කර්ම කථා
එම හේතු සම්පත්තියෙහි හේතුභූත කර්මය දක්වන්නාහු විසින් කියන ලද කර්ම කථායෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාව මෙසේය. එහි අහොසිකම්මං අහොසි කම්ම විපාකො යන ආදීන්හි අතීත භවයන්හි කළ කර්මයට අතීත භවයන්හිම ඵලදුන් විපාකය සලකා, අහෝසි කර්මය, අහෝසි කර්ම විපාකයැයි යූ.සේයි. එම අතීත කර්මයෙහිම දිට්ඨධම්මවේදනීය, උපපජ්ජ වේදනීය ප්රත්යය ඌනතායෙන් අතීත භවයන්හිදී ඵල නුදුන් විපාකයද, අතීතයෙහිම පිරිනිවියහුගේ, දිට්ඨධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය අපරාපරිය වෙදනීය කර්මයාගේ පල නුදුන් විපාකයද සලකා අහොසි කම්මං නාහොසි කම්ම විපාකොයි යූ.සේයි. ඉක්ම ගියා වූ කර්මයෙහිම පල නුදුන් විපාකයෙහි, වත්මන් භවයෙහි ප්රත්යය සම්පත්තියෙන් පලදෙනු ලබන විපාකය සලකා අහොසි කම්මං අත්ථිකම්ම විපාකොයි යූ.සේයි. ඉක්මගියා වූ කර්මයෙහිම ඉක්මගියා වු විපාක කාලයෙහිද, වත්මන් භවයෙහි පිරිනිවන්පාන්නහුගේද, පලනොදෙන්නා වූ විපාකය සලකා අහොසි කම්මං නත්ථි කම්ම විපාකොති යූ.සේයි. අතීත වූම කර්මයාගේ විපාක දීමේ ශක්තිය තිබියදී, පල නුදුන් විපාකයට, අනාගත භවයෙහි ප්රත්යය සම්පතින් විපාක දියයුතු තත්ත්වයට පත් විපාක දියයුතු සේ සැලකෙන කර්මය අහොසි කම්මං භවිස්සති කම්ම විපාකොයි යූ.සේයි. අතීත කර්මයාගේ ඉක්මගිය විපාක කාලයද අනාගත භවයෙහි පිරිනිවන් පාන්නහුගේද, අවිපාක තත්ත්වය සලකා අහොසි කම්මං නාභවිස්සති කම්ම විපාකොයි යූසේයි. මෙසේ, අතීත කර්මය, අතීත, වර්තමාන, අනාගත, විපාක, අවිපාක වශයෙන් ෂට් ආකාරයකට දක්වන ලදි.
වත්මන් භවයෙහි කළ දිට්ඨධම්ම වේදනීය කර්මයෙහි මෙලොවදීම පලදෙනු ලබන විපාකය සලකා, අත්ථිකම්මං අත්ථිකම්ම විපාකොයි යූ.සේයි. එම වත්මන් කර්මයාගේම ප්රත්යය ඌනතායේ මෙහි පලනොදෙනුයේ, මේ අත්බැව්හිම පිරිනිවෙන්නහුට මෙලොව පලනොදෙන විපාකය සලකා අත්ථි කම්මං නත්ථි කම්ම විපාකොයි යූ.සේයි. වර්තමාන වූම කර්මයාගේ උපපජ්ජවේදනීය, අපරාපරියවේදනීයද, අනාගත භවයෙහි පලදිය යුතු විපාකය සලකා අත්ථි කම්මං භවිස්සති කම්මවිපාකොයි යූසේයි. වර්තමාන වූම කර්මයාගේ උපපජ්ජවේදනීයතාවයාගේ ප්රත්යය ඌනතායෙන්, අනාගත භවයෙහි පලනොදීම් භාවයද, අනාගත භවයෙහි පිරිනිවන්පෑ යුතු තැනැත්තාගේ අපරාපරියවේදනීය භාවයාගේ පලනොදිය යුතු බවද සලකා අත්ථිකම්මං න භවිස්සිති කම්ම විපාකොයි යූ.සේයි. මෙසේ වර්තමාන කර්මය වර්තමාන, අනාගත, විපාක, අවිපාක වශයෙන් සිව් අයුරෙකින් දක්වන ලදි.
අනාගත භවයෙහි කළයුතු කර්මයෙහි අනාගත භවයෙහි පලදිය යුතු කර්මය සලකා, භවිස්සති කම්මං භවිස්සති කම්ම විපාකොයි යූ.සේයි. එහිම අනාගත කර්මයාගේ ප්රත්යය හීනතාවයෙන් පලනොදිය යුතු වූද, අනාගත භවයෙහි පිරිනිවන් පෑයුතු තැනැත්තහුගේද, පලනොදිය යුතු විපාකයද සලකා, භවිස්සති කම්මං න භවිස්සති කම්ම විපාකොයි යූසේයි. මෙසේ අනාගත කර්මය අනාගත, විපාක අවිපාක වශයෙන් දෙයාකාරයෙන් දක්වන ලදි. ඒ සියල්ල එකතුකොට දොළොස් අයුරෙකින් කර්මය දක්වන ලදි.
මෙතැන් සිට කර්ම චතුෂ්ක ත්රයය ගෙනහැර කියති. ඒවා කී කල්හි මෙම අර්ථය වඩාත් ප්රකට වන්නේය. දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය, අපරාපරියවේදනීය, අහෝසි කර්ම වශයෙන් කර්මය සිව්ආකාර වේ. ඒවා අතර, එක් ජවන වීථියක, සත් සිත්හි කුසල හෝ අකුසල හෝ ප්රථම ජවන් චේතනාව දිට්ඨධම්ම වේදනීය කර්මය නමැ. එය මෙ අත්බැව්හිම විපාකදේ. එසේ නොහැකි වනුයේ අහෝසිකර්ම වේ. කර්මවිපාක නොවූයේය. කර්මවිපාක නොවන්නේය. මෙම ත්රිකයෙහි වශයෙන් අහෝසි කර්මය වේ. අර්ථසිද්ධිය ගෙනදෙන සත්වන ජවන චේතනාව උපපජ්ජ වේදනීය කර්මය නමැ. එය අනතුරු අත්බැව්හි විපාක දෙයි. එසේ නොහැකිවනුයේ කියන ලද ක්රමයෙන්ම අහෝසි කර්ම නම් වේ. දෙඅතර පස්වන ජවන චේතනාව අපරාපරිය වේදනීය කර්මය නමැ. එය අනාගතයෙහි යම්කලෙකැ අවකාශ ලබාද? එකලැ විපාක දේ. සංසාර ප්රවෘත්තිය ඇතිකල්හි අහෝසි කර්ම නම් නොවන්නේය.
අන්ය වූද සිව් අයුරු කර්මයකැ. යග්ගරුක, යබ්බහුල, යදාසන්න, කටත්තාවා යන කර්මයි. එහි යම් කුසලයක් හෝ අකුසලයක් බරපතල හා බරපතල නොවූ කර්ම අතර, යම් බරපතල මාතෘ ඝාතකාදී කර්මයක් හෝ මහද්ගත කර්මයක් හෝ වේද, එයම පළමුව පලදේ. එසේම සුසීල්ය හා දුස්සීල්ය කර්ම අතරද, බහුල වශයෙන් හා බහුල නොවූ අයුරින් කරන ලද කර්මයන්හි යමක් බහුලව කෙරේද, එයම පළමුව පලදේ. යදාසන්න නම් මියෙන කල්හි සරන ලද හෝ කළ කමැ. යමක් වනාහි මරණාසන්නයෙහි සිහිකරන්ට හෝ කරන්ට හෝ හැකිවනුයේද එම කර්මයෙන්ම උපදී. මෙම ත්රයයෙන් මුක්ත නැවත නැවත ලද සෙවුමැතියේ කටත්තාවාපන කර්ම නම් වේ. ඒවාහි අභාවයෙන් ඒ ප්රතිසන්ධිය ආපසු අදී. ඉදිරියට නොයයි.
අන්ය වූද සිව් ආකාර කර්මයකි. ජනක, උපස්තම්භක, උපපීඩක උපඝාතක යනුවෙනි. එහි ජනක නම් කුසල්ද අකුසල්ද වේ. ප්රතිසන්ධියෙහිද ප්රවෘත්තියෙහි රූපාරූප විපාක (විපාක ස්කන්ධයන්) හටගන්වයි. උපස්තම්භකය වනාහි විපාක හටගන්වන්ට නොහැකි වේ. අන් කර්මයකින් දුන් ප්රතිසන්ධියෙන් හටගත් විපාකයන්හි උපදනා සුවදුක්හිදී පිහිට වේ. දීර්ඝ කාලයක් පවත්වයි. උපපීඩකය අන් කර්මයකින් දුන් ප්රතිසන්ධියෙහි හටගත් විපාකයන්හි උපදනා සුවදුක් පීඩාකරයි. බාධා කරයි. දීර්ඝ කාලයක් පවතින්ට නොදෙයි. උපඝාතකය වනාහි කුසල් හෝ අකුසල් වූයේ අන්ය දුර්වල කර්මයක් නසා එහි විපාක වළකා තමාගේ විපාකයට අවකාශ ලබාගනී. මෙසේ කර්මයෙන් කළ අවකාශයෙහි එම විපාකය උපන්නේ නම් වේ.