4. ව්‍යවදාන ඤාණ නිර්දේශ වර්ණනාව
වොදානෙ ඤාණානි යනු විසුද්ධ ඤාණයි. තං විවජ්ජයිත්‍වා යනු පෙර කියන ලද, අතීතය ලුහුබඳනා, වික්‍ෂෙපය අනුව ගිය යම් සිතෙක් වේද, එය අත්හැර යයි සම්බන්ධ කළ යුතුය. එකට්ඨානෙ සමාදහති යනු ආශ්වාස, ප්‍රශ්වාස ස්පර්ශ කරන ස්ථානයෙහි සමව ගනියි. පිහිටුවයි. තත්‍ථෙව අධිමොචෙති යනු එක් ස්ථානයකැයි කියන ලද, ආශ්වාස-ප්‍රශ්වාසයන්ගේ ස්පර්ශ කරන ස්ථානයෙහිම නිශ්චය කරයි. සනිටුහන් කරයි. පග්ගණ්හිත්‍වා යනු ධම්ම විචය, ප්‍රීති, සම්බොජ්ඣංග භාවනාවෙන් දැඩිසේ උත්සාහකොට, විනිග්ගණ්හිත්‍වා යනු පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා සම්බොධ්‍යාංග භාවනාවෙන් මනාව නිග්‍රහකොට, සතින්‍ද්‍රිය, විරියෙන්‍ද්‍රියයන්ගෙන් ප්‍රග්‍රහණයකොට, සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රියයන්ගෙන් මනාව නිග්‍රහකොටැ යයිද කියති. සම්පජානො හුත්‍වා යනු අසුභ භාවනාදීන්ගෙන් නැවත. සම්පජානො හුත්‍වා මෛත්‍රී භාවනාදීන්ගෙන්, යම් රාගයෙන් පෙළීමක් වේද, යම් ව්‍යාපාදයෙන් පෙළීමක් වේද, එය දුරලයි යයි සම්බන්ධයි. එම සිත මෙවැනි යයි නුවණින් දන්නේ, එයට ප්‍රතිපක්‍ෂ රාගය දුරලයි. ව්‍යාපාදය දුරලයි හෝ අර්ථයි. පරිසුද්ධං යනු උපක්ලේශ රහිත පරියොදාතං යනු ප්‍රභාශ්වර, එකත්තගතංහොති යනු ඒ ඒ විශේෂයට පැමිණියේ, ඒ ඒ ඒකත්වයට ගියේ වේ.
කතමෙ තෙ එකත්තා යනු මෙහි යෙදෙන්නා වූ ද, ඒකත්‍වයෙහි එක්කොට විචාරයි. දානුපස්සග්ගුපට්ඨා නෙකත්තං යනු දාන වස්තු සංඛ්‍යාත දානයෙහි එළඹ සිටි පරිත්‍යාගය දානුපසග්ගොයි. ඒ දාන වස්තු පරිත්‍යාග චේතනාව, එහි එළැඹ සිටි සිහිය ආරම්මණ කරණ වශයෙන් හෝ එළැඹ සිටීම දානුපස්සග්ගු පට්ඨානංයි. එහිම එකඟතාව එයින් හෝ වන එකඟතාව ඒකාග්‍රභාවය දානූපස්සග්ගුපට්ඨානෙකත්තංයි දාන පරිත්‍යාගයෙහි එළැඹ සිටි භාවයයි යන්න වඩා සුන්දරය. එයම අර්ථයයි. එයින් ශ්‍රද්ධාව උදුරා දැක්වීම් වශයෙන් ත්‍යාගානුස්මෘති සමාධිය යූ.සේයි. ශ්‍රද්ධාව උදුරා දැක්වීම් වශයෙන් කියන ලද්දේ නමුත්, මෙය අනෙක් ත්‍රයයටම ඒකත්‍වයාගේ වශයෙන් උපනිශ්‍රය ප්‍රත්‍යය වේ. එහෙයින් මෙහි නිර්දිෂ්ටයැයි කියති. විශාඛා මහා උපාසිකාවද කීවාය. ස්වාමීනි, නොයෙක් දිසාවන්හි වස් විසූ, මෙසස්නෙහි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැක්මට සැවතට පැමිණෙන්නාහ. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹැ, ස්වාමීනි, මෙන්ම භික්‍ෂුව කළුරිය කළේය. ඔහුගේ උපදනා තැන කවරේද? මරණින් මතුයෙහි කවරෙක් වේදැයි විචාරන්නාහ. භාග්‍යවතුන් වහන්සේ එම භික්‍ෂුව සෝවාන් ඵලයෙහි හෝ සකෘදාගාමි ඵලයෙහි හෝ අනාගාමී ඵලයෙහි හේා අර්හත්වයෙහි යැයි ප්‍රකාශ කරන්නාහ. මම එම භික්‍ෂූන් වෙත එළැඹැ, ස්වාමීනි, එම ආර්යයන් වහන්සේලා සැවැතට පැමිණි විරූදැයි විමසන්නෙමි. ඉදින් ඔවුහු, එම භික්‍ෂූහු සැවැතට පැමිණි විරූයයි මට කියත්ද? ඒකාන්තයෙන් එම ආර්යයන් වහන්සේලා විසින්, වැසි සළු, ආගන්තුක බත්, ගමික බත්, ගිලන් බත්, ගිලානෝපස්ථාන බත්, ගිලන් බෙහෙත්, නිත්‍ය කැඳ, පරිභෝජනය කරන ලදැයි මෙහි නිෂ්ඨාවට යන්නෙමි. එසේ වූ මට එය සිහිකරන කල්හි ප්‍රමුදිතතාවය හටගන්නේය. ප්‍රමුදිතතාවයෙන් ප්‍රීතිය හටගන්නේය. සතුටු සිතැත්තේ කය සන්සුන් වන්නේය. සන්සුන් කය ඇත්තේ සුව විඳින්නෙමි. සුව විඳිනු ලබන්නී සිත සමාධිගත වන්නීය. එය මාගේ ඉන්‍ද්‍රිය භාවනාවද බල භාවනාවද, බොජ්ඣංග භාවනාවද වන්නේය. නොහොත් - ඒකත්‍වයන්හි, ප්‍රථමය උපචාර සමාධි වශයෙන්ද දෙවැන්න අර්පණා සමාධි වශයෙන්ද, තෙවැන්න විදර්ශනා වශයෙන්ද, සිව්වැන්න මාර්ගඵල වශයෙන්දැයි දතයුතුය. සමථයෙහි නිමිත්ත සමථ නිමිත්තංයි. ව්‍යයය, භංගයම ස්වභාවය වූයේ වය ලක්ඛණංයි. නිරෝධය නිර්වාණයයි. සෙස්ස එම ත්‍රයයෙහි කියන ලද ක්‍රමයෙන්ම යෙදිය යුතුය.
චාගාධිමුත්තානං යනු ත්‍යාගයෙහි (දානයෙහි) අධික ලෙස යෙදුණවුන්ට, අධිචිත්තං යනු විදර්ශනාපාදක සමාධියයි. විපස්සකානං යනු භංගානුපස්සනායෙහි පටන් ත්‍රිවිධ අනුපස්සනාවන්ගෙන් සංස්කාරයන් විදර්ශනා කරනවුනට, අරියපුග්ගලානං යනු අෂ්ට ආර්ය පුද්ගලයන්ට ද්විතීයාදී ත්‍රිවිධ ඒකත්වයෝ ආනාපාන සති වශයෙන්ද සෙසු කර්මස්ථාන වශයෙන්ද යෙදෙත්. චතුහි ඨානෙහි යනු සිව් කාරණයන්ගෙන්, සමාධි විදර්ශනා මාර්ගඵලයන්ගේ වශයෙන් ඒකත්වයට ගිය සිත ප්‍රතිපදා විශුද්ධියට පිවිසියේද වෙයි. උපේක්‍ෂායෙන් වඩනා ලද්දේත් ඤාණයෙන්ද විශෝධිත වූයේ යයි යනු උද්දේශපදයි. ප්‍රථම ධ්‍යානයාගේ මුල කවරේදැයි ආදිය ඒවායි උද්දේශ පදයන්ගේ විස්තර කරනු කැමැති විමසුම් පූර්වංගම නිර්දේශපදයි. එහි පටිපදා විසුද්ධි පක්ඛන්තං යනු ප්‍රතිපදාවම නීවරණ මල පිරිසිදු කරන හෙයින් විසුද්ධියි. එම ප්‍රතිපදා විශුද්ධියට පිවිසියේ ප්‍රවිශ්ට වූයේ, උපෙක්ඛානුබ්‍රෑහිතං යනු තත්‍ර මධ්‍යස්ථ උපෙක්‍ෂායෙන් වර්ධනය කරන ලද, වඩන ලද, ඤාණෙන සම්පහංසිතං යනු පිරිසිදු කරන ඤාණයෙන්, සතුටුකළ, පිරිසිදු කළ මනාව පිරිසිදු කළ, පටිපදා විසුද්ධි නම් අඩංගු දේ සහිත උපචාරයයි. උපෙක්ඛානුබ්‍රෑහනා නම් අර්පණාවයි. සම්පහංසනා නම් ප්‍රත්‍යවේක්‍ෂණම යැයි ඇතැමෙක් වර්ණනා කරති. යම්හෙයකින් වනාහි, එකත්තගතං චිත්තං පටිපදා විසුද්ධි පක්ඛන්නඤ්චෙව හොති යයි ආදිය කියන ලදද, එහෙයින් අර්පණාව තුළම පැමිණීම් වශයෙන් ප්‍රතිපදා විශුද්ධියයි. තත්‍ර මධ්‍යස්ථ උපේක්‍ෂාවගේ කෘත්‍යය වශයෙන් උපේක්‍ෂාවගේ වැඩීමයි. ධර්මයන්ගේ නොඉක්මවන ආදි ස්වභාව සාධනයෙන්, පිරිසිදු කරන ඤාණයාගේ කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් සතුටුකිරීම දතයුතුය. කෙසේද? යම්වරෙකැ අර්පණාව උපදීද? එකල්හි එම ධ්‍යානයට උවදුරු ඇතිකරන යම් නීවරණ සංඛ්‍යාත කෙලෙස් සමූහයක් වේද, ඉන් සිත පිරිසිදු කෙරේ. පිරිසිදු වූ හෙයින්, ආවරණ විරහිතව, මධ්‍යම සමථ නිමිත්තට පිළිපදී. මජ්ඣිමං සමථ නිමිත්තං යනු සමව පවත්නා අර්පණා සමාධියමය. ඉන් අනතුරුව පළමු සිත එක් සන්තතියෙක පරිණාම ක්‍රමයෙන් එබඳු ආකාරයට එළඹෙනු ලබන්නේ මධ්‍යම සමථ නිමිත්තට පිළිපදී නමැ. (පටිපජ්ජති නාම) මෙසේ පිළිපන් හෙයින් එබඳු භාවයට පැමිණීමෙන් එහි පිවිසියේ නමැ. (පක්ඛන්‍දති නාම) මෙසේ පළමුව පළමු සිතෙහි විද්‍යමානාකාරයෙන් නිපදවනු ලැබූ, ප්‍රථම ධ්‍යානයෙහි, උත්පාදක්‍ෂණයෙහිම පැමිණීම් වශයෙන් ප්‍රතිපදා විශුද්ධිය දතයුත්තාහ. මෙසේ පිරිසිදු වූ ඔහුට නැවත පිරිසිදු කළයුත්තක් නොමැති හෙයින් විසෝධනයෙහි උත්සාහ නොකරනුයේ පිරිසිදු සිත අජ්ඣුපෙක්ඛති මධ්‍යස්ථ වේ නමැ. සංසිඳීම් භාවයට පැමිණීමෙන්, සංසිඳීම්භාවයට පිළිපන්නහුට නැවත නිශ්චල කිරීමෙහි උත්සාහ නොකරනුයේ, සංසිඳීමට පිළිපන්නේ මධ්‍යස්ථ වේ නමැ. සංසිඳීමට පිළිපන් භාවයෙන්ම ඔහුට කෙලෙස් සංසර්ගය අත්හැර ඒකත්වයෙන් එළැඹැ සිටියහුට නැවත ඒකත්වයෙන් එළැඹැ සිටීමෙහි උත්සාහ නොකෙරෙනුයේ ඒකත්වයෙන් එළැඹැ සිටීමෙහි මධ්‍යස්ථවේ නමැ. එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති මෙසේ තත්‍ර මධ්‍යස්ථතා උපේක්‍ෂායෙන් කෘත්‍යය වශයෙන් උපේක්‍ෂාවගේ වැඩීම දතයුත්තාහ.