2. ආත්මානු දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
ආත්මානු දෘෂ්ටියෙහි අස්සුතවා පුථුජ්ජනො යනු ඇදහීම්, අධිගම අභාවයෙන් අශ්‍රැතවතා යැයි දතයුතුය. යමෙකුට වනාහි ස්කන්ධ, ධාතු ආයතන, සත්‍ය, ප්‍රත්‍යයාකාර, සතිපට්ඨානාදීන්හි, ඉගෙනීම් විචාරීම් විනිශ්චය විරහිත හෙයින්, ආත්මානු දෘෂ්ටිය ප්‍රතිෂේධකාරිත්වය නොපැමිණේ. ප්‍රතිපත්තියෙන් අවබෝධ කොටගත යුතු දෑ අවබෝධ නොකළ හෙයින් අධිගමයද නොමැත. හෙතෙම ආගම අධිගම අභාවයෙන් අශ්‍රැතවතා යැයි දතයුතුය. සුතං යනු, බුදුවදන් ඉගෙනීමද, ශ්‍රැත ඵලය හෙයින්, හේතු ව්‍යවහාර වශයෙන් අධිගමයද, එම ශ්‍රැතය ඔහුට ඇත්තේනුයි ශ්‍රැතවායි. ශ්‍රැතයක් නොමැතියේ අශ්‍රැතවායි.
පුථූනං ජනනාදීහි - කාරණෙහි පුථුජ්ජනො,
පුථුජ්ජන නෙතා ගධත්තා - පුථුවායං ජනො ඉති
ඒ මෙය බොහෝ පැතිර සිටි දෑහි ඉපදවීම් ආදී කාරණයන්ගෙන් පෘථග්ජනයි. පෘථග්ජනයන්ට ඇතුළත් හෙයින් මේ ජනයා පුථු නම් වේ.
හෙතෙම වනාහි බොහෝ නානාප්‍රකාර කෙලෙසුන්ගේ ඉපදවීම් ආදී කාරණයන්ගෙන් පෘථග්ජනයි. දෙසූ පරිදි, බොහෝ කෙලෙස් උපදවත්නුයි පෘථග්ජනයි. බොහෝ පහනොකරන ලද සත්කාය දෘෂ්ටිකනුයි පෘථග්ජනයි. බොහෝ ශාස්තෲන්ගේ මුහුණු බලන්නේනුයි පෘථග්ජනයි. බොහෝ නොයෙක් උත්පත්තීන්ගෙන් නොනැගිටියේනුයි පෘථග්ජනයි. බොහෝ නොයෙක් අභිසංස්කාරයන් රැස් කෙරෙත්නුයි පෘථග්ජනයි. බොහෝ නොයෙක් ඕඝයන්ගෙන් පාවී යත්නුයි පෘථග්ජනයි. බොහෝ නොයේක සන්තාපයන්ගෙන් තැවෙත්නුයි පෘථග්ජනයි. බොහෝ නොයෙක් දාහයන්ගෙන් දැවෙත්නුයි පෘථග්ජනයි. බොහෝ පඤ්චකාම ගුණයන්හි ගැලුණාහු, මූර්ඡා වූවාහු, බැසගත්තාහු, ඇලුණේ, ඇලී සිටියේ, කිළිටි වූයේනුයි පෘථග්ජනයි. බොහෝ පඤ්ච නීවරණයන්ගෙන්, අමුණන ලදුයේ, වසන ලදුයේ, බාධාකරන ලදුයේ, ඡාදිත වූයේ, යටිකුරු කරන ලදුයේ නුයි පුථුජ්ජනයි. බොහෝ වූ ගණන් කළ නොහැකි තරම් ඉක්මුණු ආර්ය ධර්මයන් පරම්මුඛ වූ, නීච ධර්මයන්හි හැසිරීම්වලට ඇතුළත් වූ හෙයින්ද පෘථග්ජනයි. සීල ශ්‍රැත ආදී ගුණයුත් ආර්ය ජනයන් සමග සම්බන්ධ නුවූයේ, මෙතෙම බොහෝසෙයින් වෙන් වූයේම යැයි ජන සංඛ්‍යාවට ගිය හෙයින්ද පෘථග්ජනයි. මෙසේ එම ‘අස්සුතවා පුථුජ්ජනො’ යන දෙපදයෙන් යම් ඒ –
දුවෙ පුථුජ්ජනා වුත්තා - බුද්ධෙනාදිච්ච බන්‍ධුනා,
අන්‍ධො පුථුජ්ජනොඑකො - කල්‍යාණෙකො පුථුජ්ජනො
ආදිච්චබන්‍ධු බුදුරදුන් විසින් පෘථග්ජනයෝ දෙදෙනෙක් දේශනා කරන ලදහ. එක් අයෙක් අන්ධ පෘථග්ජනයාය. අනෙකා කල්‍යාණ පෘථග්ජනයායි යූ.සේයි.
අරියානං අදස්සාවි යනාදීන්හි, කෙලෙසුන්ගෙන් දුර හෙයින්ද, අක්‍රමවත් දෑහි ක්‍රියා නොපවත්වන හෙයින්ද, වර්ධනයෙහි ක්‍රියා පවත්වන හෙයින්ද, සදේවක ලෝකයා විසින් කෙලෙස් තොරතාවයෙන් සලකනු ලබන හෙයින් බුදු පසේබුදු ශ්‍රාවකයෝ යූ.සේයි. බුදුවරුම හෝ මෙහි ආර්යයෝය. දෙසූ පරිදි, මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- තථාගතයන් වහන්සේ ආර්යයැයි කියනු ලැබේ.
සප්පුරිසං යන මෙහි පසේ බුදුවරු තථාගත ශ්‍රාවකයෝ සත්පුරුෂ යැයි දතයුත්තාහ. ඔවුහු වනාහි ලෝකෝත්තර ගුණ යෝගයෙන් යහපත් පුරුෂයෝ නුයි සත්පුරුෂයෝය. එම දෙයාකාරයෙන් කියන ලද සියලුම බුදුවරුද ආර්යයෝද, සත්පුරුෂයෝද, පසේබුදුවරුද, බුද්ධ ශ්‍රාවකයෝද වෙති. දෙසූ පරිදි –
යොවෙ කතඤ්ඤු කතවෙදි ධීරො, කල්‍යාණ මිත්තො දළ්හභත්තීච හොති,
දුඛිතස්ස සක්කච්ච කරොති කිච්චං, තථාවිධං සප්පුරිසං වදන්ති
යමෙක් ඒකාන්තයෙන්, කළගුණ දත්, කළ උපකාරය දත් ප්‍රඥාවෙන් යුත්, දැඩි භක්තිය ඇති කළණ මිතුරෙක් වේද, දුප්පතාගේ අවශ්‍ය කාර්යයන් සකස්ව කෙරේද? එබඳු ආකාර ඇත්තේ සත්පුරුෂයා යැයි කියති.
මෙහි වනාහි ‘කතඤ්ඤුකතවෙදි ධීරො’ පසේ බුදුරද යූ.සේ. කල්‍යාණ මිත්තො දළ්හ භත්ති යනු බුද්ධශ්‍රාවක තෙමේ, දුඛිතස්ස සක්කච්ච කරොති කිච්චං යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. යමෙක් ඒ ආර්යයන්ගේ නොදක්නා සුලුවූයේ, දර්ශනයෙහිද යහපත් ප්‍රතිචාරයක් නොදක්වයිද? හෙතෙම අරියානං අදස්සාවී යයි දතයුතුය. එයද චක්‍ෂුසින් නොදැක්ම, නුවණින් නොදැක්ම යැයි දෙයාකාරය. ඒවා අතර නුවණින් නොදැක්ම මෙහි අදහස් කරන ලදි. මසැසින් හෝ දිවැසින් හෝ ආර්යයෝ දිටියේද නොදිටියේම වෙති. ඔවුන්ගේ ඇස්වලට වර්ණය පමණක් ග්‍රහණය වන හෙයින්, ආර්යභාවය ගෝචර නොවන හෙයිනි. බලු සිවල් ආදීහුද චක්‍ෂුසින් ආර්යයන් දකිති. එම සත්තු ආර්ය දර්ශකයෝ නොවෙති. එහෙයින් චක්‍ෂුසින් දැක්ම දර්ශනයක් නොවේ. නුවණින් දැක්මම දර්ශනයයි. දෙසූ පරිදි, වක්කලිය, නුඹට මේ කුණුකහ දැක්මෙන් කවර ප්‍රයෝජනයෙක්ද? වක්කලිය, යමෙක් වනාහි ධර්මය දකීද? හෙතෙම මා දකියි. එහෙයින් මසැසින් දක්නා ලද්දේද? නුවණින් ආර්යයන් විසින් දක්නා ලද අනිත්‍යාදී ලක්‍ෂණ නොදක්නේ, ආර්යයන් විසින් අවබෝධ කරන ලද ධර්මය අවබෝධ නොකරන්නේ, ආර්යභාවය හටගන්වන ධර්මයන්ද ආර්යභාවයද නොදුටු හෙයින් අරියානං අදස්සාවීයි දතයුතුය.
අරියධම්මස්ස අකොවිදො යනු සතිපට්ඨානාදී භේද වූ ආර්ය ධර්මයන්හි අදක්‍ෂ වූයේ, අරියධම්මෙ අවිනීතො යන මෙහි වනාහි,