7. භංගානුපස්සනා ඤාණ නිර්දේශ වර්ණනාව
උදයව්‍යයානුපස්සනාවෙහි සිටි ඒ යෝගාවචර තෙමේ, මාර්ගා මාර්ගව්‍යවස්ථාපනයෙන් කෙලෙසුන්ගෙන් මුක්ත, වීථි පිළිපන්, උදය්‍යයානුපස්සනා ඤාණය මාර්ගයයි දැන, තිලකුණු සලකා බැලීමෙන් එම මාර්ගයාගේම මනාව පැහැදිලි කිරීම සඳහා නැවත උදයව්‍යයානුපස්සනාව අරඹා, උදයව්‍යයෙන් පිරිසිඳ දත් සංස්කාරයන් අනිත්‍යාදී වශයෙන් විදර්ශනා කරයි. මෙසේ ඔහුට ඒ ඤාණය තීක්‍ෂණව උසුලයි. සංස්කාර සැහැල්ලුව වැටහෙයි. ඤාණය තීක්‍ෂණව උසුලන කල්හි සංස්කාරයන් සැහැල්ලුව වැටහෙන කල්හි, උත්පාදය ඉක්මවා භංගයෙහිම සිහිය පිහිටයි. නිවනෙහි තදින් ඇලුණු බැවින් උදය අත්හැර භංගයෙහිම සිහිය ගෙනැවිත් තබයි. මෙතැන්හි භංගානුපස්සනා ඤාණය උපදියි. දැන් ඒ ඤාණ නිර්දේශයෙහි, රූපාරම්මණතා චිත්තං උප්පජ්ජිත්‍වා භිජ්ජති යනු රූපාරම්මණ සිත ඉපිද බිඳෙයි. නොහොත්, රූපාරම්මණ භාවයෙහි සිත ඉපිද බිඳේයයි අර්ථයි. තං ආරම්මණං පටිසංඛා යනු ඒ රූපාරම්මණය නුවණින් දැන, ක්‍ෂය ව්‍යය වශයෙන් දැක යන අර්ථයි. තස්ස චිත්තං භංගං අනුපස්සති යනු යම් සිතකින් ඒ රූපාරම්මණය ක්‍ෂය, ව්‍යය වශයෙන් දුටු ඒ සිතෙහි භංගය අනෙක් සිතකින් නුවණින් දකී යන අර්ථයි. එහෙයින් පෞරාණිකයෝ කීහු:- ‘දත් දෑද, ඤාණයද යන ද්වයය නුවණින් බලයි. චිත්තං යනු මෙහි ඤාණ සම්ප්‍රයුක්ත සිත අදහස් කරන ලදී.
අනුපස්සති යනු නැවත නැවත බලයි. නොයෙක් ආකාරයන්ගෙන් නැවත නැවත බලයි යන අර්ථයි. එහෙයින් කීහු: අනුපස්සති යනු කෙසේ අනුපස්සනා කෙරේද? අනිත්‍ය වශයෙන් අනුව බලයි. භංගය නම් අනිත්‍යතාවගේ අන්තිම කෙළවරයි. එහෙයින් ඒ භංගානුපස්සනා යෝගාවචර තෙමේ රූපයන්ට ඇතුළත් සියල්ල අනිත්‍ය වශයෙන් නැවත නැවත බලයි. නිත්‍ය වශයෙන් නොබලයි. ඉක්බිති අනිත්‍යයාගේ දුක්ඛතාව බැවින්ද, දුක්ඛයාගේ අනාත්මතාව බැවින්ද, එයම දුක් වශයෙන් නැවත නැවත බලයි. ආත්ම වශයෙන් නොබලයි. යමක් අනිත්‍යද දුකද අනාත්මද එයට සතුටු නෙවිය යුතුය. යමක් සතුටු නොවිය යුතුද? එහි නොඇලිය යුතුය. එහෙයින් ඒ භංගානුපස්සනා අනුසාරයෙන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මයැයි රූපයන්ට අයත් දෑ කෙරෙහි කළකිරේ. සතුටු නොවේ. නොඇලේ. ඇල්ම නොකරයි. හෙතෙම මෙසේ නොඇලෙන්නේ, පළමුව ලෞකික ඤාණයෙන්ම ඇල්ම නිරුද්ධ කරයි. හට නොගන්වයි. හටගැනීම නොකරයි යන අර්ථයි. හෙතෙම මෙසේ නොඇලුණේ රූපයන්ට අයත් දෑ, දුටු පරිදි, එසේම නොදිටියෙහිද, ඤාණ පිළිවෙළ අනුව නිරුද්ධ කරයි. හට නොගන්වයි. නිරෝධ වශයෙන්ම මෙනෙහි කරයි. එහි නිරෝධයම දකියි. හටගැනීම නොවේ යන අර්ථයි. හෙතෙම මෙසේ පිළිපන්නේ අත්හරියි. නොගනියි. කුමක් කියන ලද්දේද යත්? මේ තෙමේ අනිත්‍යාදී අනුපස්සනාවෙන් ස්කන්ධ, අභිසංඛාරයන් සහිත, කෙලෙසුන්, තදංග වශයෙන් අත්හැර දමන හෙයින් ප්‍රත්‍යයෙන් හටගත් දෑහි, දොස් දර්ශනයෙන්ද, ඊට විපරීත නිර්වාණයෙහි, ඊට නිම්නතාවයෙන් පරිත්‍යාග වශයෙන් අත්හැරීම යයිද, ඇතුළට වැදීම් වශයෙන් අත්හැරීම යයිද යූ.සේයි. එහෙයින් එයින් යුක්ත භික්‍ෂුව කියන ලද ක්‍රමයෙන් කෙලෙසුන්ද අත්හැර දමයි. නිර්වාණයෙහිද ඇතුළට වදියි. ඉපදීම් වශයෙන් කෙලෙස් නොගනියි. දොස් රහිත බව දැක්වීම වශයෙන් සංඛතාරම්මණද නොවේ. එහෙයින් අත්හරියි. නොගනියි යයි යූසේයි.
දැන් ඔහුට එම ඤාණයන්ගෙන්, යම් ධර්මයන්ගේ ප්‍රහාණය වේද, එය දක්වන්ට ‘අනිච්චතො අනුපස්සන්තො නිච්ච සඤ්ඤං පජහති, ආදිය වදාරන ලදී. එහි නන්‍දි යනු ප්‍රීතිසහගත තෘෂ්ණාවයි. රාගං යනු සෙසු තෘෂ්ණාවයි. සමුදයං යනු රාගයෙහි ඉපැත්මයි. නොහොත් රූපගතයාගේ පහළවීමයි. ආදානං යනු ඉපදීම් වශයෙන් කෙලෙසුන්ගේ අල්ලා ගැනීමයි. වෙදනාරම්මණතා ආදිය මෙහිද, යටද කියන ලද ක්‍රමයෙන්ම දතයුත්තාහ.
ගාථාවන්හි වනාහි වත්‍ථු සංකමනා යනු රූපාදී එකිනෙකෙහි භංගය දැක, නැවත යම් සිතකින් භංගය දිටීද එම චිත්තයාගේද, භංගය දැකීම් වශයෙන් පූර්ව වස්තුවෙන් අන්‍ය වස්තුවකට සංක්‍රමණයයි. පඤ්ඤායච විවට්ටනා යනු උදය හැර ව්‍යයයෙහි පිහිටා සිටීමයි. ආවජ්ජනා බලඤ්චෙව යනු රූපාදී එකිනෙකෙහි භංගය දැක, නැවත භංගය අරමුණු චිත්තයාගේ භංගය දර්ශනය සඳහා අනතුරුවම ආවර්ජන සමර්ථතාවයි. පටිසංඛාවිපස්සනා යනු ඒ අරමුණු තොමෝ භංගය නුවණින් සලකා බලන අනුපස්සනා නම් වන්නීය. ආරම්මණ අන්‍වයෙන උභො එක වවත්‍ථානා යනු ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දුටු අරමුණෙහි පිළිවෙළ අනුගමනයෙන්, මෙය යම්සේද, අතීතයෙහිද සංස්කාරයන්ට අයත් දෑ බිඳී ගියේය. අනාගතයෙහිද බිඳී යන්නේය. මෙසේ ද්වයයම එක් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාපනය කෙරේයයි අර්ථයි. පෞරාණිකයන් විසින් කියන ලද්දාහුමය -
සංවිජ්ජමානම්භි විසුද්ධ දස්සනො, තදන්‍වයං නෙති අතීත නාගතෙ,
සබ්බෙපි සංඛාර ගතාපලොකිනො, උස්සාව බින්‍දු සුරියෙව උග්ගතෙ’ති
සුපිරිසිදු දැක්මක් විද්‍යමාන කල්හි, අතීත අනාගත සංස්කාරයන් ඒ අනුව ගෙනයයි. හිරු උදාවූ කල්හි පිණිබිඳ මෙන්, සංස්කාරයන්ට ඇතුළත් වූ සියල්ලම විනාශයට පත්වන සුලුය.
නිරොධෙ අධිමුත්තතා යනු මේ ද්වයයෙහි භංග වශයෙන් ඒකත්වයෙන් පිරිසිඳ දැන, එම භංග සංඛ්‍යාත නිරෝධයෙහිම ඇලුණු බව, එය ගරුකොට සැලකීම, එහි නැඹුරු බව, එහි ප්‍රවණතාවය, එහි නම්‍රතාවය යන අර්ථයි. වය ලක්ඛණ විපස්සනා යනු එම ව්‍යය ලක්‍ෂණ විදර්ශනා නමැයි යූ.සේයි. ආරම්මණඤ්ච පටිසංඛා යනු පළමු රූපාදි අරමුණ දැන භංගඤ්ච අනුපස්සති යනු ඒ අරමුණෙහි භංගය දැක එයට අරමුණු වූ චිත්තයාගේ භංගය නැවත නැවත බලයි. සුඤ්ඤතොච උපට්ඨානං මෙසේ භංගයන් නැවත නැවත බලන්නා වූ ඔහුට සංස්කාරයෝම බිඳෙති. ඒවාහි භේදය මරණයයි. අන් කිසිවෙක් නොමැත්තේ යයි ශුන්‍යතා වශයෙන්ම වැටහීම සිදුවෙයි. එහෙයින් පෞරාණිකයෝ කීහු.
ඛන්‍ධා නිරුජ්ඣන්ති නචත්‍ථි අඤ්ඤො, ඛන්‍ධානං භෙදො මරණන්ති වුච්චති,
තෙසං ඛයං පස්සති අප්පමත්තො, මණිංව විජ්ඣං වජිරෙන යොනිසොති
ස්කන්ධයෝ නිරුද්ධ වෙති. අන් කිසිවක් නැත. ස්කන්ධයන්ගේ භේදය මරණය යැයි කියනු ලැබේ. අප්‍රමාදී පුද්ගලයා, ඒවාහි ක්‍ෂයය, දියමන්තියෙන් මැණිකක් විදින්නාක් මෙන් නුවණින් දකියි.
අධිපඤ්ඤා විපස්සනා යනු යම් අරමුණු නුවණින් සැලකීමක් වේද? යම් භංගය අනුව බැලීමක් වේද? යම් ශුන්‍යතා වශයෙන් වැටහීමක් වේද? මෙය අධිප්‍රඥා විදර්ශනාවයැයි යූ.සේයි. කුසලො තීසු අනුපස්සනාසු යනු අනිත්‍යානුපස්සනාදි ත්‍රයයෙහි දක්‍ෂ භික්‍ෂුව. චතස්සොච විපස්සනාසු යනු නිබ්බිදාදී සිව් විදර්ශනාවන්හි. තයො උපට්ඨානෙ කුසලතා යනු ක්‍ෂය, ව්‍යය, ශුන්‍යය යන මේ ත්‍රවිධ වැටහීම්හි දක්‍ෂතායෙන්, නානාදිට්ඨිසු නකම්පති යනු ශාශ්වත දෘෂ්ටි ආදී නානාප්‍රකාර දෘෂ්ටීන්හි කම්පා නොවේ. හෙතෙම මෙසේ කම්පා නොවන්නේ නිරුද්ධ නොවූයේම නිරුද්ධ වූයේ යයිද, නොබිඳුණේම බිඳේයයි, පැවති මනසිකාරය, දුර්වල බඳුනක් බිඳෙන්නාක් මෙන්ද, විසුරුවනු ලබන සියුම් දුහුවිල්ලක් මෙන්ද, තලඇට බෙදනු ලබන්නාක් මෙන්ද, සියලු සංස්කාරයන්ගේ ඉපැත්මෙහි හා ස්ථිතියෙහි පැවති නිමිති අත්හැර බිඳීමම දකියි. හෙතෙම යම්සේ නම් ඇස් ඇති පුරුෂයෙක්, පොකුණුතෙරක හෝ නදීතෙරක සිටියේ විශාල බින්දු ඇති වැස්ස වසින කල්හි, දිය මතුයෙහි මහත් මහත් දිය බුබුළු ඉපිද ඉපිද වහ වහා බිඳෙනු ලබන්නේ දකින්නේද? එපරිද්දෙන්ම සියලු සංස්කාර බිඳෙතියි දකියි. මෙබඳු වූ යෝගාවචරයා සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ –