5. සතොකාරි ඤාණ නිර්දේශ වර්ණනාව
සතොකාරි ඤාණ නිර්දේශ මාතෘකාවෙහි, ඉධ භික්ඛු යනු මෙ සස්නෙහි භික්‍ෂුව, මෙහි මේ ඉධ ශබ්දය වනාහි, සියලු ආකාර, ආනාපාන සති සමාධිය උපදවන පුද්ගලයාට, ආශ්‍රිත වූ සාසනය විදහා දැක්වීම, අන් සසුන්හි එසේවීම් ප්‍රතික්‍ෂෙපයද වේ යූ.සේයි. මහණෙනි, මෙ සස්නෙහිම ශ්‍රමණයා වේ. අන් ශ්‍රමණයන්ගේ අන්‍ය මතයන් ශූන්‍යයි.
අරඤ්ඤගතොවා, රුක්ඛ මූලගතොවා, සුඤ්ඤාගාරගතොවා යන මෙය ආනාපාන සති සමාධි භාවනාවට අනුරූප සෙනසුන් පරිග්‍රහණය දැක්වීමයි. මේ භික්‍ෂුවගේ බොහෝ කලක් රූපාදී අරමුණුවල විසුරුවන ලද සිත ආනාපාන සති සමාධියට නැගීමට නොකැමැති වේ. කුළු ගොනෙකු යොදන ලද රියක් මෙන් නොමගම දුවයි. එහෙයින් යම්සේ නම් කුළු දෙනගේ සියලු කිරි බී වැඩුණු කුළුවස්සා දමනය කරනු කැමැත්තේ දෙනගෙන් ඉවත්කොට, එක්පසෙක විශාල ටැඹක් වළලා (සිටුවා) එහි යොතින් බඳින්නේය. ඉක්බිති ඒ වස්සා, ඔබිනොබ දඟලා පැනයාමට නොහැකි වනුයේ එම ටැඹෙහිම ළංව හිඳින්නේ, ළංව වැද හෝනේ වන්නේය. එපරිද්දෙන් දීර්ඝකාලයක් රූපාදී අරමුණු රස පානය කර වැඩුණු දුෂ්ට සිත දමනය කරනු කැමැති මෙම භික්‍ෂුව විසින්, රූපාදී අරමුණුවලින් ඉවත්කොට අරණ්‍යයකට හෝ, රුක් මුලකට හෝ ශූන්‍යාගාරයකට හෝ පිවිස එහි ආශ්වාස, ප්‍රශ්වාස නමැති ටැඹෙහි සිහිය නමැති යොතින් බැඳිය යුතුය. මෙසේ ඔහුගේ එම සිත ඔබිනොබ දඟලාද, පෙර පුරුදු අරමුණු නොලබනුයේ, සිහිය නමැති යොත සිඳ, පැනය්නට නොහැකි වනුයේ, එයම අරමුණුකොට උපචාර, අර්පණා වශයෙන් ළංව හිඳින්නේද, ළංව වැදහෝනේද වේ. එහෙයින් පෞරාණිකයෝ කීහු,
යථා ථම්භෙ නිබන්‍ධෙය්‍ය - වච්ඡං දම්මං නරො ඉධ,
බන්‍ධෙය්‍යෙවං සකං චිත්තං - සතියාරම්මණෙ දළ්හං
මෙලොව, කුළු වසු දමනය කරන මිනිසා, යම්සේ ස්ථම්භයෙහි (කුළු වස්සා) බඳින්නේද, එසේම යෝගාවචරයා සිය සිත සිහියෙන් අරමුණෙහි දැඩිව බඳින්නේය.
මෙසේ ඔහුට එම සෙනස්න භාවනාවට යෝග්‍ය වේ. නොහොත් කර්මස්ථාන ප්‍රභේදයන්හි මුදුන වූ (ප්‍රමුඛ වූ) සියලු බුදු, පසේබුදු, බුද්ධ ශ්‍රාවකයින්ගේ ධ්‍යාන මාර්ගඵලාදී, විශේෂයෙන් අධිගමයටද, ඉහාත්ම සුව විහරණයටද, ආසන්න කාරණය වූ, ආනාපාන සති කර්මස්ථානය ස්ත්‍රී, පුරුෂ, ඇත්, අස් ආදී ශබ්දයන් ගැවසීගත් ග්‍රාමාන්තය අත්නොහැර වඩන්ට පහසු නොවේ. ශබ්දය ධ්‍යානයට කටුවක් හෙයිනි. ග්‍රාමය නොවන, ආරණ්‍යයක වෙසෙන යෝගාවචරයා විසින් මෙම කර්මස්ථානය පරිග්‍රහණය කොට, ආනාපන චතුර්ථ ධ්‍යානය, නිපදවා එයම පාදකකොට, සංස්කාරයන් සම්මර්ශනය කොට අග්‍රඵලය වූ අර්හත්වයට පැමිණෙන්ට පහසුය. එහෙයින් එයට අනුරූප සෙනසුනක් පෙන්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ අරඤ්ඤගතොවා යන ආදිය වදාළහ. තෙරහු එසේම වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ වාස්තු විද්‍යාචාර්යයෙක් බඳුය. යම්සේ වාස්තු විද්‍යාචාර්ය තෙමේ, නගරබිම බලා, මනාව පරීක්‍ෂාකොට, මෙහි නුවර නිර්මාණය කරවු යයි හෙතෙම උපදෙස් දෙයි. ඉතා යහපත් අයුරින් නුවර නිමිකල්හි රජ කුලයෙන් මහා සත්කාර ලබයි. එපරිද්දෙන්ම යෝගාවචරයාට සුදුසු සෙනසුනක් මනාව පරීක්‍ෂාකොට, මෙහි කර්මස්ථානයෙහි යෙදිය යුතුයයි පෙන්වයි. ඉක්බිති එහි කමටහනෙහි යෙදෙන්නා වූ යෝගියා විසින්, ක්‍රමයෙන් අර්හත්වයට පත්කල්හි, ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහ්නසේ සම්‍යක් සම්බුද්ධයැයි, මහත් සත්කාර ලබති. මේ භික්‍ෂුව දිවියෙකු හා සමානයැයිද කියයි. යම්සේ වනාහි මහා දිවිරජෙකු, අරණ්‍යයෙහි, තෘණ, වන, පර්වත බහුලව පවත්නා ස්ථාන ඇසුරුකොට සැඟවී, කුළුගොණුන්, ගෝනුන්, ඌරු ආදී මෘගයින් ගනීද? එපරිද්දෙන්ම අරණ්‍යාදීන්හි කර්මස්ථානයෙහි යෙදෙන්වා වූ මෙම භික්‍ෂුව, පිළිවෙලින්, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් මාර්ගයන් හා ඵලයන්ද ගනීනුයි දතයුතුය. එහෙයින් පෞරාණිකයෝ කීහු.
යථාපි දීපිකො නාම - නිලීයිත්‍වා ගණ්හතී මිගෙ,
තථෙවායං බුද්ධපුත්තො - යුත්තයොගො විපස්සකො,
අරඤ්ඤං පවිසිත්‍වාන - ගණ්හාති ඵල මුත්තමං
යම්සේ නම් දිවියා සැඟැවී මෘගයින් අල්ලා ගනීද? එසේම මේ භාවනා යෝගයන්හි යෙදුනා වූ, විදර්ශක බුද්ධ පුත්‍රයා අරණ්‍යයට පිවිස උතුම් ඵලය (ආර්යමාර්ග ඵල) ගනී.
එහෙයින් මොහුගේ, පරාක්‍රම ජවයට යෝග්‍ය භූමිය වූ, අරණ්‍ය සේනාසනය දක්වන සේක්, අරඤ්ඤගතොවා යන ආදිය වදාළහ.
එහි අරඤ්ඤගතො යනු මත්තෙහි කියන ලක්‍ෂණ ඇති යම්කිසි විවේක සුව ඇති අරණ්‍යයට ගියේ, රුක්ඛමූලගතො යනු වෘක්‍ෂයක් සමීපයට ගියේ, සුඤ්ඤාගාර ගතො යනු ජනශූන්‍ය විවේකී අවකාශයට ගියේ, මෙහිද, අරණ්‍යයද, රුක්මුලද හැර, සෙසු සත්වැදෑරුම් සෙනසුනට ගියේද, ශූන්‍යාගාරගත යැයි කියන්ට සුදුසුයි. සෙනසුන් නව වැදෑරුම්ය. දෙසූ පරිදි, හෙතෙම අරණ්‍යය. රුක්මුල පර්වතය කඳුර, ගල්ලෙන, සොහොන, වනාශ්‍රමය, (අභ්‍යවකාශය) එළිමහන, පිදුරු බිස්ස යන විවේකී සෙනසුන ඇසුරු කරයි. මෙසේ මොහුට සෘතු ත්‍රයයට අනුකූල වූද ධාතු චර්යාවන්ට අනුකූල වූද, ආනාපාන සති භාවනාවට යෝග්‍ය සෙනසුන පෙන්වා, නොහැකිළුණු, නොසන්සුන් නුවූ, ශාන්ත ඉරියව්ව පෙන්වනුයේ නිසීදති හිඳීයයි වදාළහ. ඉක්බිති මොහුට හිඳීමෙහි දැඩිබව, ආශ්වාස, ප්‍රශ්වාසයන්ගේ පැවැත්මෙහි හැකියාව අරමුණු පරිග්‍රහණ උපායද දක්වනුයේ ‘පල්ලංකං ආභුජිත්‍වා’ යනාදිය වදාළහ. එහි පල්ලංකං යනු හාත්පසින් කලවා බද්ධ ආසනයයි. ආභුජිත්‍වා යනු බැඳ, උජුං කායං පණිධාය යනු මතු සිරුර සෘජුව තබා, අටළොස් පිටකටු අගින් අග එකට සිටින සේ පිළියෙල කොට, මෙසේ හුන්නහුට සම්මස් නහර නොනැමේ. ඉක්බිති ඔහුට යම් ඒවාහි නැමීම් හේතුයෙන් ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වේදනා උපදින්නේද, ඒවා නූපදී. ඒවා නොඉපදෙන කල්හි සිත එකඟ වේ. කමටහන නොවැටෙයි. අභිවෘද්ධියට, වැඩිදියුණුවට එළැඹේ.