11. මාර්ගඤාණ නිර්දේශ වර්ණනාව
මාර්ග ඤාණ නිර්දේශයෙහි, මිච්ඡා දිට්ඨියා වුට්ඨාති යනු දෘෂ්ටි අනුසය ප්‍රහාණයෙන් මුළුමනින් නැසීම් වශයෙන් තෙසැටක් භේද වූ මිථ්‍යා දෘෂ්ටියෙන් නැගිටියි. තදනුවත්තක කිලෙසෙහි යනු මිථ්‍යාදෘෂ්ටිය හා එකට යෙදීම් වශයෙන්ද, මිථ්‍යා දෘෂ්ටිය ඇසිරි කිරීමෙන්ද, උපදිනු ලබන, මිථ්‍යා දෘෂ්ටියට අනුව පවත්නා වූ නොයෙක් ආකාර කෙලෙසුන්ගෙන්, ඉන් එහා පැවති කෙලෙස් ප්‍රහාණය යූ.සේයි. එකට පැවතීම දෙයාකාරය. හටගැන්මෙන් එකට පැවැත්ම හා ප්‍රහාණයෙන් එකට පැවැත්මයි. ඒ මිථ්‍යාදෘෂ්ටිය සමග එක් සිතක හෝ එක් පුද්ගලයෙකු කෙරෙහි හෝ ප්‍රහාණය තෙක් සිටියාහුද, එය ඒ හා සිටියාහු වෙති. මිථ්‍යා දෘෂ්ටිය ප්‍රහීණ වන කල්හි, මිථ්‍යා දෘෂ්ටිය හා යෙදුණු අසංඛාරික දෙසිත්හි ඒ දෘෂ්ටිය හා හටගත්, ලෝභ, මෝහ, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස්ද, සසංඛාරික දෙසිත්හි, ඒ දෘෂ්ටිය හා එකට හටගත්, ලෝභ, මෝහ, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් හටගැන්මෙන් එකට පැවතීම් වශයෙන් ප්‍රහීණ වෙති. දෘෂ්ටි කෙලෙසුන්ම ප්‍රහීණ වන කල්හි, ඒ සමග එක් පුද්ගලයෙකු කෙරෙහි පිහිටි අපාය ගමනීය ලෝභ, ද්වේෂ, මෝහ, මාන, විචිකිච්ඡා, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් ප්‍රහාණයෙන් එකට පැවතීම් වශයෙන් ප්‍රහීණ වෙයි. ඛන්‍ධෙහි යනු ඒ අනුව පවත්නා ස්කන්ධයන්ගෙන්, ඒ දෘෂ්ටිය අනුව පවත්නා සහජෙකට්ඨ හා ප්‍රහාණෙකට්ඨයන්හිද, සිව් අරූප ස්කන්ධයන්හි හා ඒ හා හටගත් රූපයන්හිද, පංචස්කන්ධයන්හිද, මිථ්‍යා දෘෂ්ටි ආදී කෙලෙස් ප්‍රත්‍යයෙන් අනාගතයෙහි ඉපදිය යුතු විපාක ස්කන්ධයන්ගෙන්, බහිද්ධාච සබ්බනිමිත්තෙහි යනු කියන ලද ආකාර කෙලෙස් ස්කන්ධයන්ගෙන්, පිටත වූ සියලු සංස්කාර නිමිතිවලින් මිච්ඡා සංකප්පා වුට්ඨාති යනු සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළයුතු, සිව් දෘෂ්ටි සම්ප්‍රයුක්තයන්හි හා විචිකිච්ඡා සහගත සිතද යන පඤ්ච චිත්තයන්හිද, අපායගමනීය සෙසු අකුසල චිත්තයන්හිද වූ මිථ්‍යා සංකල්පයෙන් නැගිටියි.
මිච්ඡා වාචාය වුට්ඨති යනු මුසාවාදයෙන්ද, අපායගමනීය, පිසුන, ඵරුස, සම්ඵප්පලාපයන්ගෙන්ද නැගිටියි. මිච්ඡා කම්මන්තා වුට්ඨාති යනු ප්‍රාණඝාත, අදින්නාදාන, මිච්ඡාචාරයන්ගෙන් නැගිටියි. මිච්ඡාජීවා වුට්ඨාති යනු නැතිගුණ පෙන්වීම, චාටුබස් කීම, ශුභාශුභ නිමිති කීම, අන් ගුණ සුණුවිසුණු කිරීම, ලාභයෙන් ලාභය සෙවීම හා ආජීව හේතුවූ සත්වැදෑරුම් කාය වාග් කර්මයන්ගෙන් නැගිටියි. මිථ්‍යා ව්‍යායාම, මිථ්‍යා සති, මිථ්‍යා සමාධීන්ගෙන් නැගිටීම මිථ්‍යා සංකල්ප වුට්ඨානයෙහි කියන ලද ආකාරයෙන්ම දතයුතුය. මිථ්‍යා සති යනු සිහියට විරුද්ධාකාරයෙන් උපදිනු ලබන අකුසල චිත්තොත්පාද මාත්‍රයමය. මතු මාර්ගත්‍රයයෙහි දර්ශනාර්ථයෙන් සම්මා දිට්ඨි යනාදී අට මාර්ගයන්ගෙන්, ප්‍රථමධ්‍යානිකයෝ ප්‍රථම ධ්‍යානයෙහිදී යම්සේ ලබත්ද, එසේම ලබති. එහි ප්‍රථම මාර්ගයෙහි සම්‍යග් දෘෂ්ටිය, මිථ්‍යා දෘෂ්ටිය දුරුකෙරේනුයි සම්‍යග් දෘෂ්ටියි. සම්‍යග් සංකල්පාදීහුද, මිථ්‍යා සංකල්පාදීන්ගේ දුරුකිරීමේ අර්ථයෙන්ම දතයුත්තාහ. මෙසේ ඇතිකල්හි, ප්‍රථම මාර්ගයෙන්ම දෙසැටක් දෘෂ්ටිගතයන්ගේ ප්‍රහීණ වූ හෙයින්, මතු මාර්ගත්‍රයයෙන් ප්‍රහාණය කළයුතු දෘෂ්ටියක් නම් නැත.
එහි ‘සම්මා දිට්ඨි’ යන නම කෙසේ වේද? යම්සේ විෂ ඇතියේ හෝ නොමැතියේ හෝ වේවා, බෙහෙත බෙහෙතමයැයි කියනු ලැබේ. මෙසේ මිථ්‍යා දෘෂ්ටිය ඇතියේ හෝ වේවා, නොමැතියේ හෝ වේවා මෙය සම්‍යග් දෘෂ්ටියම නමැ. ඉදින් එය නාම මාත්‍රයක්ම වේද? මතු මාර්ගත්‍රයයෙහි වනාහි සම්‍යග් දෘෂ්ටියෙහි කෘත්‍යය අභාවයට පැමිණේ. මාර්ගාංග සම්පූර්ණ නොකෙරේ. එහෙයින් සම්‍යග් දෘෂ්ටිය තම කෘත්‍යයන් කළයුතුය. මාර්ගාංග සම්පූර්ණ කළයුත්තාහුය. මෙහි තම කෘත්‍යයන් සම්‍යග් දෘෂ්ටි ලැබෙන අයුරින් දැක්විය යුත්තාහ. මතු මාර්ගත්‍රයයෙන් නැසිය යුතු එක් මානයක් ඇත. එය දෘෂ්ටි ස්ථානයෙහි සිටී. ඕ ඒ මානය දුරුකරන්නීනුයි සම්‍යග් දෘෂ්ටියි. සෝවාන් මාර්ගයෙහිදී සම්‍යග් දෘෂ්ටිය මිථ්‍යා දෘෂ්ටිය දුරුකරයි. සෝවාන් වූවහුට, සකෘදාගාමි මාර්ගයෙන් නැසිය යුතු මානයක් ඇත. ඒ මානය දුරුකෙරේනුයි සම්‍යග් දෘෂ්ටියි. එහිම සත් අකුසල් සිත් සමග එකට හටගත් සංකල්පයක් ඇත. ඒ සිත් සමග වාචාංග සෙලවීමක් ඇත. ශරීරාංග සෙලවීමක් ඇත. ප්‍රත්‍ය පරිභෝගය ඇත. සහජාත ව්‍යයාමය ඇත. සිහි නැති ස්වභාවය ඇත. එකට හටගත් සිතෙහි එකඟබව ඇත. ඒවා මිථ්‍යා සංකල්පාදීහු නමැ. සකෘදාගාමි මාර්ගයෙහි සම්‍යග් සංකල්පාදීහු, ඒවාහි ප්‍රහාණයෙන් සම්‍යග් සංකල්පාදීන් බවට පත්වේයයි දතයුත්තාහ. මෙසේ සකෘදාගාමි මාර්ගයෙහි අෂ්ටාංගයෝ ස්වකෘත්‍යකාරී වෙති. සකෘදාගාමීහුට අනාගාමි මාර්ගයෙන් නැසියයුතු මානය ඇත. එය දෘෂ්ටි ස්ථානයෙහි සිටියි. එහි සත් චිත්තයන් සමග එකට හටගත් සංකල්පාදීහු ඇත. ඒවාහි ප්‍රහාණයෙන් අනාගාමි මාර්ගයෙහි අෂ්ටාංගයන්ගේ තම කෘත්‍ය කරන ලදැයි දතයුත්තාහ. අනාගාමීහුට අර්හත් මාර්ග වධ්‍ය මානය ඇත. එය දෘෂ්ටි ස්ථානයෙහි සිටී. යම් ඒ පස්වැදෑරුම් අකුසල චිත්තයන් වන්නේද, ඒවා සමග හටගත් සංකල්පාදීහු ඇත. ඒවාහි ප්‍රහාණයෙන් අර්හත් මාර්ගයෙහි අෂ්ටාංගයන්ගේ ස්වකීය කෘත්‍ය කරන ලදැයි දතයුත්තාහ.