70. යමක ප්‍රාතිහාර්ය ඤාණ නිර්දේශ වර්ණනාව
යමක ප්‍රාතිහාර්ය ඤාණ නිර්දේශයෙහි, අසාධාරණං සාවකෙහි යනු සෙසු ශ්‍රාවක අසාධාරණ ඤාණ නිර්දේශයෙහි අන්‍ය වචනයන්ගෙන් අවකාශ අභාව හෙයින් නොයූ.සේයි. මෙහි වනාහි අන්‍ය වචන අභාව හෙයින් යූ.සේයි. උපරිමකායතො යනු ශරීරයෙහි නාභියෙන් මතුයෙහි, අග්ගික්ඛන්‍ධො පවත්තති යනු තේජෝ කසිණ අරමුණු කොට, පාදක ධ්‍යානයට සමවැද නැගිට, මතු ශරීරයෙන් ගිනිදැල් නැගී සිටීවායි ආවර්ජනය කොට පරිකර්මකොට අභිඥා ඤාණයෙන් මතු කයින් ගිනිදැල් නැගී සිටීවායි අධිෂ්ඨාන කළ කල්හි අධිෂ්ඨානය සමග මතු කයින් ගිනිදැල් නැගී සිටියි. ඕ වනාහි රාශ්‍යර්ථයෙන් ඛන්‍ධයැයි යූ.සේයි. හෙට්ඨිම කායතො යනු නාභියෙන් යට ශරීරයෙන්, උදකධාරා පවත්තති යනු ආපො කසිණාරම්මණ පාදක ධ්‍යානයට සමවැද නැගිට යමකයෙන් දියදහරා නැගී සිටීවායි, ආවර්ජනය කොට, පරිකර්ම කොට අභිඥා ඤාණයෙන් යට කයෙන් දියදහරා නැගී සිටීවායි අධිෂ්ඨාන කළ කල්හි, අධිෂ්ඨානය සමගම යට කයෙන් දියදහරා නැගී සිටියි. ද්විපාර්ශ්වයෙන්ම නොසිඳීම් වශයෙන්ම පවතීයයි යූ.සේයි. අධිෂ්ඨානයෙහිද, ආවර්ජනයෙහිද, අතරත භවංග චිත්තද්වයයක් පවතී. එහෙයින්ම යුගලව ගිනිකඳ හා දියදහරා පවතිත්. අතරක් නොපෙනේ. අන්‍යයන්ට වනාහි භවංග පිරිසිඳීමක් නැත. පුරත්‍ථිමකායතො යනු ඉදිරිපසින්, පච්ඡිම කායතො යනු පසුපසින්, දක්ඛිණ අක්ඛිතො වාම අක්ඛිතො යන ආදිය සමාස පාඨයමය. අනෙකක් නොවේ. දකුණු නාස්පුඩුවෙන්, වම්නාසා පුඩුවෙන් යයි පාඨය සුන්දරය. හ්‍රස්ව කොටද කියවති. අංසකූටතො යනු මෙහි ඉහළ නැගි අර්ථයෙන් කුළක් මෙනැයි කූටොයි. උරහිසම කුළක් වූයේ අංසකූටයි. අංගුලංගුලෙහ එකෙකි ඇඟිල්ලෙන්, අංකුලන්තරිකාහි යනු ඇඟිලි අතරින් එකෙක ලොමතො අග්ගික්ඛන්‍ධො පවත්තති එකෙක ලොමතො උදකධාරා පවත්තති යනු දෙඅයුරින්ම ආමෙණ්ඩිත වචනයෙන් සියලු ලෝමයන්ගේ හාත්පසින් ගැනීම කළ හෙයින්, එක එක ලෝමයෙන්ම ගිනිකඳ, දියදහර යුගල යුගලව පවත්වතියි යූ.සේයි. ලෝම (රෝම) කූපයෙන්, ලෝමකූපයෙන් දියදහර පවත්වයි යන මෙහිද එම ක්‍රමයමැයි. සමහර පුස්තකයන්හි එක් එක් ලෝම (රෝම)යෙන් ගිනිකඳ පවත්වයි. ලෝමකූපයෙන් ලෝමකූපයෙන් දියදහර පවත්වයි. ලෝම කූපයෙන්, ලෝමකූපයෙන් ගිනිකඳ පවත්වයි. එක් එක් ලෝමයෙන් දියදහර පවත්වයි යයි ලියන ලදි. එයද යෙදේමය. ප්‍රාතිහාර්යයාගේ ඉතා සියුම් බව දක්වන හෙයින් ප්‍රථම පාඨයම වඩා සුන්දරය.
දැන් ඡන්නං වණ්ණානං යනු යට, මතුකයෙන් යැයි ආදී නොයෙක් ආකාරයන්ගෙන් ශරීරාවයව යූ.සේයි. ඒ ශරීරාවයව සම්බන්ධව පවත්වයි යන වචන සම්බන්ධයෙන් යමක ප්‍රාතිහාර්යාධිකාරයෙන්ද, ෂට් වර්ණයන්ගේ, ශරීරාවයව වූ, රශ්මීන් යුග්මවැ පවතිත්යැයි යූ.සේයි. ෂෂ්ඨි වචන සම්බන්ධයෙන්ද, ඒකාන්තයෙන් රශ්මීහුයැයි පාඨශේෂ කැමැති විය යුතුය. නීලානං යනු නිල්වන් උම්මා පුෂ්ප වර්ණයන්ගේ, පීතකානං යනු කිණිහිරි පුෂ්ප වර්ණයන්ගේ, ලොහිතකානං යනු උඳුගොව් වර්ණයන්ගේ, ඔදාතානං යනු ඔසධී නමැති තාරක වර්ණයන්ගේ මඤ්ජිට්ඨානං යනු මඳ රත් වර්ණයන්ගේ, පභස්සරානං යනු ඉතා බබළන ප්‍රකෘතික වර්ණයන්ගේ, ප්‍රභාස්වර වර්ණය වෙන්ව අවිද්‍යමාන වූයේද, කියන ලද පංච වර්ණයන්හි, යම් යම් ආලෝක බබළනුයේද, ඒ ඒ ආලෝක ප්‍රභාස්වර නමැ. එසේමැයි. යමක මහා ප්‍රාතිහාර්ය කරන්නා වූ, තථාගතයන් වහන්සේට, යමක මහා ප්‍රාතිහාර්ය බලයෙන්ම, කෙහෙ, රැවුල්, අක්‍ෂි ආදී නිල් ස්ථානයන්ගෙන් නිල් රශ්මීහු නික්මෙති. අහස්තලය අඳුන් සුණු විසුරුවන ලද්දක් මෙන්ද, නිල්පැහැති උම්මා පුෂ්ප හා නිලුපුල් පෙතිවලින් වැසුණාක් මෙන්ද, සෙලවී වැටෙන මැණික් තල් නටුවක් මෙන්ද, විසුරුවන ලද මොණර ඇස් පිලෙන් තැනූ වස්ත්‍රයක් මෙන්ද වේ. චර්මයෙන්ද, අක්‍ෂීන්ගේද කහපැහැති ස්ථානයන්ගෙන් කහ රශ්මීහු නික්මෙති. දිසා ප්‍රදේශ රන්රස විසුරුවන්නාක් මෙන් රන් වස්ත්‍ර දිගහරින ලද්දාක් මෙන්ද කොකුම් චූර්ණ කිණිහිරි මලින් ගැවැසී ගත්තාක් මෙන්ද බබළති. මස් ලේ හා අක්‍ෂන්හි රත් ස්ථානයන්ගෙන් ලෝහිත(රත්) රශ්මීහු නික්මෙති. යමකගේ වශයෙන් දිසා ප්‍රදේශ රත්සිරියල් චූර්ණයෙන් වර්ණගැන්වූ ආකාරයෙන්, මනාව ඉදුණු, දියකළ ලාකඩ රස ඉසින්නාක් මෙන්, රත් කම්බිලියකින් වටකළාක් මෙන්ද, දෑසමන් එරබදු වද යන මල්වලින් ගැවසී ගත්තාක් මෙන්ද, බබළති. අස්ථීන්ගෙන්ද, දන්තයන්ගෙන්ද, නේත්‍රයන්හි ශ්වේතස්ථානයන්ගෙන් ශ්වේත රශ්මීහු නික්මෙති. යමකගේ වශයෙන් දිශා ප්‍රදේශ රිදී පර්වත මුදුන්වලින් ඉසිනු ලබන ක්‍ෂීරධාරා ගැවසී ගත්තාක් මෙන්ද, දිගහරින ලද රිදී තහඩු වියනක් මෙන්ද, පතිතවන රිදී තල් නැටි මෙන්ද, කොඳ, සුදු මානෙල්, නික, සමන්, දෑසමන් ආදී පුෂ්පයන්ගෙන් ගැවසී ගත්තාක් මෙන්ද බබළති. අත්ල, පතුල ආදී මඳ රත් ස්ථානයන්ගෙන් මදටිය පැහැති රශ්මීහු නික්මෙති. යමකගේ වශයෙන් දිසා ප්‍රදේශ පබළු දැලකින් වටකළාක් මෙන්ද, රතු කටුකරඬු විසිරවූවා මෙන්ද බබලති. සියුම් රෝම නිය ආදී ප්‍රභාස්වර ස්ථානයන්ගෙන් ප්‍රභාශ්වර රශ්මීහු නික්මෙති. යමකගේ වශයෙන් දිසා ප්‍රදේශ දවහත් තරු රාශියකින් පිරුණාක් මෙන්ද විදුලි පටලයකින් පිරුණාක් මෙන්ද බබළති.