විමෝක්ෂ උද්දෙස වර්ණනාව
දැන් ඉන්ද්රිය කථාවට අනතුරුව කියන ලද, විමොක්ෂ කථායෙහි, පෙර නොවූ විරූ අර්ථ අනුවර්ණනාව පැමිණියේය. මෙම විමොක්ෂ කථාව, ඉන්ද්රිය භාවනාවෙහි යෙදුණහුට විමොක්ෂය හටගන්නා හෙයින්, ඉන්ද්රිය කථාවට අනතුරුව කියන ලදි. එයද කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ශ්‍රවණය කරන ලද සූත්‍රාන්ත දේශනා පූර්වාංගම කොට වදාළේය. එහි සූත්‍රාන්තයෙහි, සුඤ්ඤතො විමොක්ඛො යන ආදීන්හි ශූන්‍යතාකාරයෙන් නිර්වාණය අරමුණුකොට, පැවැති ආර්ය මාර්ගය සුඤ්ඤත විමොක්ෂයයි. එය ශූන්‍යතා ධාතුවෙන් හටගත් හෙයින් ශූන්යතායි, කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් විමොක්ෂයි, එම ක්‍රමයෙන්ම අනිමිත්තාකාරයෙන් නිර්වාණය අරමුණු කොට පැවැත්තේ අනිමිත්තොයි. ආසාවන්හි නොපිහිටි ආකාරයෙන් නිර්වාණය අරමුණුකොට පැවැත්තේ අප්පණිහිතොයි දතයුතුය.
එකෙක් වනාහි මුලදීම අනිත්‍යය වශයෙන් සංස්කාරයන් මෙනෙහි කරයි. අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම් මාත්‍රයෙන්ම මාර්ගයෙහි නැගී සිටීම සිදුනොවේ. දුක් වශයෙන්ද, අනාත්ම වශයෙන්ද මෙනෙහි කළයුතුමය. එහෙයින් දුක් වශයෙන්ද, අනාත්ම වශයෙන්ද මෙනෙහි කරයි. මෙසේ පිළිපන්නා වූ ඔහුට අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන කාලයෙහි මග නැගුම වේ. මේ අනිත්‍ය වශයෙන් ඇතුළට වැදී, අනිත්‍ය වශයෙන් නැගිටියි නමි. ඉදින් මොහුට දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසා බලන කල්හි, මාර්ග වුට්ඨානය වේද, මෙතෙමේ අනිත්‍යය වශයෙන් ඇතුළට පිවිස අනාත්ම වශයෙන් නැගී සිටියි, නමැ. දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඇතුළට පිවිස නැගී සිටීම්හිද, එම ක්‍රමයමැයි. මෙහිද යම් අනිත්‍ය වශයෙන් ඇතුළට පිවිසීමක් වේද, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ඇතුළට පිවිසීමක් වේද, නැගී සිටිනා කල්හිද අනිත්‍යය නැගී සිටීම වේ. තිදෙනම අධිමෝක්ෂ බහුල වෙති. සද්ධෙන්ද්රිය ලබත්. අනිමිත්ත විමොක්ෂයෙන් මිදෙත්. ප්‍රථම මාර්ගක්ෂණයෙහි ශ්රද්ධානුසාරීහු වෙති. සප්ත ස්ථානයන්හි ශ්‍රද්ධා විමුක්ත වෙති. ඉදින් වනාහි දුක් වශයෙන් නැගී සිටීම වේද, තිදෙනම සන්සිඳීම් බහුල වෙති. සමාධින්ද්රිය ලබත්. අප්‍රණිහිත විමෝක්ෂයෙන් මිදෙත්. හැමතැන කායසාක්ෂිහු වෙති. මෙහි යමෙකුට අරූපධ්‍යාන පාදක වේද, හෙතෙම අග්‍රඵලයෙහි දොකොටසින් මිදුණේ වේ. එකල්හි ඔවුන්ට අනාත්ම වශයෙන් නැගී සිටීම වේ. තිදෙනම නුවණ බහුල වූවාහු වෙති. ප්රඥෙන්ද්රිය ලබත්. ශූන්‍යතා විමොක්ෂයෙන් මිදෙත්. ප්‍රථම මාර්ග ක්ෂණයෙහි ධර්මානුසාරීහු වෙති. ෂට් ස්ථානයන්හි දෘෂ්ටිප්‍රාප්ත වූවාහු, අග්‍රඵලයෙහි ප්රඥාවිමුක්ත වූවාහු වෙති.
තවද මාර්ගය නම් කරුණු පංචකයකින් නම ලබයි. එහි රස සහිත භාවයෙන්, ප්රත්යනීකතා වශයෙන්, ස්ව ගුණයෙන්, අරමුණු වශයෙන්, ආගමන වශයෙන්, ඉදින් සංස්කාරෝපෙක්‍ෂාව අනිත්‍යය වශයෙන් සංස්කාරයන් විමසා බලා නැගිටියිද අනිමිත්ත විමොක්ෂයෙන් මිදෙයි. ඉදින් දුක් වශයෙන් විමසා බලා නැගිටීද, අප්‍රණිහිත විමොක්ෂයෙන් මිදෙයි. ඉදින් අනාත්ම වශයෙන් විමසා බලා නැගිටීද, ශූන්‍යතා විමොක්ෂයෙන් මිදෙයි. මෙය රස සහිත භාවයෙන් නමැ. (ඵල දායකත්වයෙන්). අනිත්යානුපස්සනාවෙන් සංස්කාරයන්ගේ ඝන වෙන්කොට, නිත්‍ය නිමිත්ත-සැමදා පවත්නා ශාශ්වත නිමිති හැර පැමිණි හෙයින් අනිමිත්තයි. දුක්ඛානුපස්සනාවෙන්, සුව සංඥාව හැර ප්‍රණිධි ප්‍රාර්ථනා වියලවා පැමිණි හෙයින් අප්රණිහිතයි, අනත්මානුපස්සනාවෙන් ආත්ම, සත්ත්ව පුද්ගල සංඥා හැර සංස්කාරයන් ශූන්‍යය වශයෙන් දිටි හෙයින් ශූන්යතායි මෙය ප්‍රත්‍යනීක වශයෙන් යන නාමය ලබයි. රාගාදීන්ගෙන් ශූන්‍ය හෙයින් ශූන්‍යය. රූප නිමිති ආදී රාග නිමිති ආදීන්ගේම හෝ අභාවයෙන් අනිමිත්තයි. රාග ප්‍රණිධි ආදීන්ගේ අභාවයෙන් අප්රණිහිතයි. මෙය ස්වගුණ වශයෙන් නාමය නම් වන්නේය. හෙතෙම යම් ශූන්‍ය, අනිමිත්ත, අප්‍රණිහිත, නිර්වාණය අරමුණු කෙරේනුයිද, ශූන්‍යත, අනිමිත්ත, අප්රණිහිතයැයි කියයි. මෙය අරමුණු වශයෙන් නාමය නම් වන්නේය. ආගමන වශයෙන් වනාහි දෙවදෑරුම්ය. විදර්ශනාගමනයද, මාර්ගාගමනයද වශයෙනි. එහි මාර්ගයෙහි විදර්ශනාගමනය ලබයි. ඵලයෙහි මාර්ගාගමනයයි. අනත්මානුපස්සනාව වනාහි ශූන්‍යතා නමැ. ශූන්‍යතා විදර්ශනායෙහි මාර්ගය ශූන්යතායි. ශූන්‍යතා මාර්ගයෙහි ඵලය ශූන්යතායි. අනිත්‍යානුපස්සනාව අනිමිත්ත නමැ. අනිමිත්තානුපස්සනාවෙහි මාර්ගය අනිමිත්තයි, මෙම නාමය වනාහි අභිධර්ම ක්‍රමයෙන් ලැබේ. සූත්‍රාන්ත ක්‍රමයෙන් නොලැබේ. එහි වනාහි ගෝත්‍රභූ ඤාණය අනිමිත්ත නිර්වාණය අරමුණුකොට අනිමිත්ත නාමිකව, තෙමේ පැමිණියයුතු තන්හි, සිට මාර්ගය නාමය දේයයි කියති. එකරුණින් මාර්ගය අනිමිත්තයයි යූ.සේයි. මාර්ගාගමනයෙන් ඵලය අනිමිත්තයයි යෙදේමය. දුක්ඛානුපස්සනාව සංස්කාරයන්හි ප්‍රණිධිය වියලවා පැමිණි හෙයින් අප්‍රණිහිත නමැ. අප්‍රණිහිත විදර්ශනායෙහි මාර්ගය අප්රණිහිතයි, අප්‍රණිහිත මාර්ගයාගේ ඵලය අප්‍රණිහිත යයි මෙසේ විදර්ශනාව තමාගේ නාමය මාර්ගයට දෙයි. මාර්ගය ඵලයට යැයි මෙය ආගමන වශයෙන් නාමය නමැ. මෙසේ සංස්කාරෝපේක්ෂා විමෝක්ෂ විශේෂය නියම කරයි.