මූලමූලකාදිදසකවණ්ණනා
මූලට්ඨෙන යනාදියෙහි මූලික වූ දශකයෙහි, මූලට්ඨෙන යනු විදර්ශකාදීන්හි පළමු පළමු බොධ්‍යංග, පශ්චිම පශ්චිම බොධ්‍යංගයන්ටද, සහජාත ධර්මයන්ටද, ඔවුනොවුන්ටද මූලාර්ථයෙන්, මූලචරියට්ඨෙන යනු මුල්වැ චර්යා පැවැත්ම මූලචර්යායි. එම මූලචර්යාර්ථයෙන් මුල්වැ පවත්නා අර්ථයෙන් යැයි අර්ථයි. මූලපරිග්ගහට්ඨෙන යනු එම බොධ්‍යංගයෝම මුල සිට ඉපදවීම සඳහා අල්ලා ගනු ලබන හෙයින් පරිග්ගහායි. මුල් වූම පරිග්‍රහ-මූල පරිග්‍රහයි. එම මූල පරිග්‍රහාර්ථයෙන්, ඒවාම ඔවුනොවුන්ටද පරිවාර වශයෙන් පරිවාරට්ඨෙනයි. භාවනා පරිපූරාර්ථයෙන් පරිපූරණට්ඨෙනයි. නිෂ්ඨාවට පැමිණීම් වශයෙන්, පරිපාකාර්ථයෙන්, පරිපාකට්ඨෙනයි. එම මූලයෝම සවැදෑරුම් ප්‍රභේද වශයෙන් බිදුණු හෙයින් ප්‍රතිසම්භිදාවනුයි මූල ප්‍රතිසම්භිදායි. එම මූල ප්‍රතිසම්භිදා අර්ථයෙන්, මූලපටිසම්භිදට්ඨෙන; මූල පටිසම්භිදාපාපනට්ඨෙන යනු බොධ්‍යංග භාවනායෙහි අනුයුක්ත යෝගියාට එය මූලික ප්‍රතිසම්භිදාවට පැමිණවීම් අර්ථයෙන්, එම යෝගියාටම එම මූල ප්‍රතිසම්භිදාවෙහි (වසීභාවට්ඨෙන) වසී භාවාර්ථයෙන්. සෙසු මෙබඳු පුද්ගල ව්‍යවහාරයන්හි බොධියගේ අංගනුයි බෝධ්‍යංගයයි යූ.සේයි. මූලපටිසම්භිදාය වසී භාවප්පත්තානම්පි යනු මෙබඳු වූ නිෂ්ඨා වචනයන්හි ඵල බොධ්‍යංගයයි දතයුතුය. වසභාවප්පත්තානංයිද පාඨයි.
මූල මූලක දශකය නිමි.
සෙසු හේතු මූලකාදී නව දශකයන්හි, මෙම ක්‍රමයෙන්ම සාධාරණ වචනයන්ගේ අර්ථය දතයුතුය. අසාධාරණයන්හි වනාහි, කියන ලද ආකාර වූම, බොධ්‍යංග කියන ලද ආකාර ධර්මයන්ගේ ඉපදවීම් කරන හෙයින් හේතු නම් වෙයි. උපස්තම්භක හෙයින් පච්චයා ප්‍රත්‍යය නමැ. ඒවාම තදංග, සමුච්ඡේද, පටිප්පස්සද්ධි යන කෙලෙස් ප්‍රහාණයන්ගෙන් පිරිසිදු හෙයින් විසුද්ධි නමැ. දෝෂ විරහිත හෙයින් අනවජ්ජා නමැ. සියලුම කුසල්දම් නෛෂ්ක්‍රම්‍යයයි කීමෙන් නෙක්ඛම්මං නමැ. කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් විමුත්ති නමැ. මාර්ගඵල බොධ්‍යංගයන්ට විෂය වූ ආශ්‍රවයන්ගෙන් විරහිත හෙයින් අනාසවායි. තෙවැදෑරුම් වූද බොධ්‍යංග කෙලෙසුන්ගෙන් ශූන්‍ය හෙයින්, තදංග විවේකාදී වශයෙන් විවෙකායි. විදර්ශනාමාර්ග බොධ්‍යංග පරිත්‍යාග වොස්සග්ග හෙයින්ද, පක්ඛන්‍දන වොස්සග්ග හෙයින් වොස්සග්ගායි.
මූලට්ඨං බුජ්ඣන්ති යනාදීහු එක් එක් පද වශයෙන් නිර්දිෂ්ටයහ. නව දශකයන් කියන ලද අයුරින්ම දතයුත්තාහ. වසීභාවප්පත්තානං යන පදය වනාහි වර්තමාන වචන අභාවයෙන් නොයොදන ලදි. පරිග්‍රහර්ථාදීහු අභිඤ්ඤෙය්‍ය නිර්දේශයෙහි කියන ලද අර්ථමය.
තෙරහු තමන් විසින් දේශිත සූත්‍රාන්තය කෙටියෙන් දක්වා විස්තර වශයෙන් බොධ්‍යංග විධිය දක්වනු කැමැත්තාහු, එකං සමයං ආදී වූ නිදානය ප්‍රකාශකොට පළමුව සූත්‍රාන්තය කෙටියෙන් දැක්වූහ. මෙහි තමන් විසින් දේශිත සූත්‍රයක් හෙයින් එවං මෙ සුතං ආදිය නොයූසේයි. ආයස්මා සාරිපුත්තො යන මෙහි වනාහි දෙශක දක්ෂභාවය සඳහා තෙමේ අනෙකා මෙන් කොට යූසේයි. මෙබදු වචන ලෝකයෙහි ග්‍රන්ථයන්හි බොහෝ සේ යෙදේ. පුබ්බණ්හසමයං සියලු පූර්වාහ්න සමය. අත්‍යන්ත සංයෝගාර්ථයෙහි ද්විතියා වචනයි. සෙසු ද්වයයෙහිද එම ක්‍රමයමැයි. සති සම්බොජ්ඣංගො ඉති චෙ මෙ හොති යනු ස්මෘති සම්බොධ්‍යංග යැයි මෙසේත් මට සිත් වේ. සුසමාරද්ධො මෙහොති යනු මොනවට පරිපූර්ණයැයි මෙසේත් මට සිත් වේ. තිට්ඨන්තං යනු නිර්වාණාරම්මණයෙහි පැවතීම් වශයෙන් සිටිනුයේ, චවති යනු නිවන් අරමුණින් පහවැයේ. සෙසු බොධ්‍යංගයන්හිද එම ක්‍රමයමැයි.
රාජ මහා මත්තස්ස යනු රජෙකුට හෝ මහ ඇමැතියෙකු හට, ප්‍රමාණාතික්‍රාන්ත මහත් වූ භෝග සම්පත්තීන්ගෙන් යුක්ත වූයේ, නානාරත්තානං යනු නොයෙක් වර්ණවලින් වර්ණ කැවූ, පූරණාර්ථයෙහි ෂෂ්ඨි වචනයි. නොයෙක් සායම්වලින් යන අර්ථයි. දුස්සකරණඩකො යනු වස්ත්‍ර බහාලන පෙට්ටිය, දුස්සයුගං යනු වස්ත්‍ර යුගලය, පාරුපිතුං යනු පොරෝනට, මෙම සූත්‍රාන්තයෙහි තෙරුන්ගේ ඵල බොජ්ඣංගය කියන ලදි. යම්කලෙකැ තෙරහු ස්මෘති සම්බොධ්‍යංගය ශීර්ෂකොට ඵල සමවතට සමවදිත්ද? එකල්හි අනෙක් ද්වයය ඒ අනුගත වූවාහු වෙති. මෙසේ ඵල සමවතෙහි තම පුරුදු කළ වසීභාවය පෙන්වන්නා වූ තෙරහු මෙම සූත්‍රාන්තය වදාළහ.