ප්රථම ෂට්කය
ප්රථම ෂට්කයෙහි, අස්සාසාදි මජ්ඣ පරියොසානං යනු අභ්යන්තරයට පිවිසෙන වාතයෙහි, නාසිකාග්රය හෝ මුව නිමිත්ත (ආදියි) මුලයි. හෘදය මධ්යයයි. නැබ කෙළවරයි. මුල, මැද, අග සිහිය අනුව යන එම යෝගියාට නානත්ව අනුගමන හේතුයෙන් අධ්යාත්ම සිත වික්ෂෙපයට යයි. ඒ අධ්යාත්ම වික්ෂෙපගත සිත එකාග්රතාවයෙහි නොපිහිටන හෙයින් සමාධියට උවදුරෙකි. පස්සාසාදි මජ්ඣ පරියොසානං යනු පිටත නික්මෙන වාතයෙහි නැබ මුලයි. හෘදය මධ්යයයි නාසිකාග්රය මුව නිමිත්ත හෝ පිටත ආකාශය හෝ කෙළවරයි. මෙහි යෙදුම කියන ලද ක්රමයෙන්ම දතයුත්තාහ. අස්සාස පටිකංඛනා නිකන්ති තණ්හා චරියා යනු මෙම කමටහන නාසිකා වාතයට ඇතුළත් වූවෙකැයි සලකා දළ දළ ආශ්වාසයෙහි ප්රාර්ථනා සංඛ්යාත කැමැත්තෙහිම තෘෂ්ණාව පවතී. තෘෂ්ණාවගේ පැවැත්ම ඇතිකල්හි ඒකාග්රතාවයෙහි නොපිහිටන හෙයින් සමාධියට උවදුරෙකැ. පස්සාස පටිකංඛණා නිකන්ති යනු නැවැතැ ආශ්වාස පූර්වක ප්රශ්වාසයෙහි ප්රාර්ථනා සංඛ්යාත ඇල්මයි. සෙස්ස කියන ලද අයුරින් යෙදිය යුතුය. අස්සාසෙනාභිතුන්නස්ස යනු ඉතා දීර්ඝ හෝ ඉතා හ්රස්වව ආශ්වාස කරන්නහුට, ආශ්වාස මූලක, කායචිත්ත වෙහෙස ස්වභාව හෙයින්, ඒ ආශ්වාසයෙන් විදින ලද පෙළුණහුගේ, පස්සාස පටිලාභෙ මුච්ඡනා යනු ආශ්වාසයෙහි පීඩිත වූයේම ප්රශ්වාසයෙහි ආස්වාද සංඥී වූයේ, ප්රශ්වාසය ප්රාර්ථනා කරනුයේ ප්රශ්වාස ප්රතිලාභයෙහි ඇලීමය. ප්රශ්වාස මූලකයෙහිද එම ක්රමයයි.
කියන ලද අර්ථයෙහිම, අනුවර්ණනා අර්ථ කියන ලද ගාථා බන්ධනයන්හි, අනුගච්ඡනා යනු අනුව යන්නා වූ, සති යනු අධ්යාත්ම, බාහිර වික්ෂෙපයට හේතුවූ සිහිය, මෙය කරණ කොටගෙන සිත වික්ෂෙප වේනුයි වික්ඛෙපොයි. එය කවරෙක්ද? ආශ්වාසයයි. අධ්යාත්මයෙහි වික්ෂෙපය අධ්යාත්ම වික්ෂෙපයයි. එහි කැමැතිවීම අජ්ඣත්ත වික්ඛෙපාකංඛන්නා යනු නොමනා මෙනෙහි කිරීම් වශයෙන් අධ්යාත්ම වික්ෂෙපක ආශ්වාසයාගේ කැමැතිවීම යයි යූ.සේයි. එම ක්රමයෙන්ම පිටත වික්ෂෙප ප්රාර්ථනා දතයුත්තාහ. යෙහි යනු යම් උපක්ලේශයන්ගෙන්, වික්ඛෙපමානස්ස යනු වික්ෂේප වන්නහුට වික්ෂේපය පමුණුවනු ලබන්නේ, නොච චිත්තං විමුච්චති යනු සිත ආශ්වාස ප්රශ්වාස ආරම්මණයන්හිද නොඇලේ. විරුද්ධ ධර්මයන්ගෙන්ද නොමිදේ. සිතද නොමිදේ. අන්ය කෙලෙසුන්ගේ ප්රාප්තියද වේ යයි සම්බන්ධයයි. විමොක්ඛං අප්පජානන්තා යනු එය හෝ අන්ය හෝ ආරම්මණාධිමුක්ති විමොක්ෂයද, විරුද්ධ විමුක්ති විමෝක්ෂයද මෙසේ නොදන්නාහු, පරපත්තියා යනු අන්ය ප්රත්ය, අන්ය ඇදහීම්වලට සුදුසු වෙති. ආත්මප්රත්යක්ෂ ඤාණයක් නැත්තේනුයි පරපච්චකායි කිවයුතු කල්හි පරපත්තියායි යූ.සේයි. අර්ථය එයමය.
ද්විතීය ෂට්කය
දෙවන ෂට්කයෙහි, නිමිත්තං යනු ආශ්වාස, ප්රශ්වාසයන්ගේ ස්පර්ශවන ස්ථානයයි. ආශ්වාස, ප්රශ්වාස වනාහි දීර්ඝ නාසිකයාට නාස්පුට ගැටෙමින් පවතී. හ්රස්ව නාසිකයාට උඩුතොලයි. යම්හෙයකින් වනාහි මෙම යෝගියා එම නිමිත්තම ආවර්ජනා කෙරේද? ඔහුට නිමිත්තම ආවර්ජනා කරන කල්හි ආශ්වාසයෙහි සිත චංචල වේ. නොපිහිටයි යන අර්ථයි. ඔහුට එහි සිත නොපිහිටි කල්හි සමාධියෙහි අභාවය හෙයින් එම කම්පනය සමාධියට උවදුරුය. ඉදින් ආශ්වාසයම ආවර්ජනා කෙරේද? ඔහුගේ සිත අභ්යන්තර ප්රවේශ වශයෙන් වික්ෂෙපය එළවයි. නිමිත්තෙහි නොපිහිටයි. එහෙයින් නිමිත්තෙහි කම්පා වේ. මෙම ක්රමයෙන් සෙස්සෙහිද යෙදීම් කළයුතුය. ගාථාවන්හි වික්ඛිප්පතෙ යනු වික්ෂෙපයට පත්වේ. වික්ෂෙපයට පැමිණේ යන අර්ථයි.
තෘතීය ෂට්කය
තෙවන ෂට්කයෙහි, අතීතානුධාවනං චිත්තං යනු ස්පර්ශ කරන ස්ථානය ඉක්මවා ගිය ආශ්වාස හෝ ප්රශ්වාස අනුව යන සිත වික්ඛෙපානුපතිතං යනු වික්ෂෙපය අනුව ගිය හෝ වික්ෂෙපයට තෙමේ අනුව පතිත වූයේ, අනුව ගියේ, අනාගත පටිකංඛනං චිත්තං යනු ස්පර්ශ ස්ථානයට නොපත් ආශ්වාස හෝ ප්රශ්වාස හෝ බලාපොරොත්තු වන, අපේක්ෂිත සිතයි. විකම්පිතං යනු එහි නොපිහිටීමෙන්ම වික්ෂෙපයෙන් කම්පිත වූ ලීනං යනු ඉතා ලිහිල් වීර්යාදියෙන් හැකිළුණු. කොසජ්ජානු පතිතං යනු කුසීතභාවයට පත්. අතිපග්ගහිතං යනු ඉතා තදින් අරඹන ලද වීර්යාදීන්ගෙන් ඔසවන ලද, උද්ධච්චානුපතිතං යනු වික්ෂෙපය අනුව ගිය, අභිනතං යනු ආශ්වාද වස්තූන්හි බොහෝ සේ නැමුණු එකට ඇලුණු. අපන්තං යනු නිරශ්වාද වස්තූන්හි තෘෂ්ණාව බැහැර කිරීම ඉන් ඉවත් වූයේ, පහකළ තෘෂ්ණා ඇත්තේ ඇල්මෙන් පහවූයේ යයි යන අර්ථයි. රාගානුපතිතං යන මෙහි ආශ්වාස ප්රශ්වාස නිමිත්ත මෙනෙහි කරන කල්හි උපන් ප්රීති සුවයෙහි හෝ පෙර සිනහසුණු, කථාකළ, ක්රීඩා කළ වස්තූන්හි හෝ ඇල්ම මත්තෙහි වැටේ. බ්යාපාදානුපතිතං යන මෙහි නිරශ්වාදගත චිත්තයාගේ මනසිකාරයෙහි, උපන් දොම්නස් වශයෙන් හෝ පෙර පුරුදු කරන ලද, ක්රෝධ වස්තූන්හි හෝ ව්යාපාදය මත්තෙහි වැටේ. ගාථාවන්හි න සමාධියති යනු සමාහිත නොවේ. අධි චිත්තං යනු චිත්ත ශීර්ෂයෙන් නිර්දේශිත අධික සමාධියයි.
මෙතෙකින් ෂට්කත්රයයකින් අටළොස් උපක්ලේශයන් නිර්දේශකොට, දැන් ඒ උපක්ලේශයන්ගේ සමාධියට බලපාන උවදුරුභාවය සිදුවීමෙන් වන ආදීනව දක්වන්නේ නැවත, අස්සාසාදි මජ්ඣ පරියොසානං ආදිය වදාළහ. එහි කායොපි චිත්තම්පි සාරද්ධාච හොන්ති යනු වික්ෂෙපයෙන් හටගත් රූපයන්ගේ වශයෙන්, රූපකායයද, වික්ෂෙප නොකඩවා පැවැතීම් වශයෙන් සිතද මහත් කැළැඹීමෙන් කැළැඹුනාහු විඩා සහිත වූවාහුද වෙති. ඉන් මඳ ස්වභාවයෙන් ඉඤ්ජිතා, කම්පිතා කම්පිත වූවාහු සැලුණාහු ඉන් මඳ ස්වභාවයෙන් ඵන්දිතා චලිතා සෙලවුණාහු, චලනය වූවාහු වෙති. බලවත්, මධ්යම, මන්ද වශයෙන් කැළැඹීම වේමය. කැළැඹීමෙන් නොවන්ට නොහැකියයි යූ.සේයි. චිත්තං විකම්පිතත්තා යනු සිතෙහි කම්පිත වූ බැවින්, ගාථාවන්හි, පරිපුණ්ණං අභාවිතා යනු යම්සේ සම්පූර්ණ වේද, එසේ නොවඩනා ලද්දේ, ඉඤ්ජිතො යනු කම්පා වූයේ, ඵන්දිතො යනු මඳ කම්පනය, යට නීවරණයන් අනන්තර බැවින් ඉමෙහිච පන නීවරණෙහි යනු අත්යන්ත සමීප නිදර්ශන වචනය කරන ලදි. මෙහි වනාහි නිගමනයෙහි නීවරණයන්ගේ අන්තර සහිත බැවිනි. තෙහිච පන නීවරණෙහී යනු පරාම්මුඛ (අභිමුව නොවන) නිදර්ශන වචනය කරන ලදී.