2. ෂොඩශ ඥාන නිර්දේශ වර්ණනාව
සොළසහි ආකාරෙහි යනු ඤාණයන්ට පක්‍ෂ වශයෙන් කියන ලද සොළොස් ඤාණ කොට්ඨාසයන්ගෙන්, උදුචිතං චිත්තං සමුදුචිතං යනු උපචාර භූමියෙහි සිටි සිත, උසස් සිතය. මනාව උසස් සිතය, මතු මත්තෙහි කරන ලද පුරුදු ඇති, මනාව මතුමත්තෙහි කරන ලද පුරුදු ඇත්තේය යන අර්ථයි. උදුජිතං චිත්තං සමුදුජිතංයිද පාඨයි. මතු අභිවෘද්ධිය සඳහා දිනන ලදි. මතු අභිවෘද්ධිකාරක ඤාණයන්ගෙන් දිනන ලද්දේනුයි උදුජිතංයි. සමුදුජිතං යනු සමව මතු අභිවෘද්ධිය සඳහා මතු අභිවෘද්ධිකාරක ඤාණයන්ගෙන් දිනන ලදී. සම යනු මෙහි විසමභාව ප්‍රතික්‍ෂෙපයයි. මෙම පාඨයෙහි, ‘උ, දු’ යයි උපසර්ග ද්වය, ද්වය වෙති. ‘උදාජිතං චිත්තං සමුදුජිතං’යිද පාඨයි. මෙහිද දිනන ලද අර්ථයමය. ‘උදා’ යන මෙයනිපාත මාත්‍රයක්මයැයිද කියති. වීණොපමාර්ථ කථායෙහි, තර්ජිත, සුතර්ජිත යැයි යූ.සේයි. එය මෙහි නොයෙදේ. එකත්තෙ සන්තිට්ඨති යනු උපචාර භූමියෙහි නානාරම්මණ වික්‍ෂෙප අභාවයෙන් ඒකත්‍වයෙහි පිහිටයි. නීය්‍යාණාවරණට්ඨෙන නීවරණාති මෙහි නොඇල්මද, සියලු අකුසලයන් ආවරණ අර්ථයෙන් නීවරණයැයි යූ.සේයි. නිය්‍යාණාවරනට්ඨෙන නිර්යාණයන්ගේ පැමිණෙන මාර්ගය වැසීම් අර්ථයෙන් නිය්‍යාණාවරණට්ඨෙන යනුද පාඨයි. නිර්යාණයන්ගේ ප්‍රතික්‍ෂෙපන අර්ථයෙන් යැයි අර්ථයි. නෙක්ඛම්මං අරියානං නිය්‍යාණං යනු මාර්ග ස්ථානය ආර්යයන්ගේ නීය්‍යාණ සංඛ්‍යාත ආර්ය මාර්ගයට හේතු හෙයින්, ඵලය සමීප හේතු වශයෙන් ආර්යයන්ගේ නිර්යාණයි. එයට හේතුභූත වූ මාර්ග ක්‍ෂණයෙහි ආර්යයෝ ගෙනයනු ලබත්. නික්මෙති. සමහරු වනාහි ‘නිය්‍යාණං’ යනු මාර්ගයයි කියති. මෙහි සමීප හේතු වශයෙන් අදහස් කරන ලද හෙයින් මාර්ගක්‍ෂණයෙහිද, ආලෝක සංඥාවගේද, සියලු කුසල ධර්මයන්ගේද අභාව හෙයින් එය නොයෙදේ. නිවුණු හෙයින්ද, වැසුණු හෙයින්ද, නොදනී යයි පුද්ගල වශයෙන් යූ.සේයි.
විසුද්ධචිත්තස්ස යනු උපචාර භූමියෙහිම ඛණික සමොධනා යනු චිත්තක්‍ෂණයක්, චිත්තක්‍ෂණයක් පාසා, උපදනා හෙයින් ක්‍ෂණය ඒවාට ඇත්තේනුයි ඛණිකායි. උපක්ලේශයි. ක්‍ෂණිකයන්ගේ සම්බන්ධය, එක්වීම, බැඳීම ක්‍ෂණික සමෝධානයි. එහෙයින් ක්‍ෂණික සමොධාන, උපදිනු ලබන උපක්ලේශ ක්‍ෂණික නොසිඳී පැවතීම් වශයෙන්, ක්‍ෂණික පරම්පරා වශයෙන් උපදිති. එක් චිත්තක්‍ෂණ වශයෙන් නොවේයයි යූ.සේයි.
3. උපක්ලේශ ඥාන නිර්දේශ වර්ණනාව
ප්‍රථම ෂට්කය
ප්‍රථම ෂට්කයෙහි, අස්සාසාදි මජ්ඣ පරියොසානං යනු අභ්‍යන්තරයට පිවිසෙන වාතයෙහි, නාසිකාග්‍රය හෝ මුව නිමිත්ත (ආදියි) මුලයි. හෘදය මධ්‍යයයි. නැබ කෙළවරයි. මුල, මැද, අග සිහිය අනුව යන එම යෝගියාට නානත්‍ව අනුගමන හේතුයෙන් අධ්‍යාත්ම සිත වික්‍ෂෙපයට යයි. ඒ අධ්‍යාත්ම වික්‍ෂෙපගත සිත එකාග්‍රතාවයෙහි නොපිහිටන හෙයින් සමාධියට උවදුරෙකි. පස්සාසාදි මජ්ඣ පරියොසානං යනු පිටත නික්මෙන වාතයෙහි නැබ මුලයි. හෘදය මධ්‍යයයි නාසිකාග්‍රය මුව නිමිත්ත හෝ පිටත ආකාශය හෝ කෙළවරයි. මෙහි යෙදුම කියන ලද ක්‍රමයෙන්ම දතයුත්තාහ. අස්සාස පටිකංඛනා නිකන්ති තණ්හා චරියා යනු මෙම කමටහන නාසිකා වාතයට ඇතුළත් වූවෙකැයි සලකා දළ දළ ආශ්වාසයෙහි ප්‍රාර්ථනා සංඛ්‍යාත කැමැත්තෙහිම තෘෂ්ණාව පවතී. තෘෂ්ණාවගේ පැවැත්ම ඇතිකල්හි ඒකාග්‍රතාවයෙහි නොපිහිටන හෙයින් සමාධියට උවදුරෙකැ. පස්සාස පටිකංඛණා නිකන්ති යනු නැවැතැ ආශ්වාස පූර්වක ප්‍රශ්වාසයෙහි ප්‍රාර්ථනා සංඛ්‍යාත ඇල්මයි. සෙස්ස කියන ලද අයුරින් යෙදිය යුතුය. අස්සාසෙනාභිතුන්නස්ස යනු ඉතා දීර්ඝ හෝ ඉතා හ්‍රස්වව ආශ්වාස කරන්නහුට, ආශ්වාස මූලක, කායචිත්ත වෙහෙස ස්වභාව හෙයින්, ඒ ආශ්වාසයෙන් විදින ලද පෙළුණහුගේ, පස්සාස පටිලාභෙ මුච්ඡනා යනු ආශ්වාසයෙහි පීඩිත වූයේම ප්‍රශ්වාසයෙහි ආස්වාද සංඥී වූයේ, ප්‍රශ්වාසය ප්‍රාර්ථනා කරනුයේ ප්‍රශ්වාස ප්‍රතිලාභයෙහි ඇලීමය. ප්‍රශ්වාස මූලකයෙහිද එම ක්‍රමයයි.
කියන ලද අර්ථයෙහිම, අනුවර්ණනා අර්ථ කියන ලද ගාථා බන්ධනයන්හි, අනුගච්ඡනා යනු අනුව යන්නා වූ, සති යනු අධ්‍යාත්ම, බාහිර වික්‍ෂෙපයට හේතුවූ සිහිය, මෙය කරණ කොටගෙන සිත වික්‍ෂෙප වේනුයි වික්ඛෙපොයි. එය කවරෙක්ද? ආශ්වාසයයි. අධ්‍යාත්මයෙහි වික්‍ෂෙපය අධ්‍යාත්ම වික්‍ෂෙපයයි. එහි කැමැතිවීම අජ්ඣත්ත වික්ඛෙපාකංඛන්නා යනු නොමනා මෙනෙහි කිරීම් වශයෙන් අධ්‍යාත්ම වික්‍ෂෙපක ආශ්වාසයාගේ කැමැතිවීම යයි යූ.සේයි. එම ක්‍රමයෙන්ම පිටත වික්‍ෂෙප ප්‍රාර්ථනා දතයුත්තාහ. යෙහි යනු යම් උපක්ලේශයන්ගෙන්, වික්ඛෙපමානස්ස යනු වික්‍ෂේප වන්නහුට වික්‍ෂේපය පමුණුවනු ලබන්නේ, නොච චිත්තං විමුච්චති යනු සිත ආශ්වාස ප්‍රශ්වාස ආරම්මණයන්හිද නොඇලේ. විරුද්ධ ධර්මයන්ගෙන්ද නොමිදේ. සිතද නොමිදේ. අන්‍ය කෙලෙසුන්ගේ ප්‍රාප්තියද වේ යයි සම්බන්ධයයි. විමොක්ඛං අප්පජානන්තා යනු එය හෝ අන්‍ය හෝ ආරම්මණාධිමුක්ති විමොක්‍ෂයද, විරුද්ධ විමුක්ති විමෝක්‍ෂයද මෙසේ නොදන්නාහු, පරපත්තියා යනු අන්‍ය ප්‍රත්‍ය, අන්‍ය ඇදහීම්වලට සුදුසු වෙති. ආත්මප්‍රත්‍යක්‍ෂ ඤාණයක් නැත්තේනුයි පරපච්චකායි කිවයුතු කල්හි පරපත්තියායි යූ.සේයි. අර්ථය එයමය.