මෙත්තාකථාවණ්ණනා
බොධ්‍යංග කථානන්තරවැ, දේශිත, බොධ්‍යංගකථා සංකල්පයන්හි, සූත්‍රාන්ත පූර්වංගම මෛත්‍රී කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි සූත්‍රාන්තයෙහි ආසෙවිතාය යනු වඩනා ලද ආදරයෙන් සෙවුණා ලද, භාවිතාය යනු වඩනා ලද බහුලීකතාය යනු නැවත නැවත කරනා ලද, යානිකතාය යනු යුක්ත යානයක් මෙන් කළ (එන්ජින් පරීක්‍ෂාකොට, ටයර් හා ඔයිල්, බ්රේක් ආදිය නිසි අයුරින් පවත්නා) වත්‍ථුකතාය යනු ප්‍රතිෂ්ඨාර්ථයෙන් වස්තුවක් මෙන් කළ, අනුට්ඨිතාය යනු එළඹ සිටි කල්හි, පරිචිතාය යනු හාත්පසින් රැස්කළ, සුසමාරද්ධාය යනු මොනොවට පටන්ගත් මොනොවට කළ, ආනිසංසා යනු අනුසස් (ගුණ) පාටිකංඛා බලාපොරොත්තු විය යුත්තාහ. කැමැති විය යුත්තාහ. සුඛං සුපති යනු සෙසු ජනතාව, පෙරැළෙන්නාහු, ගොරවන්නාහු දුකසේ ශයනය කෙරෙත්ද? එසේ නොනිදා සුවසේ නිදයි. නිද්‍රාවට අවතීර්ණ වනුයේ සමවතට සමවන්නාක් මෙන් වෙයි. සුඛං පටිබුජ්ඣති යනු අන්‍යයෝ කෙඳිරිගාන්නාහු, අත්පා දිගහැර ප්‍රාණවත් කරන්නාහු, පෙරැළෙන්නාහු දුකසේ පිබිදෙති. එසේ නොපිබිද, විකසිත වන නෙළුම්මලක් මෙන්, වෙනස්වීම් රහිතව පිබිදේ. නපාපකං සුපිනං පස්සති යනු සිහින දක්නේම යහපත් වූම චෛත්‍යය වන්දනා කරන්නාක් මෙන්, පූජාවක් කරන්නාක් මෙන්, ධර්මය අසන්නාක් මෙන් වූ සිහිනයක් දකියි. අන්‍යයෝ තමා සොරුන් විසින් වටකරන ලද්දාක් මෙන්ද, නපුරු සතුන්ගෙන් උවදුරට පත් වූවාක් මෙන්ද, ප්‍රපාතයට පතිත වන්නාක් මෙන් දකිත්. මෙසේ පාපී සිහින නොදකියි. මනුස්සානං පියො හොති යනු ළයෙහි පැළැඳි මුතුහරක් මෙන්ද, හිස පළන් මල්දමක් මෙන්ද, මිනිසුනට ප්‍රියමනාප වේ. අමනුස්සානං පියොහොති යනු යම්සේ මනුෂ්‍යයින්ටද අමනුෂ්‍යයින්ටද එසේම ප්‍රිය වේ. දෙවතා රක්ඛන්ති යනු මව්පියවරුන් සිය දරුවා මෙන් දේවතාවෝ රකිති. නාස්ස අග්ගිවා විසංවා සත්‍ථංවා කමති යනු මෛත්‍රී විහාරිහුගේ සිරුරෙහි ගිනි හෝ විස හෝ ආයුධ හෝ නොවැදගනී. නොපිවිසෙයි. ඔහුගේ සිරුර කඩා කපා දැමීම්වලට බඳුන් නොවේ. තුවටං චිත්තං සමාධියති යනු මෛත්‍රී විහාරිහුගේ සිත වහාම සමාධිගත වේ. එහි මන්දගාමී බවක් නොමැත. මුඛවණ්ණො විප්පසීදති යනු බන්‍ධනයෙන් මුක්ත, ඉදුණු තල්ගෙඩියක් මෙන්, ඔහුගේ මුහුණෙහි පැහැය සුපසන් වේ. අසම්මූළ්හො කාලං කරොති යනු මෛත්‍රී විහාරීහුට මුළාසී මරණයක් නම් නොමැත. නොමුළාසීවැ නිද්‍රාවට බස්නාක් මෙන් කළුරිය කරයි. උත්තරිං අප්පටි විජ්ඣන්තො යනු මෛත්‍රී සමවතින් මතුයෙහි අර්හත්වය අවබෝධ කරන්ට, නොහැකි වනුයේ නම්, මෙයින් චුතව නිදා පිබිදායක් මෙන්, බ්‍රහ්ම ලොකූපගො හොති යනු බඹලොව උපදීයයි අර්ථයි.
මෛත්‍රී නිර්දේශයෙහි, අනොධීසො ඵරණා යනු සීමා මායිම් වශයෙන්, සීමාරහිත වූයේ අනොධියි. එම සීමා රහිත වශයෙන්, සීමා රහිතතායෙන් යයි අර්ථයි. ප්‍රදේශ රහිතතායෙන් ස්පර්ශ කිරීමයයි යූසේයි. ඔධිසො යනු ප්‍රදේශ වශයෙන් දිසා ඵරණා යනු දිසාවන්හි පැතිරීම්. සබ්බෙ යනු ප්‍රදේශ සේසරහිත ගැනීමයි. සත්තා යන පදයෙහි අර්ථය ඤාණ කථා මාතෘකා වර්ණනායෙහි යූසේයි. අධ්‍යාහාර ශබ්දයෙන් වීතරාගීන් කෙරෙහිද, මෙම ව්‍යවහාරය පවතී. උණ, බට පතුරුමුවා වූද, වටාපත් විශේෂයෙන් තල් නටු ව්‍යවහාරය මෙනි. අවෙරා යනු වෛර රහිත වූවාහු, ස්වකීය සන්තානයෙහිද අනෙකා හේතුකොට අන්‍ය සන්තානයෙහිද වෛර අභාවය දක්වන ලදි. අබ්‍යාපජ්ඣො ‘අබ්‍යාපජ්ඣ’ ආදීන්හි වෛර අභාවයෙන් එය මූලිකකොට ඇති ව්‍යාපාද අභාවයයි, ‘අනීසා’ යනු ව්‍යාපාද අභාවයෙන් එය මූලිකකොට ඇති දුකෙහි අභාවයෙන්, ‘සුඛී අත්තානං පරිහරන්තු’ යනු දුක් අභාවයෙන් සුවයෙන් ආත්මභාව පරිහරණය දක්වන ලදැයිද, මෙසේ මෙහි වචනය සම්බන්ධය දතයුතුය. මේවාහිද ‘අවෙරා හොන්තු’ ආදී සිව් වචනයන්හි යමක් යමක් ප්‍රකට වේද, ඒ ඒ වශයෙන් මෛත්‍රියෙන් පතුරුවයි.
‘පාණා’ යන ප්‍රාණතායෙන් පාණායි. ආශ්වාස ප්‍රශ්වාසයන්ට අයත් පැවැත්මෙනැයි අර්ථයි. හටගත් හෙයින් භූතායි. මනාව හටගත්තාහුය. (උපන්නාහුයයි) අර්ථයි. නිරයං පුං යයි යූ.සේයි. එහි ගිලිහෙති. යෙත්නුයි පුග්ගලායි. ශරීරය ආත්මභාවයයි යූ.සේයි. ස්කන්ධ පංචකයම හෝ, එය දැඩිසේ ගෙන ප්‍රඥප්ති මාත්‍රය යෙදෙන හෙයින් එම ආත්ම භාවයට ඇතුළත් වූවාහු, වෙන්කළාහු, ඇතුළත් වූවාහුනුයි අත්තභාව පරියාපන්නායි. සත්ත්වයා යන වචනය යම්සේද, මෙසේ සෙසු වචනයන්ද, අධ්‍යාහාර වශයෙන්, ආරෝපණය කොට එම සියල්ලම සියලු සත්ත්වයින්ට පර්යාය වචනයෝ යැයි දතයුත්තාහ. පොදුවේ ගත්කළ අනෙකුත් සියලු සත්ත්වයෝ සියලු ජීවිහු යනාදී සියලු සත්ත්ව පර්යාය වචන ඇත. ප්‍රකට වශයෙන් මෙම පංචකයම ගෙන පඤ්චාකාරයකින්, සීමාරහිතව පැතිරවීම මෛත්‍රී චෙතො විමුක්තිය යැයි යූ.සේයි. යම් සත්ත්වයෝ, ප්‍රාණීහු ආදීන්ගේ හුදෙක් වචන මාත්‍ර වශයෙන්ම නොවේ. තවද අර්ථ වශයෙන්ද නානාප්‍රකාර බව කැමැති වන්නාහුය. ඒවාහි සීමාරහිතව මෛත්‍රී පැතිරවීම විරුද්ධ වේ. (නොගැළපේ) එහෙයින් එසේ අර්ථ නොගෙන මෙම පඤ්චාකාරයන්හි එක්තරා ආකාරයක් වශයෙන් සීමාරහිත මෛත්‍රිය පතුරුවයි.
සීමාකිරීම් සහිත පැතිරවීම්හි ඉත්‍ථියො පුරිසා යනු ලිංග වශයෙන් යූසේයි. අරියා අනරියා යනු ආර්ය, පෘථග්ජන වශයෙන්, දෙවා මනුස්සා විනිපාතිකා යනු උත්පත්ති වශයෙන් දිසා පැතිරවීම්හි, දිසා බෙදීමක් නොකොට සියලු දිසාවන්හි සියලු සත්ත්වයෝ ආදී ක්‍රමයෙන් පැතිරවීමෙන් සීමාරහිතව පැතිරවීම වේ. සියලු දිසාවන්හි සියලු ස්ත්‍රීහු යන ආදී ක්‍රමයෙන් පැතිරවීමෙන්, සීමා සහිතව පැතිරවීමය.