ධම්මුද්ධච්චවාරනිද්දෙසවණ්ණනා
ධර්මෝද්ධච්චවාරයෙහි, අනිච්චතො මනසි කරොතො ඔභාසො උප්පජ්ජති යනු උදයව්යයානු පස්සනාවෙහි සිටියහුට, ත්රිවිධ අනුපස්සනාවන්ගෙන් නැවත නැවත සංස්කාරයන් විදර්ශනා කරන කරන කල්හි නුවණ මේරීමට ගියකල්හි, තදංග වශයෙන් කෙලෙස් ප්රහාණයෙන්, පිරිසිදු සිතැත්තහුට, අනිත්ය වහයෙන් හෝ, දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ මෙනෙහි කරන කෙණෙහි, විදර්ශනා ඤාණානුභාවයෙන් ප්රකෘතියෙන්ම ආලෝකය උපදී. පළමුව අනිත්ය වශයෙන් මෙනෙහි කරන කල්හි ආලෝකය කියන ලදි. අදක්ෂ විදර්ශකයා එම ආලෝකය උපන් කල්හි, මට මෙයට පෙර මෙබඳු ආලෝකයක් නූපන් විරූය. ඒකාන්තයෙන් මාර්ගයට පැමිණියෙමි. ඵලයට පැමිණියෙමියි, නොමගම මාර්ගයැයිද ඵල නුවූයේම ඵලය යැයි ගනියි. නොමග මාර්ගයැයිද, නිඵලය ඵලයයැයිද ගන්නහුට විදර්ශනා වීථිය උදුරා දමනු ලැබුයේ වේ. හෙතෙම විදර්ශනා වීථිය අත්හැර, වික්ෂේපයට පැමිණියේ හෝ ආලෝකයම, තෘෂ්ණා, දෘෂ්ටි හැඟීම්වලින් හඟිනු ලබන්නේ හෝ හිඳී. මෙම ආලෝකය වනාහි ඇතැම් භික්ෂුවකට පර්යංකස්ථාන ප්රමාණයම බබළවනුයේ උපදී. ඇතැමෙකුට ඇතුල්ගැබ, ඇතමෙකුට ගැබෙන් පිටද, ඇතැමෙකුට සම්පූර්ණ විහරයද, ගව්වක්, අඩයොදුනක්, යොදුනක්, දෙයොදුනක් -පෙ- ඇතැමෙකුට පෘථුවිතලයෙහි සිට අකනිටා බඹලොව තෙක් ඒකාලෝක කරමින් පවතී. භාග්යවතුන් වහන්සේට වනාහි දසදහසක් ලෝකධාතු බබළවමින් පහළවිය. මෙම ආලෝකය වනාහි සිව් අංගයන්ගෙන් සමන්විත ඝණ අන්ධකාරයෙහි පවා ඒ ඒ ස්ථාන ආලෝක කරමින් උපදී.
ඔභාසො ධම්මොති ඔභාසං ආවජ්ජති යනු මෙම ආලෝකය, මාර්ග ධර්මයයිද ඵල ධර්මයයිද ඒ ඒ ආලෝකය මෙනෙහි කරයි. තතො වික්ඛෙපො උද්ධච්චං යනු එම ආලෝකය තුළින් එය මාර්ගඵල ධර්මයැයි ආවර්ජනා කිරීමෙන් යම් වික්ෂෙපයක් උපදීද, එය උද්ධච්ච නමැයි අර්ථයි. තෙන උද්ධච්චෙන විග්ගහිත මානසො යනු එයින් මෙසේ උපදිනු ලබන උද්ධච්චයෙන් විරෝධයට පමුණුවන ලද සිතැතියේ, එම උද්ධච්චයෙන් හෝ එයට හේතුවූ එයට මූලික ක්ලේශෝත්පත්තියෙහි විරොධයට පමුණුවන ලද සිතැති, විදර්ශක තෙමේ විදර්ශනා වීථියට බැස, වික්ෂෙපයට හෝ එය මූලික ක්ලේශයන්හි හෝ සිටි හෙයින්, අනිත්ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් එළැඹ සිටීම් තත්ත්වාකාරයෙන් නොදනී. එහෙයින් ‘ධම්මුද්ධච්ච විග්ගහිත මානසොයි’ කියනු ලැබේ. මෙසේ යයි ශබ්දය යෙදිය යුතු වේ. සො සමයො යනු මෙසේ ආස්වාද වශයෙන් කිලිටි වූ සිතැති යෝගීහුටද ඉදින් විමසා බැලීම් උපදීද, හෙතෙම මෙසේ විශේෂයෙන් දැනගනී. විදර්ශනා නම් සංස්කාරාරම්මණය. මාර්ගඵල නිර්වාණාරම්මණය. මෙම චිත්තයෝද සංස්කාරාරම්මණයහ. එහෙයින් මෙම ආලෝකය මාර්ගය නොවේ. උදයව්යය නුවණින් මනාව බැලීමම නිර්වාණයෙහි ලෞකික මාර්ගය යැයි මාර්ගාමාර්ග වෙන්කොට එම වික්ෂෙපය දුරුකොට, උදයව්යයානුපස්සනාවෙහි පිහිටා සිට මනාව සංස්කාරයන්, අනිත්ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විදර්ශනා කරයි. මෙසේ මනාව පරීක්ෂා කරන්නහුට, යම්කලෙකැ සිත ගෝචරාධ්යාත්ම සංඛ්යාත ආරම්මණයෙහි පිහිටා නම් මනාව හිඳීනම්, එකඟ වේනම් එබඳු සමයක් වේ. මෙසේ නොදක්නේ වනාහි මාර්ගයට ඵලයට පත්වූයෙමියි අධිමානික වේ.
යං තං චිත්තං යනු යම් ඒ විදර්ශනා සිත, අජ්ඣත්තඤ්ඤෙව යනු ගෝචරාධ්යාත්ම සංඛ්යාත අනිත්යානුපස්සනා අරමුණෙහි, ඤාණං උප්පජ්ජති යනු රූපාරූප ධර්මයන් තුලනය කරන, තීරණය කරන, එම යෝගාවචරයාටම මුදාහළ සක්දෙව්රදුන්ගේ වජ්රායුධය මෙන් නොනසන ලද වේග ඇතියේ, සියුම් ඉතා දක්ෂ පැහැදිලි විදර්ශනා ඥානය උපදී, පීති උප්පජ්ජති යනු ඔහුට එසමයෙහි ඛුද්දිකා, ඛණිකා, ඔක්කන්තිකා, උබ්බෙගා ඵරණා යන මේ පස්වැදෑරුම් ප්රීතිය මුළු සිරුර පුරවමින් උපදී. පස්සද්ධි උප්පජ්ජති යනු ඔහුට එසමයෙහි කාය චිත්තයන්ගේ දාහය නොමැතියේමය. ගරුබව (දැඩිබව) නොමැත. කර්කශ බව නොමැත. අකර්මණ්යතාව නොමැත. ගිලන් බව නොමැත. වක්බව නොමැත. එකල්හි වනාහි ඔහුගේ කාය චිත්තයෝ සංසුන් වූවාහු, සැහැල්ලු වූවාහු, මෘදු වූවාහු, කර්මණ්ය වූවාහු, ප්රගුණ වූවාහු, මනාව පිරිසිදු වූවාහු, සෘජු වූවාහු වෙති. හෙතෙම මෙම සන්සිඳීම් ආදියෙන්, අනුගෘහිත කය හා සිතැතියේ, එසමයෙහි අමානුසි නම් ඇල්ම අනුභව කරයි. (සාමාන්ය මිනිසුන් විඳින සැපත ඉක්මවා ගිය)