1. ආස්වාද දෘෂ්ටි නිර්දේශ වර්ණනාව
දැන් ඤාණ කථා අනන්තරව ප්‍රකාශිත දෘෂ්ටිකථායෙහි අනුපූර්ව අනු වර්ණනාව පැමිණියේය. මේ දෘෂ්ටි කථාවය. ඤාණකථාවෙන් කරන ලද ඤාණ පුරුදු ඇති, අවබෝධ කළ සම්‍යග් දෘෂ්ටියෙන් මිථ්‍යා දෘෂ්ටි නමැති මල, පිරිසිදු කිරීම පහසු වේ. සම්‍යග් දෘෂ්ටියද මනාව පිරිසිදු වේයයි ඤාණ කථා, අනන්තරව කියන ලදි. එහි කා දිට්ඨි ආදිය විචාරීමයි. දිට්ඨිති අභිනිවෙස පරාමාසො දිට්ඨි යනාදී වූ විමසන ලද විමසුමෙහි විසඳුමයි. කථං අභිනිවෙස පරාමාසො දිට්ඨි යන ආදී වශයෙන් විසඳන ලද විසඳුමෙහි විස්තර නිර්දේශයයි. සබ්බාව තා දිට්ඨියො අස්සාද දිට්ඨියො යනාදී වූ දෘෂ්ටි සංසන්දනයයි මෙසේ මේ සිව් පරිච්ඡේදයයි. එහි විමසුම් පරිච්ඡේදයෙහි කා දිට්ඨි යනු ධර්ම විමසීම, ස්වභාව විමසීමයි. කති දිට්ඨිට්ඨානානි යනු හේතු විමසීම, ප්‍රත්‍යය විමසීම දෘෂ්ටීන්ට කෙතෙක් කාරණාදැයි අර්ථයි. කති දිට්ඨි පරියුට්ඨානානි යනු හැසිරීම් විමසුම්ය. දෘෂ්ටීහුම හැසිරීම් වශයෙන්, සිත හාත්පසින් වෙළමින් නැගිටිත්නුයි දෘෂ්ටි පරියුට්ඨානානි නම් වෙති. කති දිට්ඨියො යනු දෘෂ්ටීන්ගේ සංඛ්‍යා විමසීම, ගණන විමසීම. කති දිට්ඨාභිනිවෙසා යනු වස්තු ප්‍රභේද වශයෙන්ද, අරමුණු විවිධත්වය වශයෙන්ද දෘෂ්ටි ප්‍රභේද විමසුමයි. දෘෂ්ටීහුම ඒ ඒ වස්තුවෙහි ඒ ඒ අරමුණෙහි තදින් පිහිටති. ස්පර්ශ කෙරෙත්නුයි දෘෂ්ටි පරාමාසයැයි කියති. කතමො දිට්ඨිට්ඨාන සමුග්ඝාතො යනු දෘෂ්ටීන්ගේ ප්‍රතිපක්‍ෂ විමසුම, ප්‍රහාණ උපාය විමසුම, ස්කන්ධාදීහු දෘෂ්ටි හේතුකොට හටගනිත්. දෘෂ්ටි නැසීමෙන් එම ස්කන්ධයන්ගේ හටගැනීමට හේතු නොවෙති. එම හේතුද නැසුවාහු නම් වෙති. එහෙයින් දෘෂ්ටි කරුණු මනාව බොහෝ සේ එයින් නසත්නුයි දිට්ඨිට්ඨාන සමුද්ඝාතයයි යූ.සේයි.
දැන් ඒ ෂට් විමසීම්හි කා දිට්ඨි යනාදී ෂට් විසඳුම්ය. එහි කා දිට්ඨි යනු විසඳිය යුතු විසඳුම්ය. අභිනිවෙස පරාමාසො දිට්ඨි යනු විසඳුමයි. එය අනිත්‍යාදී වස්තුවෙහි නිත්‍යාදී වශයෙන් ඇලුම් කරයි. පිහිටුවයි. දැඩිව ගනීනුයි අභිනිවෙසොයි. අනිත්‍යාදී ආකාරය ඉක්මවා නිත්‍යයයි ආදී වශයෙන් පවත්නා මත්තෙහි (වැඩිපුර) ස්පර්ශ කරයි. ගනීනුයි පරාමාසොයි නොහොත් නිත්‍යයයි ආදී වශයෙන් මත්තෙහි උතුම් සත්‍යයයි ස්පර්ශ කරයි. ගනීනුයි පරාමාසොයි. තදින් ඇලුම් කිරීමද ස්පර්ශයද එය මනුයි. අභිනිවෙස පරාමාසොයි. මේ ආකාර වූ දෘෂ්ටිය යනු කෘත්‍යය වශයෙන් දෘෂ්ටි ස්වභාවය විසඳයි. තිණීසතං තුන්සියයයි. වචන විපර්යාසය කරන ලදි. කතමො දිට්ඨිට්ඨාන සමුග්ඝතොයි විමසීම නොඋදුරාම සොතාපත්ති මග්ගො දිට්ඨිට්ඨාන සමුග්ඝාතොයි විසඳුම කරන ලදි.
දැන් කෙසේ අභිනිවෙස පරාමාසො යනාදී විස්තර නිර්දේශය වේද? එහි රූපං යනු ද්විතියා වචනයි. රූපය අභිනිවෙස පරාමාසයයි සම්බන්ධයි. මෙහි රූපං යනු රූප උපාදානස්කන්ධයද කසිණ රූපයද, එය මාගේයයි ගැනීම අභිනිවෙස පරාමාස දෘෂ්ටියයි. එය මම වෙමියි යනුවෙන් ගැනීම අභිනිවෙස පරාමාස දෘෂ්ටියයි. එය මාගේ ආත්මයැයි ගැනීම අභිනිවෙස පරාමාස දෘෂ්ටියයි. වෙන වෙනම යෙදිය යුතුය. එතං යනු සමාන වචනයයි. එහෙයින්ම එම වේදනාව මාගේය. එම සංස්කාරයන් මාගේ යයි නපුංසක වචන හා ඒකවචන කරන ලදි. එසො යයි කිවයුත්ත අපේක්‍ෂාකොට පුල්ලිංග ඒකවචන කරන ලදි. එතංමම යනු තෘෂ්ණා හැඟීම මූලික දෘෂ්ටියයි. එසො හමස්මි යනු මාන හැඟීම් මූලික දෘෂ්ටියයි. එසො මෙ අත්තා යනු දෘෂ්ටි හැඟීමමය. සමහරු වනාහි ‘එතං මම’ යනු මගේ යන කල්පනයයි. ‘එසො හමස්මි’ මම යන කල්පනයයි. ‘එසො මෙ අත්තා’, මමය මාගේය යන කල්පිතයෙන් යුක්ත ආත්මයයි තදින් ගැනීමයි කියති. එසේම පිළිවෙලින් තෘෂ්ණාමූලික සිත පිහිටුවීම, මානය දැඩිව ගැනීම, තෘෂ්ණාමූලික ඇලීම සංස්කාරයන්හි මානයෙන් දැඩිව ගත් ආත්මය යන ඇල්ම, සංස්කාරයන්ගේ දුක්ඛ ලක්‍ෂණ දර්ශනයද, සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්‍ෂණ දර්ශනයද, ලක්‍ෂණ දැක්මට හේතුවූ ආත්මාභිනිවේශයද, දුකෙහි හා අසුභයෙහි, සුව ශුභයැයි විපර්යාස ග්‍රහණයෙහිද, අනිත්‍යයෙහි නිත්‍යයයි විපර්යාස ග්‍රහණයෙහිද යන චතුර්විධ විපර්යාස ග්‍රහණයෙහි ආත්මාභිනිවේසයද, පූර්වේ නිවාස ඤාණයාගේ ආකාර කල්පනයද, දිව්‍ය චක්‍ෂුර් ඤාණයාගේ අනාගත ප්‍රතිලාභ කල්පනයද, පූර්වාන්තාපරාන්ත හා මෙයින් මෙය හට ගත්තේය යන ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයන්හි විතර්ක මූලික ආත්මාභි නිවේසයද? තෘෂ්ණාවෙන් අතීතයට පමුණුවයි. තෘෂ්ණාවෙන් අනාගතය අපේක්‍ෂා කරයි. තෘෂ්ණාවෙන් වර්තමානයෙහි ගැළෙයි නුයි ආත්මාභි නිවේසයයි. පූර්වාන්තයෙහි නොදැනීම්හෙතුක දෘෂ්ටිය, අපරාන්තයෙහි නොදැනීම් හේතුක දෘෂ්ටිය පූර්වාන්තාපරන්තයන්හි, මෙයින් මෙය හටගත්තේය යන ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයන්හි නොදැනීම් හේතුක වූ අන්තයෙහි අභිනිවේසයදැයි එම ත්‍රිවිධ වචනයන්ගේ අර්ථ වර්ණනා කරති.
මෙහි දෘෂ්ටීහු වනාහි පළමුව පංචස්කන්ධ වස්තුකය ඉක්බිති, ෂට් ආධ්‍යාත්මික හා බාහිරායතනයන්ද, විඤ්ඤාණ කාය, ස්පර්ශ කාය, වේදනා කාය, සංඥා කාය, චේතනා කාය, තෘෂ්ණා කාය, විතර්ක කාය, විචාර, ධාතු කසිණ, දෙතිස් ආකාර වස්තුක දෘෂ්ටීහු යූ.සේයි. දෙතිස් ආකාර කුණපයන්හි වෙන්ව ඇල්ම නොයෙදේ. මුළු ශරීරයෙහිම ඇලුම් කිරීම් වශයෙන්ම වෙන්ව කරන ඇලුම් කිරීම් මෙන් කරන ලදැයි දතයුතුය. ඉක්බිති ද්වාදසායතන, අටළොස් ධාතු, එකුන්විසි ඉන්ද්‍රිය වශයෙන් යෙදීම් කරන ලදි. ත්‍රිවිධ ඒකාන්ත ලෝකෝත්තර ඉන්‍ද්‍රිය නොයොදන ලදී, ලෝකෝත්තර වස්තුක දෘෂ්ටීහු නොවෙත්. හැමතන්හිම ලෞකික ලෝකොත්තර මිශ්‍ර ධර්මයන්හි ලෝකෝත්තර හැර ලෞකිකයන්ම ගතයුතුය. ඉන්‍ද්‍රිය බද්ධ නුවූ රූපයද නොගත යුතුමය. ඉක්බිති ත්‍රෛධාතුක වශයෙන්ද, නව වැදෑරුම් වශයෙන්ද ධ්‍යාන බ්‍රහ්ම විහාර සමවත් වශයෙන්ද, ප්‍රතීත්‍ය සමුත්පාදාංග වශයෙන්ද යෙදීම් කරන ලදි. ජාති ජරා මරණයන්ගේ වෙන්ව ග්‍රහණයෙහි යෙදෙන ක්‍රමය කියන ලද ක්‍රමයමය. එම සියලු ජරා මරණ අන්ත අන්ත කොට ඇති, රූපාදීු එක්සිය අනූඅටක් පද වෙයි.