ද්විතීය ෂට්කය
දෙවන ෂට්කයෙහි, නිමිත්තං යනු ආශ්වාස, ප්‍රශ්වාසයන්ගේ ස්පර්ශවන ස්ථානයයි. ආශ්වාස, ප්‍රශ්වාස වනාහි දීර්ඝ නාසිකයාට නාස්පුට ගැටෙමින් පවතී. හ්‍රස්ව නාසිකයාට උඩුතොලයි. යම්හෙයකින් වනාහි මෙම යෝගියා එම නිමිත්තම ආවර්ජනා කෙරේද? ඔහුට නිමිත්තම ආවර්ජනා කරන කල්හි ආශ්වාසයෙහි සිත චංචල වේ. නොපිහිටයි යන අර්ථයි. ඔහුට එහි සිත නොපිහිටි කල්හි සමාධියෙහි අභාවය හෙයින් එම කම්පනය සමාධියට උවදුරුය. ඉදින් ආශ්වාසයම ආවර්ජනා කෙරේද? ඔහුගේ සිත අභ්‍යන්තර ප්‍රවේශ වශයෙන් වික්‍ෂෙපය එළවයි. නිමිත්තෙහි නොපිහිටයි. එහෙයින් නිමිත්තෙහි කම්පා වේ. මෙම ක්‍රමයෙන් සෙස්සෙහිද යෙදීම් කළයුතුය. ගාථාවන්හි වික්ඛිප්පතෙ යනු වික්‍ෂෙපයට පත්වේ. වික්‍ෂෙපයට පැමිණේ යන අර්ථයි.
තෘතීය ෂට්කය
තෙවන ෂට්කයෙහි, අතීතානුධාවනං චිත්තං යනු ස්පර්ශ කරන ස්ථානය ඉක්මවා ගිය ආශ්වාස හෝ ප්‍රශ්වාස අනුව යන සිත වික්ඛෙපානුපතිතං යනු වික්‍ෂෙපය අනුව ගිය හෝ වික්‍ෂෙපයට තෙමේ අනුව පතිත වූයේ, අනුව ගියේ, අනාගත පටිකංඛනං චිත්තං යනු ස්පර්ශ ස්ථානයට නොපත් ආශ්වාස හෝ ප්‍රශ්වාස හෝ බලාපොරොත්තු වන, අපේක්‍ෂිත සිතයි. විකම්පිතං යනු එහි නොපිහිටීමෙන්ම වික්‍ෂෙපයෙන් කම්පිත වූ ලීනං යනු ඉතා ලිහිල් වීර්යාදියෙන් හැකිළුණු. කොසජ්ජානු පතිතං යනු කුසීතභාවයට පත්. අතිපග්ගහිතං යනු ඉතා තදින් අරඹන ලද වීර්යාදීන්ගෙන් ඔසවන ලද, උද්ධච්චානුපතිතං යනු වික්‍ෂෙපය අනුව ගිය, අභිනතං යනු ආශ්වාද වස්තූන්හි බොහෝ සේ නැමුණු එකට ඇලුණු. අපන්තං යනු නිරශ්වාද වස්තූන්හි තෘෂ්ණාව බැහැර කිරීම ඉන් ඉවත් වූයේ, පහකළ තෘෂ්ණා ඇත්තේ ඇල්මෙන් පහවූයේ යයි යන අර්ථයි. රාගානුපතිතං යන මෙහි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත මෙනෙහි කරන කල්හි උපන් ප්‍රීති සුවයෙහි හෝ පෙර සිනහසුණු, කථාකළ, ක්‍රීඩා කළ වස්තූන්හි හෝ ඇල්ම මත්තෙහි වැටේ. බ්‍යාපාදානුපතිතං යන මෙහි නිරශ්වාදගත චිත්තයාගේ මනසිකාරයෙහි, උපන් දොම්නස් වශයෙන් හෝ පෙර පුරුදු කරන ලද, ක්‍රෝධ වස්තූන්හි හෝ ව්‍යාපාදය මත්තෙහි වැටේ. ගාථාවන්හි න සමාධියති යනු සමාහිත නොවේ. අධි චිත්තං යනු චිත්ත ශීර්ෂයෙන් නිර්දේශිත අධික සමාධියයි.
මෙතෙකින් ෂට්කත්‍රයයකින් අටළොස් උපක්ලේශයන් නිර්දේශකොට, දැන් ඒ උපක්ලේශයන්ගේ සමාධියට බලපාන උවදුරුභාවය සිදුවීමෙන් වන ආදීනව දක්වන්නේ නැවත, අස්සාසාදි මජ්ඣ පරියොසානං ආදිය වදාළහ. එහි කායොපි චිත්තම්පි සාරද්ධාච හොන්ති යනු වික්‍ෂෙපයෙන් හටගත් රූපයන්ගේ වශයෙන්, රූපකායයද, වික්‍ෂෙප නොකඩවා පැවැතීම් වශයෙන් සිතද මහත් කැළැඹීමෙන් කැළැඹුනාහු විඩා සහිත වූවාහුද වෙති. ඉන් මඳ ස්වභාවයෙන් ඉඤ්ජිතා, කම්පිතා කම්පිත වූවාහු සැලුණාහු ඉන් මඳ ස්වභාවයෙන් ඵන්‍දිතා චලිතා සෙලවුණාහු, චලනය වූවාහු වෙති. බලවත්, මධ්‍යම, මන්ද වශයෙන් කැළැඹීම වේමය. කැළැඹීමෙන් නොවන්ට නොහැකියයි යූ.සේයි. චිත්තං විකම්පිතත්තා යනු සිතෙහි කම්පිත වූ බැවින්, ගාථාවන්හි, පරිපුණ්ණං අභාවිතා යනු යම්සේ සම්පූර්ණ වේද, එසේ නොවඩනා ලද්දේ, ඉඤ්ජිතො යනු කම්පා වූයේ, ඵන්‍දිතො යනු මඳ කම්පනය, යට නීවරණයන් අනන්තර බැවින් ඉමෙහිච පන නීවරණෙහි යනු අත්‍යන්ත සමීප නිදර්ශන වචනය කරන ලදි. මෙහි වනාහි නිගමනයෙහි නීවරණයන්ගේ අන්තර සහිත බැවිනි. තෙහිච පන නීවරණෙහී යනු පරාම්මුඛ (අභිමුව නොවන) නිදර්ශන වචනය කරන ලදී.
උපක්ලේශ ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
4. ව්‍යවදාන ඤාණ නිර්දේශ වර්ණනාව
වොදානෙ ඤාණානි යනු විසුද්ධ ඤාණයි. තං විවජ්ජයිත්‍වා යනු පෙර කියන ලද, අතීතය ලුහුබඳනා, වික්‍ෂෙපය අනුව ගිය යම් සිතෙක් වේද, එය අත්හැර යයි සම්බන්ධ කළ යුතුය. එකට්ඨානෙ සමාදහති යනු ආශ්වාස, ප්‍රශ්වාස ස්පර්ශ කරන ස්ථානයෙහි සමව ගනියි. පිහිටුවයි. තත්‍ථෙව අධිමොචෙති යනු එක් ස්ථානයකැයි කියන ලද, ආශ්වාස-ප්‍රශ්වාසයන්ගේ ස්පර්ශ කරන ස්ථානයෙහිම නිශ්චය කරයි. සනිටුහන් කරයි. පග්ගණ්හිත්‍වා යනු ධම්ම විචය, ප්‍රීති, සම්බොජ්ඣංග භාවනාවෙන් දැඩිසේ උත්සාහකොට, විනිග්ගණ්හිත්‍වා යනු පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා සම්බොධ්‍යාංග භාවනාවෙන් මනාව නිග්‍රහකොට, සතින්‍ද්‍රිය, විරියෙන්‍ද්‍රියයන්ගෙන් ප්‍රග්‍රහණයකොට, සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රියයන්ගෙන් මනාව නිග්‍රහකොටැ යයිද කියති. සම්පජානො හුත්‍වා යනු අසුභ භාවනාදීන්ගෙන් නැවත. සම්පජානො හුත්‍වා මෛත්‍රී භාවනාදීන්ගෙන්, යම් රාගයෙන් පෙළීමක් වේද, යම් ව්‍යාපාදයෙන් පෙළීමක් වේද, එය දුරලයි යයි සම්බන්ධයි. එම සිත මෙවැනි යයි නුවණින් දන්නේ, එයට ප්‍රතිපක්‍ෂ රාගය දුරලයි. ව්‍යාපාදය දුරලයි හෝ අර්ථයි. පරිසුද්ධං යනු උපක්ලේශ රහිත පරියොදාතං යනු ප්‍රභාශ්වර, එකත්තගතංහොති යනු ඒ ඒ විශේෂයට පැමිණියේ, ඒ ඒ ඒකත්වයට ගියේ වේ.
කතමෙ තෙ එකත්තා යනු මෙහි යෙදෙන්නා වූ ද, ඒකත්‍වයෙහි එක්කොට විචාරයි. දානුපස්සග්ගුපට්ඨා නෙකත්තං යනු දාන වස්තු සංඛ්‍යාත දානයෙහි එළඹ සිටි පරිත්‍යාගය දානුපසග්ගොයි. ඒ දාන වස්තු පරිත්‍යාග චේතනාව, එහි එළැඹ සිටි සිහිය ආරම්මණ කරණ වශයෙන් හෝ එළැඹ සිටීම දානුපස්සග්ගු පට්ඨානංයි. එහිම එකඟතාව එයින් හෝ වන එකඟතාව ඒකාග්‍රභාවය දානූපස්සග්ගුපට්ඨානෙකත්තංයි දාන පරිත්‍යාගයෙහි එළැඹ සිටි භාවයයි යන්න වඩා සුන්දරය. එයම අර්ථයයි. එයින් ශ්‍රද්ධාව උදුරා දැක්වීම් වශයෙන් ත්‍යාගානුස්මෘති සමාධිය යූ.සේයි. ශ්‍රද්ධාව උදුරා දැක්වීම් වශයෙන් කියන ලද්දේ නමුත්, මෙය අනෙක් ත්‍රයයටම ඒකත්‍වයාගේ වශයෙන් උපනිශ්‍රය ප්‍රත්‍යය වේ. එහෙයින් මෙහි නිර්දිෂ්ටයැයි කියති. විශාඛා මහා උපාසිකාවද කීවාය. ස්වාමීනි, නොයෙක් දිසාවන්හි වස් විසූ, මෙසස්නෙහි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැක්මට සැවතට පැමිණෙන්නාහ. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹැ, ස්වාමීනි, මෙන්ම භික්‍ෂුව කළුරිය කළේය. ඔහුගේ උපදනා තැන කවරේද? මරණින් මතුයෙහි කවරෙක් වේදැයි විචාරන්නාහ. භාග්‍යවතුන් වහන්සේ එම භික්‍ෂුව සෝවාන් ඵලයෙහි හෝ සකෘදාගාමි ඵලයෙහි හෝ අනාගාමී ඵලයෙහි හේා අර්හත්වයෙහි යැයි ප්‍රකාශ කරන්නාහ. මම එම භික්‍ෂූන් වෙත එළැඹැ, ස්වාමීනි, එම ආර්යයන් වහන්සේලා සැවැතට පැමිණි විරූදැයි විමසන්නෙමි. ඉදින් ඔවුහු, එම භික්‍ෂූහු සැවැතට පැමිණි විරූයයි මට කියත්ද? ඒකාන්තයෙන් එම ආර්යයන් වහන්සේලා විසින්, වැසි සළු, ආගන්තුක බත්, ගමික බත්, ගිලන් බත්, ගිලානෝපස්ථාන බත්, ගිලන් බෙහෙත්, නිත්‍ය කැඳ, පරිභෝජනය කරන ලදැයි මෙහි නිෂ්ඨාවට යන්නෙමි. එසේ වූ මට එය සිහිකරන කල්හි ප්‍රමුදිතතාවය හටගන්නේය. ප්‍රමුදිතතාවයෙන් ප්‍රීතිය හටගන්නේය. සතුටු සිතැත්තේ කය සන්සුන් වන්නේය. සන්සුන් කය ඇත්තේ සුව විඳින්නෙමි. සුව විඳිනු ලබන්නී සිත සමාධිගත වන්නීය. එය මාගේ ඉන්‍ද්‍රිය භාවනාවද බල භාවනාවද, බොජ්ඣංග භාවනාවද වන්නේය. නොහොත් - ඒකත්‍වයන්හි, ප්‍රථමය උපචාර සමාධි වශයෙන්ද දෙවැන්න අර්පණා සමාධි වශයෙන්ද, තෙවැන්න විදර්ශනා වශයෙන්ද, සිව්වැන්න මාර්ගඵල වශයෙන්දැයි දතයුතුය. සමථයෙහි නිමිත්ත සමථ නිමිත්තංයි. ව්‍යයය, භංගයම ස්වභාවය වූයේ වය ලක්ඛණංයි. නිරෝධය නිර්වාණයයි. සෙස්ස එම ත්‍රයයෙහි කියන ලද ක්‍රමයෙන්ම යෙදිය යුතුය.