයයි අර්ථයි. ශුෂ්ක විදර්ශක රහත් හට ධර්මෝද්ධච්ච පූර්වංගම මාර්ග වේ. ධර්මෝද්ධච්ච විරෝධයට පැමිණ හෝ නොපැමිණ හෝ සමථ පූර්වංගමාදී ත්‍රිවිධ ප්‍රතිපදා මාර්ගයන්ගේ එකිනෙකාගේ වශයෙන් පත් සිව්මග රහත් හට, අර්හත්ව ප්‍රාප්තිය අනෙක් එකිනෙක මාර්ගයන් පූර්වංගම වේ. එහෙයින් ඒවායින් එක්තරා එකකින්ය යන අර්ථයි.
සමථ පුබ්බංගමං විපස්සනං භාවෙති යනු සමථ පූර්වංගම පෙර ගමන්කොට විදර්ශනා වඩයි. පළමුවෙන් සමාධිය උපදවා, පසුව විදර්ශනා වඩයි යයි අර්ථයි. මග්ගො සඤ්ජායති යන ආදීන්හි, එක් චිත්ත ක්‍ෂණික මාර්ගයාගේ ආසේවනාදීහු නම් නැත. ද්විතීය මාර්ගාදීන් උපදවනුයේ එම මාර්ගයම සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කෙරේයයි යූ.සේයි. සංයොජනා පහීයන්ති අනුසයා බ්‍යන්ති හොන්ති යනු අර්හත් මාර්ගය තෙක් ක්‍රමයෙන් සියලු සංයෝජන ප්‍රහීණ වෙයි සිත්හි පවත්නා අප්‍රකට කෙලෙස් අවසන් වෙයි. අනුසයා බ්‍යන්ති හොන්ති යනු නැවත නොඉපදීම් වශයෙන් විගතාන්ත වෙයි අර්ථයි.
පුනචපරං යනු නැවත අනෙක් කරුණෙකි. විපස්සනා පුබ්බංගමං සමථං භාවෙති යනු විදර්ශනා පූර්වාංගමව පෙරගමන් කොට සමථය වඩයි. ප්‍රථමයෙන් විදර්ශනාව උපදවා පසුව සමාධිය වඩයි යන අර්ථයි. යුගනන්‍ධං භාවෙති යනු යුගනද්ධ කොට වඩයි. මෙහි එම සිතින්ම සමවතට සමවැද, එම සිතෙන්ම සංස්කාරයන් සම්මර්ශනය කරන්ට නොහැකිය. මෙය වනාහි යම් පමණ සමවත් සමවදීද, එපමණ සංස්කාරයන් සම්මර්ශනය කරයි. යම්පමණ සංස්කාරයන් සම්මර්ශනය කෙරේද? එපමණ සමවදී, කෙසේද, ප්‍රථම ධ්‍යානයට සමවදී. ඉන් නැගිට සංස්කාරයන් සම්මර්ශනය කරයි. සංස්කාරයන් සම්මර්ශනය කොට තෘතීය ධ්‍යානයට -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතට සමවදී. ඉන් නැගිට සංස්කාරයන් සම්මර්ශනය කරයි. මෙසේ සමථ විදර්ශනාවන් යුගනද්ධව වඩයි නමැ.
ධම්මුද්ධච්ච විග්ගහිතං මානසං හොති යන මෙහි මන්‍දප්‍රාඥ විදර්ශකයින්ට උපක්ලේශ වස්තු හෙයින්, එම ආලෝක ආදී දස විදර්ශනොපක්ලේශයන්හි, කම්පාවීම් වශයෙන් නොසන්සුන්කම ධම්මුද්ධච්චයයි, ඒ ධර්මොද්ධච්චයෙන්, නොමනාව ගත් විරූපයෙන් ගත්, විරෝධයට පමුණුවන ලද මනස සිත ආලෝකාදී ධර්මයෙහි වික්‍ෂෙප සංඛ්‍යාත උද්ධතභාවයෙන් විරෝධයට පමුණුවන ලද මනස වෙයි. එම ධර්මෝද්ධච්චයෙන් එයට හේතුවූ එයට මූලික වූ, තෘෂ්ණා මාන දෘෂ්ටි ඉපැත්මෙහි විරෝධයට පමුණුවන ලද මනස වෙයි. ‘ධම්මුද්ධච්ච විග්ගහිත මානසං’යිද පාඨයි. සො ආවුසො සමයො යනු මෙයින් මාර්ගාමාර්ග තීරණයෙන් ඒ ධර්මෝද්ධච්චය වළක්වා නැවත විදර්ශනා වීථියට පිළිපන් කාලය පෙන්වයි. යං තං චිත්තං යම් වේලාවක එම විදර්ශනා වීථියට බැස පැවැති සිත, අජ්ඣත්තමෙව සන්තිට්ඨති යනු විදර්ශනා වීථියට පසුව බැස, එසමයෙහි ගොචරජ්ඣත්ත සංඛ්‍යාත අරමුණෙහි සිටී. පිහිටයි. සන්නිසීදති යනු එහිම පැවැතීම් වශයෙන් මනාව හිඳියි. එකොදිහොති එකඟ වේ. සමාධියති යනු මනාව පිහිටයි. මනාව සිටියේ වේ. මේ සූත්‍රාන්ත වර්ණනාවයි.