72-73. සර්වඥතා ඤාණ නිර්දේශ වර්ණනාව
සබ්බඤ්ඤුත ඤාණ නිර්දේශයෙහි, කතමං තථාගතස්ස සබ්බඤ්ඤුත ඤාණං යයි විචාරා ඒ හා සම ස්වභාව හෙයින් ඒ සමගම අනාවරණ ඤාණය දක්වන ලදි. අනාවරණ ඤාණය ස්වභාව වශයෙන් වෙන්ව නැත. එකම ඤාණය ආකාර භේදයෙන් දෙයාකාරයෙන් යූ.සේයි. ශ්රද්ධා ඉන්ද්රිය, ශ්රද්ධාබල ආදීන් මෙනි. සර්වඥතා ඤාණයම, එයට ආවරණයක් නැත්තේනුයිද, කිසි ස්වභාවයකින් හෝ පුද්ගලයෙකු විසින් හෝ ආවරණ කරන්ට නොහැකි හෙයින් අනාවරණයයි යූ.සේයි. සියලු ධර්මයන්ගේ ආවර්ජන ප්රතිබද්ධ හෙයිනි. අන්යයෝ වනාහි ආවර්ජනා කොටද නොදනිති. සමහරු කීහ. සියල්ල අරමුණු කළහැකි හෙයින් සර්වඥතා ඥානය මනො විඤ්ඤාණය මෙනි. එම ඤාණයම උසස් දියමන්තියක් මෙන් විෂයයන්හි නොගැටෙන හෙයින් අනාවරණ ඤාණයයි. සර්වඥතා ඥානය අනුපූර්ව සර්වඥතාව ප්රතික්ෂිප්තය. අනාවරණ ඤාණය සකිං සබ්බඤ්ඤුතාව ප්රතික්ෂිප්තය. භාග්යවතුන් වහන්සේ සර්වඥතා ඥාන ප්රතිලාභයෙන් සර්වඥයයි යූ.සේයි. අනුපූර්ව සර්වඥ නොවේ. අනාවරණ ඤාණ ලාභයෙන්ම සර්වඥයැයි යූ.සේයි. සකිං සර්වඥ නොවේ.
සබ්බං සංඛත මසංඛතං අනවසෙසං ජානාති යන මෙහි සබ්බං ජාති වශයෙන් සියලු ධර්මයන්ගේ ශේෂ රහිත ගැනීමයි. අනවසෙසං යනු එක් එක් ධර්මයාගේ සියලු ආකාර වශයෙන් ශේෂ රහිතව ගැනීමයි. සංඛත මසංඛතං යනු සංඛත යන්නෙහි දෙයාකාර ප්රභේද දැක්වීමයි. ප්රත්යයන් එක්ව කරන ලද සංඛතය, ස්කන්ධ පංචකය එක් ප්රභේදයකි. එසේ සංඛත තත්ත්වයට පත්නුවූයේ අසංඛතංයි. නිර්වාණයයි. සංඛතය අනිත්ය දුක්ඛ අනාත්මතාදී ආකාරයන්ගෙන් ශේෂ රහිතව දනියි. අසංඛතය සුඤ්ඤත අනිමිත්ත අප්රණිහිතාදී ආකාරයන්ගෙන් ශේෂ රහිතව දනියි. ඒ සංඛතයට හා අසංඛතයට ශේෂයක් නැත්තේනුයි අනවශේෂයි. සංඛතය හා අසංඛතය නොයෙක් ප්රභේද වූද, ප්රඥප්තිය ප්රත්යයන්ගෙන් නොකළ හෙයින් අසංඛත පක්ෂය භජනය කරයි. සර්වඥතාඤාණය වනාහි සියලු ප්රඥප්තීන් නොයෙක් භේද වශයෙන් දනියි. නොහොත් සබ්බං යනු සියලු ධර්මයන්ගේ ග්රහණයයි. අනවසෙසං යනු ශේෂ රහිතව ගැනීමයි. තත්ථ ආවරණං නත්ථීති යනු එහි එම ශේෂ රහිත සංඛතා සංඛතයන්හි ඇලීම් නැති හෙයින් සර්වඥතා ඥානයට ආවරණ නැත්තේනුයි එම සර්වඥතා ඥානයම අනාවරණ ඤාණ නමැයි අර්ථයි.
දැන් නොයෙක් විෂය භේද වශයෙන් දක්වන්ට, අතීතං යනාදිය වදාළහ. එහි අතීත, අනාගත, වර්තමාන යන කාලභේද වශයෙන් දක්වන ලදි. චක්ඛුඤ්චෙව රූපාච ආදිය වස්තු අරමුණු භේදයෙන්, එතං සබ්බං යනු ඒ චක්ෂු රූපාදීන්ගේ ශේෂරහිතව ගැන්මයි. සෙස්සෙහිද මෙසේය. යාවතා යනු ශේෂරහිතව ගැනීමයි. අනිච්චට්ඨං යන ආදිය සමාන ස්වභාව ලක්ෂණ භේදයෙන් දක්වන ලදි. අනිච්චට්ඨං යනු අනිත්යාකාරයයි. ප්රථමාර්ථයෙහි ද්විතියා වචනයි. ඒ ආකාරයන්හි එම ක්රමයමැයි. රූපස්ස යනු ස්කන්ධ භේදයෙන් දක්වන ලදී. චක්ඛුස්ස -පෙ- ජරා මරණස්ස යනු යට කියන ලද පෙය්යාලයෙන් යෙදිය යුතුය. අභිඤ්ඤාය යනු යට කියන ලද ඤාණයෙන්ම, අභිඤ්ඤට්ඨං යනු දැනගන්නා ස්වභාවය. ඒ ආකාරයන්හි එම ක්රමයමැයි. ඛන්ධානං ඛන්ධට්ඨං ආදිය යට කියන ලද ක්රමයෙන්ම දතයුතුය. කුසලෙ ධම්මෙ යන ආදිය කුසලත්රික වශයෙන් භේදයයි. කාමාවචර ධම්මෙ යන ආදිය සිව් භූමි වශයෙනි. දෙ අයුරින්ම සබ්බෙ ජානාති යන මෙහි බහුවචන පාඨය වඩා යහපත්ය. ඒකවචන ස්රොතයෙහි වැටුණු හෙයින් පොත්වල ඒකවචනයෙන් ලියන ලදි. දුක්ඛස්ස යන ආදිය තුදුස් බුද්ධ ඤාණයන්ගේ විෂය භේදයයි. ඉන්ද්රිය පරොපරියත්තෙ ඤාණං යනාදී සිව් ඤාණයන් කියා, සර්වඥතා ඥානය කවර හෙයින් නොකියන ලද්දේද යත්? කියනු ලබන කල්හි, සර්වඥතා ඥානත්වයෙහි විෂය භේදවන හෙයින්, සර්වඥතා ඥානය කියන කල්හි එම ඤාණය නොකිව යුතු වෙයි. සර්වඥතා ඤාණය වනාහි සර්වඥතා ඤාණයටම විෂය වේ.
නැවත කාලාකාරම සූත්රාදීන්හි කියන ලද ක්රමයෙන්ම සර්වඥතා ඤාණ භූමි දක්වන්නේ ‘යාවතා සදෙවකස්ස ලොකස්ස’ යනාදිය දෙසූහ. එහි දෙවියන් සහිත වූයේ සදෙවකස්සයි මාරයා සමග වූයේ සමාරකස්සයි. බ්රහ්මයා සමග වූයේ සබ්රහ්මකස්සයි. සමණ බ්රාහ්මණයන් සහිත ලෝකයාගේ, දෙව් මිනිසුන් සහිත වූයේ සදෙව මනුස්සාය යි. ප්රජාවගේ, ප්රජාවට අයත් බැවින් පජා යනු සත්ත්ව ලෝකයට එය සමාන වචනයකි. එහි සදෙවක වචනයෙන් පඤ්ච කාමාවචර දේව සමූහයයි. සමාරක වචනයෙන් ෂට් කාමාවචර දේව සමූහයයි. සබ්රහ්මක වචනයෙන් බ්රහ්ම කායිකාදී බ්රහ්ම ගහණයයි. සස්සමණ බ්රාහ්මණී වචනයෙන් සාසනයට විරුද්ධ, පසමිතුරු ශ්රමණ බ්රාහ්මණ සමූහයයි. සංසිඳවූ පාපයන් ඇති, යටපත් කළ පාපයන් ඇති ශ්රමණ බ්රාහ්මණ සමූහයාද ගැනේ. ප්රජා වචනයෙන් සත්ත්ව ලෝක සමූහයයි. සදෙව මනුස්ස වචනයෙන් සම්මුති දෙවිවරුද, සෙසු මිනිස් සමූහයාද වේ. මෙසේ මෙහි තෙපදයන්ගෙන් අවකාශ ලෝකයද, දෙපදයකින් ප්රජා වශයෙන් සත්ත්ව ලෝකය ගන්නා ලදි.