9. සංස්කාරෝපේක්ෂා ඤාණ නිර්දේශ වර්ණනාව
සංස්කාරුපේක්ෂා ඤාණ නිර්දේශයෙහි :- උප්පාදාදි යනු කියන ලද අර්ථයමය. දුක්ඛං, භයං, සාමිසං, සංඛාරා යනු උත්පාදාදියෙන් මිදීමට හේතු වූ වචනයෝය. මෙසේද ලක්ෂණ වශයෙන් සංස්කාරුපේක්ෂාව දක්වා දැන් අර්ථ වශයෙන් දක්වන්ට උප්පදො සංඛාරා, තෙ සංඛාරෙ අජ්ඣුපෙක්ඛතී සංඛාරුපෙක්ඛා’ ආදිය වදාළහ. එහි සංඛාරෙ අජ්ඣුපෙක්ඛති යනු ආරබ්ධ විදර්ශකයාට විදර්ශනා ඤාණයෙන් ලක්ෂණත්රයයාගේ ස්වභාවය දුටු හෙයින් ස්වභාව සෙවීමෙහි පහවූ උත්සාහ ඇත්තහුට, ත්රිවිධ භවයන් ගිනිගත්තාක් මෙන් දක්නේ, සංස්කාර ග්රහණයෙහි මධ්යස්ථ වූවහුට, ඒ විදර්ශනා ඤාණය, ඒ සංස්කාරයන් බලයි. ග්රහණයෙන් අත්හැර දමන ලද්දේ වී බලයි. අවලෝකනය කෙරෙයිනුයි සංස්කාරුපේක්ෂා නමැයි අර්ථයි. යම්සේ ලෝකයෙහි විශේෂයෙන් දිනන්නේ අධිජයතියිද, ආහාර වර්ජිතව වසන්නේ උපවාස කෙරේයයි කියනු ලැබේ. නැවත සංස්කාරයන් අනිත්යාදී වශයෙන් මනාකොට බලා, ග්රහණ මධ්යස්ථ භාවයෙහි පිහිටියේ, සංස්කාරුපේක්ෂාවද අනිත්යාදී වශයෙන් මනාකොට බලා, ඒ සංස්කාරුපේක්ෂාවගේද ග්රහණයෙහි මධ්යස්ථාකාරයෙන් පිහිටි සංස්කාරුපේක්ෂාවගේ ස්වභාවයෙන් ‘යෙච සංඛාරා, යාච උපෙක්ඛාති’ ආදිය යූ.සේයි.
දැන් සංස්කාරුපේක්ෂාවට සිත එළවීම් භේද දක්වන්ට කොපමණ ආකාරයන්ගෙන්දැයි ආදිය වදාළහ. එහි සංඛාරුපෙක්ඛායා යනු සත්තමී වචනයි. චිත්තස්ස අභිනීහාරො යනු සංස්කාරුපේක්ෂාලාභීහුගේ එයින් අන්ය වූ චිත්තයාගේ සංස්කාරුපේක්ෂාභිමුඛකොට බොහෝ සේ ගෙනයාම, මෙහි ‘අභි’ ශබ්දය අභිමුඛයෙහි යන අර්ථයි. ‘නි’ ශබ්දය බොහෝ සේ යන අර්ථයි. විමසන ලද විචාරීම කවර ආකාරයන්ගෙන්දැයි යතහොත්, අට ආකාරයකින් විසඳා දෙවන විමසීම් විසඳුමෙන්ම ඒ අට ආකාරයන් දක්වනු කැමැත්තේ, ඒවා නොදක්වාම, පෘථග්ජනයාට කවර ආකාරයන්ගෙන්දැයි ආදිය විමසීම කළේය. පුථුජ්ජනස්ස යන මෙහි වනාහි
දුවෙ පුථුජ්ජනා වුත්තා - බුද්ධෙ තාදිච්ච බන්ධුනා,
අන්ධො පුථුජ්ජනො එකො - කල්යාණෙකො පුථුජ්ජනො
අන්ධො පුථුජ්ජනො එකො - කල්යාණෙකො පුථුජ්ජනො
ආදිච්ච බන්ධු වූ, බුදුරදුන් විසින් පෘථග්ජනයින් දෙදෙනෙක් වදාරන ලදහ. එකෙක් අන්ධ පෘථග්ජනයි. එකෙක් කල්යාණ පෘථග්ජනයි.
එහි යමෙකුට ස්කන්ධ, ධාතු, ආයතනාදීන්හි, ඉගෙනීම්, විමසීම්, ශ්රවණ, ධාරණ, ප්රත්යවේක්ෂානාදීන් නොමැතිද? මේ අන්ධ පෘථග්ජනයි. යමෙකුට ඒවා තිබේද? හෙතෙම කල්යාණ පෘථග්ජනයි. ඒ දෙදෙනාම වනාහි :-
පුථූනං ජනනාදීහි - කාරණෙහි ජුථුජ්ජනො,
පුථුජ්ජනන්තොගධත්තා - පුථුවායං ජනො ඉති
පුථුජ්ජනන්තොගධත්තා - පුථුවායං ජනො ඉති
පැතිරුණු බොහෝ කෙලෙස් උපදවන ආදී කරුණුවලින් පෘථග්ජන නමැ. පෘථග්ජනයින්ට අයත් හෙයින්ද, මේ ජන තෙමේ පුථු නමැ.
හෙතෙම බොහෝ නානාප්රකාර ක්ලේශාදීන්ගේ ඉපදවීම් ආදී කරුණුවලින් පෘථග්ජන නමැ. දෙසූ පරිදි; බොහෝ කෙලෙස් උපදවත්නුයි පෘථග්ජනයි. පහ නොකළ බොහෝ සක්කාය දෘෂ්ටි ඇත්තේනුයි, පෘථග්ජනයි. බොහෝ ශාස්තෲවරුන්ගේ මුහුණු බලන්නේනුයි පෘථග්ජනයි. බොහෝ සියලු ගතිවලින් නැගී නොසිටියේනුයි පෘථග්ජනයි. බොහෝ නොයෙක් අභිසංස්කාරයන් රැස් කෙරෙත්නුයි පෘථග්ජනයි. බොහෝ නොයෙක් දියපහරවලින් පාවී යෙත්නුයි පෘථග්ජනයි. බොහෝ නොයෙක් සන්තාපයන්ගෙන් තැවෙත්නුයි පෘථග්ජනයි. බොහෝ නොයෙක් දාහයන්ගෙන් දැවෙත්නුයි පෘථග්ජනයි. බොහෝ පඤ්ච කාම ගුණයන්හි ඇලී, ගිජුවී, ගැලී, මූර්ච්ඡාවට පත්ව, එහි බැස, ඇලී, තදින් ඇලී, කරදරයට පත්වූවාහුය යන අර්ථයෙන් පෘථග්ජනයි. බොහෝ පඤ්ච නීවරණයන්ගෙන් ඇමිණුනාහු, වටකරන ලද්දාහු බාධාකරන ලද්දාහු වසන ලද්දාහු වැසුනාහු යටිකුරු කළාහුනුයි පෘථග්ජනයි. බොහෝ සංඛ්යාතික්රාන්ත, ආර්ය ධර්මයන්හි ඉවතට හරවාගත් මුහුණු සහිත වූයේ පහත් හැසිරීම්වලින් යුත් ජනයන්ට ඇතුළත් වූ හෙයින්ද පෘථග්ජනයි. බොහෝසෙයින් මේ තෙමේ වෙන්වූයේමයැයි යන සංඛ්යාවට ගියේය. සීල ශ්රැත ආදී ගුණයුත් ආර්ය ජනයාගෙන් වෙන්වූයේනුයි පෘථග්ජනයි. ඔවුනතර කල්යාණ පෘථග්ජනයා මෙහි අදහස් කරන ලදී. අනෙකාට භාවනාවෙන්ම අභාවය දක්වයි.
සෙඛස්ස මෙහි සප්ත ශෛක්ෂ්යයෝය. සෝවාන් මාර්ග, ඵල, සකෘදාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග, ඵල අර්හත් මාර්ගස්ථ වශයෙනි. ඔවුහු ත්රිවිධ ශික්ෂා හික්මෙත්නුයි ශෛක්ෂ්යයි. ඔවුන් අතරෙහි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ඵලයෙහි පිහිටි තිදෙන මෙහි අදහස් කරන ලදී. මාර්ගස්ථයින්ගේ සංස්කාරුපේක්ෂාව සඳහා සිත ඉදිරියට ගෙන ඒම නොමැති හෙයිනි.
වීතරාගස්ස යනු මෙහි මුළුමනින් නැසීම් ප්රහාණයෙන් පහවූ ඇල්ම ඇත්තේනුයි වීතරාග නමැ. රහතුන්ට එය විශේෂ නාමයකි. තෙපදයන්හිම ජාති ග්රහණයෙන් ඒකවචන කරන ලදී.
සංඛාරුපෙක්ඛං අභිනන්දති යනු ඒ උපේක්ෂා විහරණයෙහි පහසු විහරණ සංඥාව ලැබ, පහසු විහරණ ඇල්මෙහි සංස්කාර උපේක්ෂා අභිමුඛව සතුටුවෙහි. ප්රීති සහිත තෘෂ්ණාව උපදවයි යන අර්ථයි. විපස්සති යනු සෝවාන් මාර්ග ප්රතිලාභය සඳහා අනිත්යාදී වශයෙන් විවිධාකාරයෙන් බලයි. ශෛක්ෂ්යයා මතු මාර්ග සඳහා වීතරාගී වූයේ ඉහාත්ම සුව විහරණය සඳහා විදර්ශනා කරයි. පටිසංඛාය යනු අනිත්යාදී වශයෙන්ම මනාව පරීක්ෂාකොට, සෝවාන් ආදී ආර්යයෝ තම තමන්ගේ ඵල සමවතට සමවදින්නාහු, උදයව්යය ඤාණාදී නව විදර්ශනා ඤාණයන්ගෙන් විදර්ශනාකොට සමවදින්ට නොහැකි වෙති. එහෙයින් අනිත්යාදී වශයෙන්ම මනාව පරීක්ෂාකොට ඵල සමවතට සමවදීයයි කියන ලදී.
ඵල සමවතෙහි පැවැත්ම දැක්වීම සඳහා ඒවා පිළිබඳ ප්රශ්න කර්මයයි. ඵල සමවත කවරක් වන්නේද? කවරහු එයට සමවදිත්ද? කවරහු සමනොවදිත්ද? කවර හෙයින් සමවදිත්ද? කෙසේ එම සමවැදීම වන්නේ වේද? සිටීම කෙසේද? නැගිටීම කෙසේ වේද? ඵලයට අනතුරු කිමෙක්ද? ඵලයට අනතුරු කවර දැයක්ද?
එහි ඵල සමවත කවරක් වන්නේද? ආර්ය ඵල නිරෝධයෙහි වන ධ්යානයයි.
කවරහු එයට සමවදිත්ද? කවරහු සම නොවදිත්ද? සියලු පෘථග්ජනයෝ සම නොවදිති. කුමක් හෙයින්ද යත්? අවබෝධ නොකල හෙයිනි. සියලුම ආර්යයෝ සමවදිති. කුමක් හෙයින්ද? අවබෝධ කළ හෙයිනි. උපරිමයෙහි සිටියහු යට සමවත්හි සමනොවදිති. පුද්ගලාන්තර භාවෝපගමනයෙන් සන්සිඳුණු හෙයිනි. යට සමවත්හි අය මතු සමවත්හි සම නොවදිති. අවබෝධ නොකළ හෙයිනි. තම තමාගේම ඵලයෙහි සමවදිති. මේ මෙහි නිශ්චයයි.
සමහරු සෝවාන් සකෘදාගාමීහු සම නොවදිති. මතු ද්වයෙහිම සමවදිතියි කියති. මේ එයට හේතුයි. ඔවුහු සමාධියෙහි පරිපූර්ණත්වයට පත්වූවෝ වෙති. එය පෘථග්ජනයාටද, තමා ලත් ලෞකික සමාධියෙහි සමවැදීමෙහි දොසක් නැත. මෙහි හේතු අහේතු සිතීමෙහි ඵලය කිමෙක්ද? මෙහිම පෙළෙහි නොවේද? කවර දස සංස්කාරෝපේක්ෂාවන් විදර්ශනා වශයෙන් උපදිත්ද? කවර දස ගෝත්රභූධර්ම විදර්ශනා වශයෙන් උපදිත්ද? මේ ප්රශ්නයන්ගේ විසඳුමෙහි සෝවාන් ඵලසමාපත්තිය සඳහා සකෘදාගාමි ඵල සමාපත්තිය සඳහා යයි වෙන් වෙන්ව කියන ලද්දේ නොවේද? එහෙයින් සියලුම ආර්යයෝ තම තමාගේ ඵලයට සමවදිතියි මෙහි නිෂ්ඨාවට යායුතුය.