8. ආදීනව ඤාණ නිර්දේශ වර්ණනාව
ආදීනව ඤාන නිර්දේශයෙහි උප්පාදො යනු පූර්ව කර්ම ප්‍රත්‍යයෙන් මෙලොව ඉපැත්මයි. පවත්තං යනු උපන්නහුගේ සුදුසු පරිදි පැවැත්මයි. නිමිත්තං යනු සියලු සංස්කාර නිමිතියි. ආයූහනා යනු මත්තහෙි ප්‍රතිසන්ධියට හේතුභූත වූ කර්මයයි. පටිසන්‍ධි යනු මතු උපතයි. ගති යනු යම් ස්වභාවයකින් ඒ ප්‍රතිසන්‍ධි තොමෝ වන්නීද? නිබ්බත්ති යනු ස්කන්ධයන්ගේ හටගැන්මයි. උප්පත්ති යනු සමවන්නහුගේ හෝ පැමිණියහුගේයයි මෙසේ කියන ලද විපාක ප්‍රවෘත්තිය වන්නීය. ජාති යනු ජරාදීන්ට ප්‍රත්‍යය වූම භව ප්‍රත්‍යයෙන් වූ ජාතියයි. අවිශේෂයෙන් ගත් කල ඒ ඒ තන්හි උපදින සත්ත්වයින්ගේ යම් යම් ස්කන්ධ පහළ වේද? ඒවාහි ප්‍රථම පහළවීම ජාතියි. ජරා යනු කැඩුණු බවයයි පිළිගත් එක් භවයකට අයත් ස්කන්ධ පරම්පරාවේ පැවැත්මෙහි වන පැරණි බවයි. සොකො යනු ඤාති ව්‍යසනාදීන්ගෙන් පෙලුණහුගේ වන සිත් තැවීමයි. පරිදෙවො යනු ඤාති ව්‍යසනාදීන්ගෙන් පෙලුණහුගේ වාග් ප්‍රලාපයි. උපායාසො යනු විශාල කරදරය. ඤාති ව්‍යසනාදීන්ගෙන් පෙලුණහුගේ සිතේ දුකින් අතිශයින් වර්ධනය වූ, අධිමාත්‍ර ද්වේෂයමය. මෙහි උත්පාදාදී පංචකයම ආදීනව ඤාණයට වස්තු වශයෙන් කියන ලද්දීය. සෙස්ස ඒවාට සමාන වචන ලෙසිනි. නිබ්බත්ති ජාති යන මේ ද්වයය ඉපැත්මට ප්‍රතිසන්ධියට යෙදෙන සමාන වචනයි. ගති උප්පත්ති යන මේ ද්වයය පැවැත්මට, ජරාදීන්ට හේතුවන්නේය. එහෙයින් වදාළහ.
උප්පාදඤ්ච පවත්තඤ්ච - නිමිත්තං දුක්ඛන්ති පස්සති,
ආයූහනං පටිසන්‍ධිං - ඤාණං ආදීනවෙ ඉද’න්ති ච
ඉපැත්මද, පැවැත්මද යන කරුණු දුකයයි දකියි. රැස්කිරීම, ප්‍රතිසන්ධිය යන මෙය ආදීනව ඤාණයයි.
ආදීනවයෙහි ඤාණය ස්ථාන පහකදී හටගනී.
සියලු පදයන්හි භයන්ති මෙම වචනයෙහි භයං+ඉති යනුවෙන් පදච්ජෙදයි - භයං යනු පීඩා යෝගයෙන් භය සහිත බැවින් භයයි. ඉති යනු භය හටගන්නා කරුණු දැක්වීමයි.
අනුප්පාදො ඛෙමන්ති සන්තිපදෙ ඤාණං යන ආදිය වනාහි ආදීනව ඤාණයට විරුද්ධ ඤාණ දැක්වීම සඳහා කියන ලදී. භය වශයෙන් වැටහීමෙන් හෝ ආදීනව දැක තැතිගත් හෘදය ඇත්තවුන්ට, නිර්භය, ක්‍ෂෙම ආදීනව රහිත තත්වයන්ද තිබේයයි. ආශ්වාස ඇතිකරලීම පිණිස එය යූ.සේයි. යම් කරුණක උත්පාදාදීහු භය වශයෙන් මනාව වැටහුණාහු වෙත්ද? ඒ සඳහා ඊට විරුද්ධ ප්‍රවණතා සහිත සිතක් වේ. එහෙයින් බිය වශයෙන් වැටහීම සිදුවූ ආදීනව ඤාණයාගේ අනුසස් දැක්වීම සඳහා මෙය යූ.සේයි. අනුප්පාදො අප්පවත්ති මෙයින් නිර්වාණය දක්වයි. සන්තිපදෙ යනු ශාන්ති කොටසෙහි, නිර්වාණයෙහි යන අර්ථයි. ශ්‍රවණය කිරීම් වශයෙන්ම සන්තිපදං යන නාම මාත්‍රය ගෙන උපන් ඤාණයද සන්තිපදෙ, ඤාණයයි යූ.සේයි.
උප්පාදො භයං අනුප්පාදො ඛෙමං ආදිය විරුද්ධ ධර්මයන්ට විරුද්ධවීම් වශයෙන් ද්වයය කෙටිකොට, උපදිනු ලබන ඤාණය ගෙන යූ.සේයි. මෙහිද යමක් බිය ගෙන දේද, එය නියම වශයෙන්ම දුකකි. යමක් දුකද, එය සසරට අහරක්, ලොවට අහරක්, කෙලෙසුන්ට අහරක් යන තත්වයන්ගෙන් නොම්දුණ බැවින් සාමිසමය. යමක් සාමිසද එය සංස්කාර මාත්‍රයක්මය. එහෙයින් උපත දුකයයි බිය වශයෙන් වැටහෙන ප්‍රඥාව ආදීනවයෙහි ඤාණයයි යූ.සේයි. මෙසේ ඇතිකල්හිද බිය, දුක්, සාමිස, සංස්කාර ආකාරයෙන්දැයි යන ආකාරයන්ගේ වෙනස් භාවයෙන් පැවතීම් වශයෙන්ද මෙහි වෙනස්බව දතයුතුය. ‘උප්පාදො භයං, දුක්ඛං, සාමිසං සංඛාරා’ ආදියෙහි ඉපැත්ම ආදී ආකාර අපේක්‍ෂා නොකොට, ‘නෙතං ඛො සරණං ඛෙමං නෙතං සරණ මුත්තමං’ ආදීන්හි මෙන් තමාගේ ආකාරය අපේක්‍ෂාවෙන්ම කියන ලදී. ‘සංඛාරා’ යන්නෙහි ඒකත්වයක් අපේක්‍ෂා නොකොට ‘අප්පච්චයා ධම්මා අසංඛතා ධම්මා’ ආදීන්හි මෙන් බහුවචන කරන ලදී. උත්පාදාදීන්ගේ හෝ සංස්කාරාදීන්ගේ එක් කොටසක් බැවින් උත්තරෙ පඤ්චාලා ආදීන්හි මෙන් එක් දේශයක් වූවත්, බොහෝ දෙනෙකුන්ගේ ලෙසින් ගෙන බහුවචන කරන ලදැයි දතයුතුය. ඛෙමං, සුඛං නිරාමිසං නිබ්බාණං යනු නිර්වාණයම කියන ලද ආකාරයන්ට ප්‍රතිපක්‍ෂ වශයෙන් සිව් අයුරකින් යූ.සේයි. දස ඤාණෙ පජානාති යනු ආදීනව ඤාණය දැනගන්නේ, උත්පාදාදී පඤ්ච වස්තූන්ද, අනුත්පාදාදී පඤ්ච වස්තුවදැයි යන දස ඤාණයන් දැනගනියි. ප්‍රතිවේධ කරයි. සාක්‍ෂාත් කරයි. ද්වින්නං ඤාණානං කුසලතා යනු ආදීනව ඤාණයෙහිද, සන්තිපද ඤාණයෙහිද යන මේ ද්විඤාණයන්ගේ දක්‍ෂතාවයෙන්, නානා දිට්ඨිසු න කම්පති යනු විපරීත ක්‍රමයන්ගෙන් ලබන ඉහාත්ම භාව නිර්වාණාදී වශයෙන් පැවති දීෂ්ඨීන්හි කම්පා නොවෙයි.