71. මහා කරුණා ඤාණ නිර්දේශ වර්ණනාව
මහා කරුණා ඤාණ නිර්දේශයෙහි, බහුකෙහි ආකාරෙහි යනු දැන් කියනු ලබන එකුන් අනූ ආකාරයන්ගෙන්, පසසන්තානං යනු නැණැසින්ද, බුදුඇසින්ද බලනවුන්ට, ඔක්කමති බසියි, පිවිසෙයි. ආදිත්තො යනු දුක් ස්වභාව වශයෙන්, පීඩා යෙදීමෙන් තැවීම් අර්ථයෙන් ඇවිලිණි. ‘යමක් අනිත්යයද, එය දුකයැයි කියන ලද හෙයින්, සියලු සංඛතයාගේම දුක් ස්වභාව වශයෙන් පීඩිත වූ හෙයින් දුකටද, කරුණාවටද මුල්වූ හෙයින් පළමුව දුක් ස්වභාව වශයෙන් ඇවිළුණේ යයි කියන ලදැයි දතයුතුය. රාගාදීන්ගෙන් ඇවිළුණු ස්වභාවය මත්තෙහි කියයි. නොහොත්, ආදිත්තො යනු රාගාදීන්ගෙන්ම ඇවිළුණේය. මත්තෙහි එයට අන්කිසි නිවීමක් නැතැයි අන්තය බැලීම් වශයෙන් නැවත කියන ලදැයි දතුයුතුය. ලොක සන්නිවාසො යනු පංචස්කන්ධය විනාශවීම් අර්ථයෙන් ලෝක නමැ. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මෙහි සත්ත්වයෝ වෙසෙත්නුයි සන්නිවාසයි. ලෝකයද සන්නිවාසයද එයමනුයි ලොකසන්නිවාසොයි. දුක්විඳින ස්කන්ධ පරම්පරාව දැඩිසේ ගෙන සත්ත්ව ව්යවහාරය යෙදෙන හෙයින් ලෝක සන්නිවාස යෝගයෙන් සත්ත්ව සමූහයද ලොක සන්නිවාසොයි. එයද ස්කන්ධ සහිතවමය. උය්යුත්තො යනු නොයෙක් කෘත්යයන්හි නිතර උත්සාහවත් වන හෙයින් කළ යෝග ඇත්තේ කළ උත්සාහ ඇත්තේ, නිතර කෘත්යයන්හි මනාව යෙදුණේයයි යනු කඳු මුදුන්හි සරන ගංගා මෙන් චංචල වූ ගමනින් මරණයට යන්ට අරඹන ලදි. කුම්මග්ග පටිපන්නො යනු පිළිකුල් මිථ්යා මාර්ගයට පිළිපන්නේ, මත්තෙහි වනාහි විපථ පටිපන්නොයි නොයෙක් පදයන්ගෙන් වෙසෙසා යූ.සේයි.
උපනීයති යනු දිරීම් වශයෙන් මරණයට පමුණුවයි. ගෙනයයි දිරීම වනාහි ආයුෂයාගේ හැකිළීමයයි යූ.සේයි. අද්ධුවො යනු ස්ථිර නොවේ. හැමකල්හි එක් ආකාරයකින් නොවේ. යම්හෙයකින් ස්ථිර නොවේද? එහෙයින් පමුණුවයි යනු එය ප්රථම වචනයට හේතුවචනයයි. එයින් කරුණු සහිත ජරා දුක යූ.සේයි. එම ජරා දුක දැක, ජරාවෙන් දිරායාම් රහිත නැණවත්හු පැවිදිවෙති. අතාණො යනු රකින්ට, ආරක්ෂා කරන්ට සමර්ථතායෙන් රහිත වූයේ අනාරක්ෂකයයි යූ.සේයි. අනභිස්සරො යනු මනාව සිහිකොට, ඉදිරියට ගොස්, ප්රකාශ කිරීමෙන්, සැනසවීමට අපොහොසත් වූයේ, සහායකයෙක් නොමැතියේ යන අර්ථයි. රැකවරණයක් නොමැතියේද එහෙයින් අතාණ යනු පළමු වචනයට එය හේතු වචනයකි. එයින් කරුණු සහිතව ප්රිය විප්රයෝග දුක යූ.සේයි. එම ප්රිය විප්රයෝග දුක දැක ඤාති ව්යසන රහිතවද නැණැතියෝ පැවිදි වෙති. අස්සකො යනු තම සතු කිසි ද්රව්යොපකරණයක් රහිත වූයේ, සබ්බං පහාය ගමනීයං යනු තම සතු භාණ්ඩයැයි සැලකූ සියල්ල හැර ලොවින් යා යුතුය. යම්හෙයකින් සියල්ල හැර යායුතුද එහෙයින් අස්සකො යන එය පළමු වචනයට අදාළ වේ. (න+සක = අස්සක) එයින් හේතු සහිත මරණ දුක යූ.සේයි. එය දැක භෝග ව්යසන රහිතවද, නැණැතියෝ පැවිදි වෙති. අනෙක් අර්ථයෙක්හි, මානවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහුයයි යූ.සේයි. මෙහිද රට්ඨපාල සූත්රයෙහිද ස්වකීය නුවූ ලෝකයැයි යූ.සේයි. එය කෙසේ යෙදේද යත්? හැරයාම සඳහා අස්සකයැයි යූ.සේයි. කර්මය නොහැර යා යුතුය. එහෙයින් කර්මය ස්වකීයයැයි යූ.සේයි. රට්ඨපාල සූත්රයෙහිද එය එසේම යූ.සේයි. ‘නුඹ කම් වූ පරිද්දෙන් යන්නෙහි? ඌනො යනු සම්පූර්ණත්වය රහිත, අතිත්තො යනු වඩ වඩා ප්රාර්ථනා කිරීමෙහිද තෘප්තියට පත්නුවූයේ, මෙය ඌනතාවයට හේතු වචනයයි. තණ්හාදාසො යනු තෘෂ්ණාවගේ වසඟයෙහි පවත්නා හෙයින් තෘෂ්ණාවට දාස වූයේ. මෙය අතෘප්තිමත් භාවයට හේතු වචනයයි. එයින් කැමැතිවීම් රෝගය පෙන්වීමෙන් හේතුසහිත ව්යාධි දුක යූ.සේයි. එම ව්යාධි දුක දැක ව්යාධි ව්යසන රහිතවද නැණැතියෝ පැවිදි වෙති. අතායනො යනු පුත්රාදීන්ගෙන්ද, ආරක්ෂාව නොමැති හෙයින් අතායනයි, අනාරක්ෂිතයි. ක්ෂෙම නොලැබිය හැකිය යන අර්ථයි. අලෙණො යනු ඇලෙන්ට, ඇසුරුකරන්ට නුසුදුසු වූයේ ඇලුණවුන්ටද ආරක්ෂා කටයුතු නොකරන හෙයින්ද අසරණො යන නිශ්රිතයන්ගේ භය ඉවතට ගෙන නොයනුයේ, භය විනාශ නොකරනුයේ අසරණීභූතො උපතට පෙර තමාගේ අභාවයෙන්ම අසරණ වූයේ, උපත හා සම කාලයෙහිම අසරණ වූයේ යයි අර්ථයි.