1. ගණනවාර වර්ණනාව
දැන් දෘෂ්ටි කථානන්තරව කියන ලද, ආනාපාන සති කථාවෙහි පෙර සඳහන් නොකළ විරූ අර්ථ වර්ණනාව පැමිණියේය. මෙම ආනාපාන සති කථාව, දෘෂ්ටි කථාවෙන් මනාව දත් දෘෂ්ටි ආදීනවයන්ගේ, මිථ්‍යා දෘෂ්ටි මල, මනා සෝධනයෙන් සුවිසුද්ධ සිතැත්තහුට යථා ස්වභාව අවබෝධයෙන් සමාධි භාවනාව පහසු වේ. සියලු සර්වඥ බෝධිසත්ත්වයින්ට, බෝධි මූලයෙහිදී සියලු සමාධි භාවනාවන් අතර, මෙම භාවනා සමාධියෙන්ම සමාධිගත සිතැත්තේ, තත්වාකාරාවබෝධය වන හෙයින්, මෙම සමාධි භාවනාවම ප්‍රධානයැයි දෘෂ්ටිකථානන්තරව කියන ලදි. එහි, සොළස වත්‍ථුකං ආනාපාන සති සමාධිං භාවයතො සමධිකානි ද්වෙ ඤාණ සතානි උප්පජ්ජන්ති යනු ඤාණයන්හි ප්‍රමාණය උදෙසීමයි. අට්ඨ පරිපන්‍ථෙ ඤාණානි යන ආදිය ඤාණ ප්‍රමාණ නිර්දේශයයි. කතමානි අට්ඨ පරිපන්‍ථෙ ඤාණානි ආදියද ඉමානි එකවීසති විමුත්ති සුඛෙ ඤාණානි ආදිය කෙළවරකොට ඇති සියලු ඤාණයන්ගේ විස්තර නිර්දේශයයි. කෙළවරෙහි සොළස වත්‍ථුකං ආනාපාන සති සමාධිං භාවයතො යන ආදිය නිගමනයැයි මෙසේ පළමුව පෙළෙහි නියමකොට දැක්වීම දතයුතුය.
එහි ප්‍රමාණ උදෙසීම් ගණන් වාරයෙහි, පළමුව සොළස වත්‍ථුකං යන්නෙහි, දීර්ඝ, හ්‍රස්ව, සබ්බකාය පටිසංවෙදී පස්සම්භයං කායසංඛාරං යනු කායානුපස්සනා චතුෂ්කයයි. ප්‍රීති පටිසංවෙදී, සුඛ පටිසංවෙදී, චිත්ත සංඛාර පටිසංවෙදී පස්සම්භයං චිත්ත සංඛාරං යනුවෙන් වේදනානුපස්සනා චතුෂ්කයයි. චිත්ත පටිසංවෙදී, අභිප්පමොදයං චිත්තං සමාදහං චිත්තං විමොචයං චිත්තං යනු චිත්තානුපස්සනා චතුෂ්කයයි. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරොධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී යනු ධම්මානුපස්සනා චතුෂ්කයයි යන මේ සිව් චතුෂ්කයන්ගේ වශයෙන් සොළොස් වස්තූන් ආධාරය අරමුණු මෙයටනුයි සොළොස් වස්තුකයි. ඒ සොළොස් වස්තුකය මෙහි සමාස වශයෙන් විභක්ති ලෝපය කරන ලදි. ආන යනු අභ්‍යන්තරයට පිවිසෙන වාතයයි. අපාන යනු පිටත නික්මෙන වාතයයි. සමහරු වනාහි වෙනස් ක්‍රමයෙන් කියති. අපානං යනු ආශ්වාසයෙන් පහවූයේ අපානයැයි කියති. නිර්දේශයෙහි වනාහි, නකාරයෙහි, දීර්ඝත්වය අධ්‍යුපේක්‍ෂණය කොට ආනයැයි යූ.සේයි. එම ආනාපානයෙහි සිහිය ආනාපාන සතියි. ආස්වාස පරිග්‍රාහික සිහියට එය විශේෂ නාමයකි. ආනාපාන සිහියෙන් යුත් සමාධිය, ආනාපාන සතියෙහි හෝ සමාධිය ආනාපාන සති සමාධියි. භාවයතො යනු තියුණු අවබෝධයෙන් වඩන්නහුට, සමධිකානි යනු අධිකය සමග පවතිත්නුයි සමධිකානියි අතිරේක සහිතයැයි අර්ථයි. මෙහි මකාරය පදසන්‍ධිකාරකයි. සමහරු සමධික යැයි කියති. මෙසේ ඇති කල්හි ඤාණ දෙසියයක්ම අධික කොටයැයි කීමට පත්වේ. එය නොයෙදේ. මෙම ඤාණ දෙසිය විස්සක්ම වේ.
පරිපන්‍ථෙ ඤාණානි යනු උවදුරු අරමුණුකොට පැවැති ඤාණ උපක්ලේශ උපකාරයෙහි ඤාණද එසේය. වොදානෙ ඤාණානි යනු පිරිසිදු කෙරේ. එයින් සිත පිරිසිදු වේයයි = වොදානංයි. එය කිමෙක්ද? ඤාණයයි. වොදාන ඤාණානියි කිවයුතු කල්හි, ‘සුතමයෙ ඤාණං’ ආදීන්හි මෙන් ‘වොදානෙ ඤාණානි’යි යූ.සේයි. සිහියෙන් මනා නුවණින් කෙරේනුයි සතොකාරියි. ඒ සතොකාරිස්ස ඤාණානි, නිබ්බිදා ඤාණානි නිර්වේදයට හේතුවූ ඤාණ. නිබ්බිදානුලොම ඤාණානි යනු නිර්වේදයට අනුකූල ඤාණ, නිබ්බිදානුලොම් ඤාණයයිද පාඨයි. නිර්විදානුලෝමය ඔවුන්ට ඇත්තේනුයි නිබ්බිදානුලොමියි අර්ථයි. නිබ්බිදා පටිප්පස්සද්ධි ඤාණානි යනු නිර්වේදයාගේ සංසිඳීමෙහි ඤාණ. විමුත්ති සුඛෙ ඤාණානි යනු විමුක්ති සුවය හා සම්ප්‍රයුක්ත ඤාණ.