ඉන්ද්රියසමොධානවණ්ණනා
දැන් සමාධිය වඩන්නහුගේද, විදර්ශනාව වඩන්නහුගේද ඉන්ද්රිය එක්තැන් කිරීම දක්වනු කැමැත්තේ, පළමුව වැටහීම් කුසලතා ප්රභේදය නිර්දේශ කරන්ට, ‘පුථුජ්ජනො සමාධිං භාවෙන්තො’ ආදිය වදාළහ. එහි, පුථුජ්ජනො සමාධිං භාවෙන්තො යනු නිර්වේදභාගි සමාධිය වඩනුයේ ශෛක්ෂ්යයාට හා වීතරාගීහුට ලෝකෝත්තර වූද සමාධිය ලැබේ. ආවජ්ජිතත්තා යනු කසිණ ආදී නිමිති ආවර්ජනය කළ හෙයින්, කසිණ ආදී පරිකර්ම කොට එහි උපදවන ලද නිමිත්ත බැවිනැයි යූ.සේයි. ආරම්මණූපට්ඨාන කුසලො යනු එහි උපදවන ලද නිමිත්තටම එළඹ සිටීමෙහි දක්ෂ වෙයි. සමථ නිමිත්තුපට්ඨාන කුසලො ඉතා තදින් පටන්ගත් වීර්යතාවයන්හිදී සිත නොසන්සුන් කල්හි, පස්සද්ධි, සමාධි, උපෙක්ෂා සම්බොධ්යංග වැඩීම් වශයෙන් සිත සන්සුන් කරවීම් නිමිත්තට එළඹ සිටීමෙහි දක්ෂ වේ. පග්ගහ නිමිත්තුපට්ඨාන කුසලො යනු ඉතා ලිහිල් වීර්යාදීන්ගෙන් සිත මැලිවූ කල්හි, ධම්මවිචය, ප්රීති, සම්බොධ්යංග වැඩීම් වශයෙන් සිත දැඩිසේ උත්සාහවත් කිරීම් වශයෙන් නිමිත්තට එළඹීමෙහි දක්ෂ වේ. අවික්ඛෙපුපට්ඨාන කුසලො යනු නොසන්සුන් නුවූ, මැළි නුවූ සිත හා සම්ප්රයුක්ත සමාධියට එළඹීමෙහි දක්ෂ වේ. ඔභාසුපට්ඨාන කුසලො යනු ප්රඥා ප්රයෝග මන්දතාවයෙන් ආස්වාද රහිත සිතෙහි, අෂ්ට සංවේග වස්තූන් ප්රත්යවේක්ෂණයෙන් සිත සංවේගයට පත්කොට ඤාණාලෝකයට එළඹීමෙහි දක්ෂ වේ. අෂ්ට සංවේග වස්තූහු නම්, ජාති. ජරා, ව්යාධි, මරණ යන සතරද, පස්වන අපාය දුකද, අතීත සංසාර වෘත්තමූලික දුකද, අනාගත සංසාර වෘත්ත මූලික දුකද, වත්මනැ අහර සෙවීම් මූලික දුක යන මේවායි. සම්පහංසනුපට්ඨාන කුසලො යනු සන්සුන් සුව නොලැබීමෙන් සිත ආස්වාද රහිත වූ කල්හි, බුද්ධ, ධර්ම, සංඝ ගුණ සිහිකිරීමෙන් සිත පහදවනුයේ, සතුටු කරවීමට එළඹීමෙහි දක්ෂ වේ. උපෙක්ඛු පට්ඨාන කුසලො යනු නොසන්සුන් ආදී දොස් විරහිත සිතෙහි, නිග්රහ, ප්රග්රහ ආදීන්හි යෙදීම් නොකිරීමෙන් උපේක්ෂාවට එළඹීමෙහි දක්ෂ වේ. සෙක්ඛො යනු ත්රිවිධ ශික්ෂාවන්හි හික්මෙහි නුයි සෙක්ඛොයි. එකත්තුපට්ඨාන කුසලො යනු සක්කාය දෘෂ්ටි ආදීන් ප්රහීන හෙයින් නෛෂ්ක්රම්යාදීන්ගේ ඒකත්වයට එළඹීමේ දක්ෂ වේ.
වීතරාගො යනු සර්වප්රකාරයෙන් ප්රහීණ වූ රාග හෙයින් ක්ෂීණාශ්රවයන් වහන්සේ. ඤාණුපට්ඨාන කුසලො යනු රහත් තෙමේ ධර්මයන්හි, පහවූ මෝහ හෙයින්, ඒ ඒ තන්හි නුමුළා ඤාණයට එළැඹීමෙහි දක්ෂ වේ. විමුත්තුපට්ඨාන කුසලො යනු අර්හත්ඵල විමුක්තියට එළැඹීමෙහි දක්ෂ වේ. විමුත්ති යනු සියලු කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් අර්හත් ඵල විමුක්තිය අදහස් කරන ලදි.
විදර්ශනා භාවනාවෙහි එළඹ සිටීම් නොඑළඹ සිටීම්හි, අනිච්චතො ආදිය, නිච්චතො යනාදියද සීල කථායෙහි කියන ද ආකාරයෙන්ම දතයුත්තාහ. පාඨ වශයෙන් වනාහි, රැස්කිරීමට නොඑළඹවීමෙහි කුසලතා වශයෙන්, විපරිණාමය එළඹීමෙහි කුසලතා වශයෙන්, අනිමිත්තයට එළඹීමෙහි කුසලතා වශයෙන් නිමිත්තට නොඑළඹීමෙහි කුසලතා වශයෙන්, අප්රණිහිතයට එළඹීමෙහි කුසලතා වශයෙන්, ප්රණිධියට නොඑළඹීමෙහි කුසලතා වශයෙන්, අභිනිවේසයට නොඑළඹීමෙහි කුසලතා වශයෙන් ඒවාහි ෂෂ්ඨි වචනයෙන් පද වෙන්කිරීම කළයුතුය. සෙස්සෙහි වනාහි පංචමී වචනයෙන් පාඨයි.
සුඤ්ඤතුපට්ඨාන කුසලො යන මෙහි වනාහි ශූන්යතායෙන් එළඹීමෙහි කුසලතාවයයි හෝ - ශූන්යතාවට එළඹීමෙහි කුසලතාවයයි පද ඡේද කළයුතුය. නිර්වේද විරාග, නිරෝධ, පටිනිස්සග්ගානුපස්සනා, අධි ප්රඥා ධර්ම විදර්ශනා, යථාභූත ඤාණ දර්ශන, පටිසංඛානුපස්සනා, විවට්ටානුපස්සනා යන මෙම අට මහා විදර්ශනාව තමාගේ ස්වභාව විශේෂයෙන් විශේෂිතය. අරමුණු වශයෙන් නොවේ. මෙම අනිත්ය වශයෙන් එළඹීමෙහි කුසලතාව වේයයි ආදී වචන මෙන්, නිර්වේදයෙන් එළඹීමෙහි කුසලතාව වේයයි ආදි වචන නොගැළපේ. එහෙයින් මෙම අට නොයොදන ලදි. ආදීනවානුපස්සනාව වනාහි, ශූන්යතාවෙහි එළඹීමෙහි දක්ෂ වේ. අභිනිවේසයෙහි එළඹීමෙහි දක්ෂ වේයයි මෙම යුගලක වචනයෙන්ම, අර්ථ වශයෙන්ද, ආදීනව වශයෙන්ද එළඹීමෙහි දක්ෂ වේ. ආලයාභිනිවේසයෙහි එළඹීමෙහි දක්ෂ වේයයි යොදන ලද්දේම වේයයි ස්වරූපයෙන් නොයොදන ලදි. මෙසේ පළමු අටද, මෙම ආදීනවානු පස්සනාවදැයි යන අටළොස් මහා විදර්ශනාවන්හි මෙම නවය නොයොදා, අනෙක් නවයම යොදන ලදැයි දතයුතුය. ඤානුපට්ඨාන කුසලො යනු ශෛක්ෂයා විදර්ශනෝප ක්ලේශයන්ගේ අභාවයෙන් විදර්ශනා භාවනාවෙහි ඤාණයට එළඹීමෙහි දක්ෂ වේ. සමාධි නිකන්තිය යෙදෙන හෙයින් ඤාණයට එළඹීමෙහි දක්ෂයැයි නොකියන ලදි.
විසඤ්ඤොගුපට්ඨාන කුසලො යන කාම යෝග විසංයෝගය, භවයෝග විසංයෝගය, දෘෂ්ටියෝග විසංයෝගය, අවිද්යා යෝග විසංයෝගයැයි සිව් අයුරෙකින් කියන ලද විසංයෝගයට එළඹීමෙහි දක්ෂ වේ. සඤ්ඤොගානුපට්ඨාන කුසලො යනු කාමයෝග, භව යෝග, දෘෂ්ටි යෝග, අවිද්යා යෝග වශයෙන් සිව් අයුරින් කියන ලද සංයෝගයට නොඑළඹීමෙහි දක්ෂ වේ. නිරොධුපට්ඨාන කුසලො යනු ‘නැවතද මහණෙනි, ක්ෂීණාශ්රව භික්ෂුවගේ සිත නිර්වාණ නිම්න වූයේ, නිර්වාණ ප්රවණතාවට පත්වූයේ නිර්වාණයට නැමුණේ, විවේකස්ථායී වූයේ, නෛෂ්ක්රම්යයෙහි විශේෂයෙන් ඇලුණේ සර්වප්රකාරයෙන් ආශ්රවයන් හටගන්නා ධර්මයන් විනාශ කරන ලද්දේ වේයයි කියන ලද, ක්ෂීණාශ්රව බල වශයෙන් නිර්වාණ නිම්න සිතැති හෙයින් ක්ෂීණාශ්රව තෙමේම නිරෝධ සංඛ්යාත නිර්වාණයට එළඹීමෙහි දක්ෂ වේ.