10. ගෝත්‍රභූ ඤාණ නිර්දේශ වර්ණනාව
ගෝත්‍රභූ ඤාණ නිර්දේශයෙහි, අභිභුය්‍ය යනු මැඩපවත්වයි. ඉක්මවයි. බහිද්ධා සංඛාර නිමිත්තං යනු ස්වකීය සන්තානයෙහි පවත්නා අකුසල ස්කන්ධයෙන් පිටත වූ සංස්කාර නිමිත්ත. ලෞකික සංස්කාර වනාහි, කෙලෙසුන්ට නිමිති බැවින්ද, නිමිති ආකාරයෙන් වැටහෙන හෙයින් නිමිත්ත යයි කියති. අභිභුය්‍යතීති ගොත්‍රභූ යනු පෘථග්ජන ගෝත්‍රය මැඩපවත්වන හෙයින් ගෝත්‍රභූභාවය යූ.සේයි. පක්ඛන්‍දතීති ගොත්‍රභූ යනු ආර්ය ගෝත්‍රය වඩන හෙයින්ද, ගෝත්‍රභූභාවය යූ.සේයි. අභිභුයිත්‍වා, පක්ඛන්‍දතීති ගොත්‍රභූ යනු අර්ථද්වය කෙටිකොට යූ.සේයි. වුට්ඨාතීති ගොත්‍රභූ පෙරැළේ යන ශීර්ෂ පාඨයෙහි නැගිටීම් පෙරැළීම් පදානු රූපයෙන් පෘථග්ජන ගෝත්‍රය මැඩපවත්වන අර්ථයම යූ.සේයි. සමථ වශයෙන් කියන ලද ගෝත්‍රභූන්ගේ වනාහි, නීවරණාදී ගෝත්‍රයන් මැඩපවත්වන හෙයින්ද, ගෝත්‍රභූ යනු සෝවාන්ඵල සමාපත්ති සඳහායයි ආදීන්හි ෂට් සමාපත්ති වාරයන්හි උත්පාදාදී ගෝත්‍රයන් මැඩපවත්වන හෙයින් ගෝත්‍රභූයි, සකෘදාගාමි මාර්ග ප්‍රතිලාභය සඳහා යයි ආදී මාර්ග වාරයන්හි සෝවාන් ආදී ගෝත්‍රයන් මැඩපවත්වන හෙයින් ගෝත්‍රභූයයි අර්ථය දතයුතුය. මෙහි ගෝත්‍රාර්ථයෙහි බීජාර්ථය වැටේ. ප්‍රකරණයෙහි යූ.සේයි. නිර්වාණය සියලු උවදුරුවලින් ආරක්‍ෂා වී ඇති හෙයින් ගෝත්‍රයයි කියනු ලැබේ. එය පිළිපදීනුයිද ගෝත්‍රභූයි. උවදුරුවලින් ආරක්‍ෂා වී ඇති හෙයින් අට සමවත්ද ගෝත්‍රයි. ඒ ගෝත්‍රයට පිළිපදී (බසී) නුයි ගෝත්‍රභූයි යූ.සේයි. සතර මාර්ගයන්හිම ගෝත්‍රභූ නිවන අරමුණුකොට ඇත. සිව්ඵල සමාපත්තීන්ගේ ගෝත්‍රභූ, සංස්කාරාරම්මණ වූයේ, ඵල සමාපත්ති ප්‍රවණතාව බැවින් යයි කියති. විසුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය. එහි පැවති අනුපූර්ව විදර්ශනාව, සංස්කාරාරම්මණ ගෝත්‍රභූ ඤාණයන්ට අනතුරුව ඵලසමාපත්ති වශයෙන් නිරෝධයෙහි සිත පමුණුවයි. එහෙයින්ම මෙහි මාර්ග වාරයන්හි සොළොස්වෙනි කොටගත්, පිටත සංස්කාර නිමිති පදයෙහි සමාපත්ති වාරයන්හි සයවෙනි කොට ග්‍රහණය කරන ලදැයි දතයුතුය. අනෙක් අයුරින් මුල්පද ග්‍රහණයෙන් ගතයුතු වන්නේය.
අනෙකුත් අය, නිර්වාණයෙහි, යම් ප්‍රථම සිතා බැලීමක්, ප්‍රථම එක්තැන් කිරීමක් වේද? මෙය ගෝත්‍රභූයයි කියනු ලැබේයයි කියති. එය ඵලය සඳහා නොයෙදේ. ‘පණ්ණරස ගොත්‍රභූධමමා කුසලා’ යන මෙහි රහතන් වහන්සේට මැඩපැවැත්විය යුතු නීවරණ නොමැති හෙයින් පහසුවෙන්ම විතර්ක විචාරාදීන්ගේ ප්‍රහාණය කළයුතු හෙයින්ද මැඩපැවැත්වීම් අර්ථයෙන් ගෝත්‍රභූ නාමය සුදුසු නොවෙත්යයි කොට ගෝත්‍රභූන්ට අව්‍යාකෘතතාවක් නොකියන ලදැයි යූ.සේයි. ඵලසමවතට සමවදින රහතන් වහන්සේ විසින් සංස්කාරයන් මැඩ නොපවත්වා සමවදින්ට නොහැකිවේනුයි ගෝත්‍රභූ ධර්මත්‍රය අව්‍යාකෘතයයි යූ.සේයි. සමහරු මෙහි නොදක්වන ලද ආර්ය මාර්ගයන්ගේ වශයෙන් අෂ්ට සමාපත්ති තියුණු අවබෝධය සහිත යයි කියති. එහෙයින් අටසමවත් ගෝත්‍රභූ කුසල් වේ යයි කියති. සංස්කාරෝපේක්‍ෂායෙහිද එසේමය.
සාමිසං වා යනාදීන්හි වට්ටාමිස, ලොකාමිස, කිලෙසාමිසයන් අතර, කෙලෙසුන්ට ආහාර වශයෙන් සාමිසයි. තෘෂ්ණා සහිත බැවිනි. එය කිමෙක්ද? අටවැදෑරුම් සමථ ගෝත්‍රභූ ඤාණයයි. වට්ටාමිසං යනු ත්‍රෛභූමික වෘත්තමය ලොකාමිසං යනු පස්කම් ගුණයෝය. කිලෙසාමිසං යනු කෙලෙස්මය. නිරාමිසං යනු දසවැදෑරුම් ගෝත්‍රභූ ඤාණයයි. තෘෂ්ණා නොමැති හෙයිනි. ආර්යයෝ ගෝත්‍රභූ තෘෂ්ණා නොකරති. පොත්වල ‘සාමිසංචෙ’ යයි ලියති. එය සුන්දරතර නොවේ. එපරිද්දෙන්ම පණිහිත, අප්පණිහිත, සඤ්ඤුත්ත, විසඤ්ඤුත්ත, වුට්ඨිත, අවුට්ඨිත දතයුතුය. තෘෂ්ණා ප්‍රාර්ථනායෙහි පණිහිතං පිහිටියේ යයි අර්ථයි. එහි අභාවයෙහි අප්‍රණිහිතංයි තෘෂ්ණා සංයෝගයෙන්ම යුක්ත වූයේ සඤ්ඤුත්තංයි, එහි අභාවයෙන් විසඤ්ඤුතංයි. වුට්ඨිතං යනු විදර්ශනා ගෝත්‍රභූ ඤාණයමය. එය තෘෂ්ණාව සිඳින හෙයින් වුට්ඨිත නමැ. එහි අභාවය අවුට්ඨිත නමැ. පිටත නැගී සිටුනා හෙයින් හෝ වුට්ඨිතයි. ඵලගෝත්‍රභූහිද, නිර්වාණධ්‍යාශය වශයෙන් නිර්වාණාභිමුඛව වූ හෙයින්, පිටත සංස්කාර නිමිත්තෙන් නැගිටියේ නමැයි දතයුතුය. යට මැඩපැවැත්වීම් වශයෙන් නැගී සිටුනා, එයට පාරාම්මුඛ වූ හෙයින් මැඩපවත්වයි. නැගී සිටියි. පරාම්මුඛ වේයයි දතයුතුය. තිණ්ණං විමොක්ඛානං පච්චයා යනු ත්‍රිවිධ ලෝකෝත්තර විමෝක්‍ෂයන්ගේ, සමථ ගෝත්‍රභූ ද්වයට, පකති උපනිශ්‍රය ප්‍රත්‍යය වෙකි. විදර්ශනා ගෝත්‍රභූ ද්වයට අනන්තර, උපනිශ්‍රය ප්‍රත්‍යය වෙති. පඤ්ඤා යස්ස පරිචිතා යනු යමෙකුට පූර්වභාග ප්‍රඥාව පුරුදු කරන ලද්දේ, මනාව පුරුදු කරන ලද්දේ වේද? කුසලො විවට්ටෙ වුට්ඨානෙති නුමුලා වීම් වශයෙන් විවට්ට සංඛ්‍යාත ගෝත්‍රභූ ඤාණයෙහි කුසලතා ඇත්තේ, දක්‍ෂ වූයේ, පූර්වභාග ඤාණයෙන් හෝ නිපුණවූයේ, නානා දිට්ඨිසු න කම්පති යනු මුළුමනින් නැසීමෙන් ප්‍රහීණ වූ නානාප්‍රකාර දෘෂ්ටීන්හි කම්පා නොවේ.
ගෝත්‍රභූ ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
11. මාර්ගඤාණ නිර්දේශ වර්ණනාව
මාර්ග ඤාණ නිර්දේශයෙහි, මිච්ඡා දිට්ඨියා වුට්ඨාති යනු දෘෂ්ටි අනුසය ප්‍රහාණයෙන් මුළුමනින් නැසීම් වශයෙන් තෙසැටක් භේද වූ මිථ්‍යා දෘෂ්ටියෙන් නැගිටියි. තදනුවත්තක කිලෙසෙහි යනු මිථ්‍යාදෘෂ්ටිය හා එකට යෙදීම් වශයෙන්ද, මිථ්‍යා දෘෂ්ටිය ඇසිරි කිරීමෙන්ද, උපදිනු ලබන, මිථ්‍යා දෘෂ්ටියට අනුව පවත්නා වූ නොයෙක් ආකාර කෙලෙසුන්ගෙන්, ඉන් එහා පැවති කෙලෙස් ප්‍රහාණය යූ.සේයි. එකට පැවතීම දෙයාකාරය. හටගැන්මෙන් එකට පැවැත්ම හා ප්‍රහාණයෙන් එකට පැවැත්මයි. ඒ මිථ්‍යාදෘෂ්ටිය සමග එක් සිතක හෝ එක් පුද්ගලයෙකු කෙරෙහි හෝ ප්‍රහාණය තෙක් සිටියාහුද, එය ඒ හා සිටියාහු වෙති. මිථ්‍යා දෘෂ්ටිය ප්‍රහීණ වන කල්හි, මිථ්‍යා දෘෂ්ටිය හා යෙදුණු අසංඛාරික දෙසිත්හි ඒ දෘෂ්ටිය හා හටගත්, ලෝභ, මෝහ, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස්ද, සසංඛාරික දෙසිත්හි, ඒ දෘෂ්ටිය හා එකට හටගත්, ලෝභ, මෝහ, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් හටගැන්මෙන් එකට පැවතීම් වශයෙන් ප්‍රහීණ වෙති. දෘෂ්ටි කෙලෙසුන්ම ප්‍රහීණ වන කල්හි, ඒ සමග එක් පුද්ගලයෙකු කෙරෙහි පිහිටි අපාය ගමනීය ලෝභ, ද්වේෂ, මෝහ, මාන, විචිකිච්ඡා, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් ප්‍රහාණයෙන් එකට පැවතීම් වශයෙන් ප්‍රහීණ වෙයි. ඛන්‍ධෙහි යනු ඒ අනුව පවත්නා ස්කන්ධයන්ගෙන්, ඒ දෘෂ්ටිය අනුව පවත්නා සහජෙකට්ඨ හා ප්‍රහාණෙකට්ඨයන්හිද, සිව් අරූප ස්කන්ධයන්හි හා ඒ හා හටගත් රූපයන්හිද, පංචස්කන්ධයන්හිද, මිථ්‍යා දෘෂ්ටි ආදී කෙලෙස් ප්‍රත්‍යයෙන් අනාගතයෙහි ඉපදිය යුතු විපාක ස්කන්ධයන්ගෙන්, බහිද්ධාච සබ්බනිමිත්තෙහි යනු කියන ලද ආකාර කෙලෙස් ස්කන්ධයන්ගෙන්, පිටත වූ සියලු සංස්කාර නිමිතිවලින් මිච්ඡා සංකප්පා වුට්ඨාති යනු සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළයුතු, සිව් දෘෂ්ටි සම්ප්‍රයුක්තයන්හි හා විචිකිච්ඡා සහගත සිතද යන පඤ්ච චිත්තයන්හිද, අපායගමනීය සෙසු අකුසල චිත්තයන්හිද වූ මිථ්‍යා සංකල්පයෙන් නැගිටියි.