68. ඉන්‍ද්‍රිය පරාවරතා ඤාණ නිර්දේශ වර්ණනාව
ඉන්‍ද්‍රිය පරොපරියත්ත ඤාණ නිර්දේශයෙහි, තථාගතස්ස යන වචන උදෙසීමෙහි, ස්වරූපයෙන් අවිද්‍යමාන වූද, ශ්‍රාවකයින්ගෙන් අසාධාරණ ෂට් ඤාණයන්යැයි කියන ලද හෙයින්, තථාගතයන් වහන්සේටමැයි කියන ලද්දේම වේ. එහෙයින් උද්දේශයෙහි අර්ථ වශයෙන්, සිද්ධ වූ, තථාගත වචන නිර්දේශයෙහි ග්‍රහණය කරන ලදි. සත්තෙ පස්සති යනු රූපාදීන්හි කැමැත්ත හා ඇල්මෙන් ඇලුණු බැවින්, ඇලී සිටි හෙයින් සත්ත්වයෝය. එම සත්ත්වයින් ඉන්‍ද්‍රිය පරො පරියත්ත ඤාණ චක්‍ෂුසින් බලයි. අප්පරජක්ඛෙ යන ප්‍රඥාමය ඇසෙහි ස්වල්ප වූ රාගාදී රජස් ඔවුන්ටනුයි අල්ප රජස්කයි. එම අල්ප රජස්කයින්, මහා රජක්ඛෙ යනු ප්‍රඥාමය ඇසෙහි මහත් වූ රාගාදී රජස් ඔවුන්ටනුයි මහාරජස්කයි. මහත් වූ රාගාදී කෙලෙස් ඔවුන්ටනුයි හෝ මහා රජස්කයි. තික්ඛින්‍ද්‍රියෙ මුනින්‍ද්‍රියෙ යනු තීක්‍ෂණ ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් ඔවුන්ටනුයි තික්ඛින්‍ද්‍රියායි. මෘදු වූ ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් ඔවුන්ටනුයි මුදින්‍ද්‍රියායි. ස්වාකාරෙ ද්වාකාරෙ යනු සොඳුරු ශ්‍රද්ධාදී, ආකාර, කොටස් ඔවුන්ටනුයි ස්වාකාරයි. පිළිකුල් ගර්හා කරන ලද, ශ්‍රද්ධාදී ආකාර කොටස් ඔවුන්ටනුයි ද්වාකාරයි. සුවිඤ්ඤාපයෙ, දුවිඤ්ඤාපයෙ යනු යම්කෙනෙක් කියන ලද කරුණ, නිසිපරිදි විමසා වටහා ගනිත්ද? ඉතා පහසුවෙන් අවබෝධ කරවීමට හැකිවෙත්ද? ඔවුහු සුවිඤ්ඤාපයයි. ඉන් විපරීතය දුවිඤ්ඤාපයයි. අප්පෙකච්චෙ පරලොක වජ්ජභය දස්සාවිනො යනු ඇතැම්හු පරලොවදී, රාගාදී දොස්ද භය වශයෙන් දක්නාහු, මෙම පද විස්තරයෙහි, ලෝකය පිළිබඳවම කියන ලද හෙයින් ස්කන්ධාදී ලෝකයෙහිද, රාගාදී දෝෂයන්හි, දැඩිව භය දක්නා සුලුයයි හෝ පරලොක භය දස්සාවිනොයි. ඒ පරලොව දොස්හි බියදක්නා සුලුවූයේ යයි මෙසේ අර්ථගත යුතුය. අප්පෙකච්චෙ න පරලොක වජ්ජ භය දස්සාවිනො යනු ඉන් විපරීතයයි ලෝක යනු කැඩී බිඳී යන අර්ථයෙනි. වජ්ජං යනු දුරුකළයුතු අර්ථයෙනි. මෙතෙකින් උද්දෙසයෙහි නිර්දේශය කරන ලද්දේ වේ.
නැවත නිර්දේශයෙහි, ප්‍රතිර්දේශය කරනුයේ ‘අප්පරජක්ඛෙ මහා රජක්ඛෙ’ ආදිය වදාළහ. එහි ත්‍රිවිධ රත්නයන්හි විශ්වාස කිරීම් සංඛ්‍යාත ශ්‍රද්ධාව මොහුට ඇත්තේනුයි සද්ධොයි. ඒ ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයා අශ්‍රද්ධා නමැති දුහුවිල්ලගේද, අශ්‍රද්ධාමූලික සෙසු අකුසල දුහුවිල්ලගේද, අල්ප බැවින් අප්පරජක්ඛොයි. ඔහුට ශ්‍රද්ධාව නැත්තේනුයි අස්සද්ධොයි. හෙතෙම කියන ලද ආකාර ඇති කෙලෙස් දුහුවිල්ලෙන් මහත් බැවින් මහා රජක්ඛොයි. මොහු විසින් වීර්යය අරඹන ලද්දේනුයි ආරද්ධවිරියොයි. හෙතෙම කුසීතකම නමැති දුහුවිල්ලගේද, කුසීතකම මූලිකකොට ඇති සෙසු අකුසල් දුහුවිල්ලගේද අල්ප බැවින් අප්පරජක්ඛොයි. දුර්වල වීර්යවත් බැවින්, පිළිකුල් ආකාරයෙන් ගිලාබසීනුයි කුසීදයි. කුසීදම කුසීතොයි. හෙතෙම කියන ලද ආකාර ඇති දුහුවිල්ලගේ මහත් බවින් මහරජක්ඛොයි. අරමුණට එළැඹ සිටි සිහිය මොහුටනුයි උපට්ඨිත සතියි. ඔහු සිහිමුළාව නමැති දුහුවිල්ලගේද, සිහිමුලාව මූලික සෙසු අකුසල් දුහුවිල්ලගේද, අල්පතාව බැවින් අප්පරජක්ඛොයි. මුළා වූ නට සිහිය මොහුටනුයි මුට්ඨස්සතියි. හෙතෙම කියන ලද ආකාර ඇති දුහුවිල්ලගේ මහත් බැවින් මහා රජක්ඛොයි අර්පණා සමාධියෙන් හෝ උපචාර සමාධියෙන් අරමුණෙහි සමව, මනාව, එළවන ලද්දේ සිටියේනුයි සමාහිතොයි. එය නොසන්සුන්කම නමැති දුහුවිල්ලගේද, නොසන්සුන්කම මූලික සෙසු අකුසල් දුහුවිල්ලගේද අල්ප බැවින් අප්පරජක්ඛොයි. තැන්පත් නුවූයේ අසමාහිතොයි. එය කියන ලද ආකාර ඇති දුහුවිල්ලගේ මහත් බැවින් මහාරජක්ඛොයි. හටගැනීම හා විනාශය දක්නා නුවණ මොහුට ඇත්තේනුයි පඤ්ඤවායි. එය මෝහ නමැති දුහුවිල්ලගේද, මෝහමූලික සෙසු අකුසල් දුහුවිල්ලගේද අල්ප බැවින් අප්පරජක්ඛොයි. මෝහයෙන් මුළාවූ හෙයින් දුෂ්ට ප්‍රඥාව මොහුටනුයි දුප්පඤ්ඤොයි. එය කියන ලද ආකාර ඇති දුහුවිල්ලගේ මහත් බැවින් මහාරජක්ඛොයි. සද්ධො පුග්ගලො තික්ඛින්‍ද්‍රියො යනු බහුලව උපදිනු ලබන බලවත් ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවත් වූයේ, එම ශ්‍රද්ධා ඉන්‍ද්‍රියයෙන්ම තීක්‍ෂණ ඉන්‍ද්‍රිය ඇතියේ. අස්සද්ධො පුග්ගලො මුදින්‍ද්‍රියො යනු බහුලව උපදිනු ලබන අශ්‍රද්ධාවෙන් අශ්‍රද්ධාවත් වූයේ අතරින් පතර උපදිනු ලබන දුර්වල සද්ධින්‍ද්‍රියෙන් මුදින්‍ද්‍රියොයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. සද්ධො පුග්ගලො ස්වාකාරො යනු එම ශ්‍රද්ධාවගේම බබළන ආකාරයයි. අස්සද්ධො පුග්ගලො ද්වාකාරො යනු එම අශ්‍රද්ධාවෙන්ම විරූපාකාරයයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. සුවිඤ්ඤාපයො යනු පහසුවෙන් අවබෝධ කරවන්ට හැකිවන්නේය. දුවිඤ්ඤාපයො යනු දුකසේ අවබෝධ කරවන්ට හැකිවන්නේය යනුයි. පරලොව වජ්ජ භය දස්සාවී යන මෙහි නුවණැත්තහුගේම ශ්‍රද්ධාදීහු සුපිරිසිදු වෙති. එහෙයින් සුපිරිසිදු ශ්‍රද්ධාදියෙන් සමන්විත, ඒ හා යෙදුණු සුපිරිසිදු ශ්‍රද්ධාදියෙන්, සමන්විත වූයේද, ඒ හේතුයෙන් හටගත් ප්‍රඥාවෙන් පරලොව දොස් භය වශයෙන් දක්නේ වේ. එහෙයින්ම ශ්‍රද්ධාදී සතර, පරලෝ දොස් භය වශයෙන් දක්නේ යයි යූ.සේයි.