6. උදයව්‍යය ඥාන නිර්දේශ වර්ණනාව
දැන් අනතුරුව, කියන ලද, සම්මසන ඤාණයාගේ නොයෙක් ක්‍රමයෙන්, භාවනා ස්ථිර කිරීමෙහි පරතෙරට ගොස් සිටියහු විසින්, අනිත්‍යාදී වශයෙන් දුටු සංස්කාරයන්, උදයව්‍යය වශයෙන් පිරිසිඳ අනිත්‍යාදී වශයෙන් විදර්ශනා කිරීම සඳහා කියන ලද උදයව්‍යයානු පස්සනා ඤාණ නිර්දේශයෙහි ජාතං, රූපං යනාදීන්හි, නොකඩවා පැවතීම් වශයෙන් තම තමා අයත් ප්‍රත්‍යයෙන් උපන් රූපය, තස්ස ඒ හටගත් රූපයෙහි, නිබ්බත්ති ලක්ඛණං යනු ජාතිය, ඉපැත්ම, අලුත් ආකාරය, උදයොති හටගැනීමයි. විපරිණාම ලක්ඛණං යනු, වෙනස්වීම් ලක්‍ෂණයයි. ක්‍ෂයවීම, බිඳීම වය නමැ. අනුපස්සනා යනු නැවත නැවත නුවණින් මෙනෙහි කිරීම උදයව්‍යයානුපස්සනා ඤාණයයි යන අර්ථයි. වේදනාදීන්හිද එම ක්‍රමයමැයි. ජාති, ජරා, මරණවත් අයටම, උදයව්‍යයාගේ පරිග්‍රහණය කළයුතු හෙයින් ජාති, ජරා, මරණයන්ගේ උදව්‍යය නොවන හෙයින්, ජාති, ජරා, මරණ ස්පර්ශ නොකොට, හටගත් ඇස හටගත් භවයයැයි පෙය්‍යාල කරන ලදී. හෙතෙම මෙසේ පංච ස්කන්ධයන්ගේ උදයව්‍යය දක්නේ මෙසේ දනියි. මේ ස්කන්ධයන්ගේ උපතින් පෙර නූපන්නා වූ රාශියක් හෝ රාශිභූත වීමක් නැත. උපදිනු ලබන්නේද, රාශි වශයෙන් හෝ රාශිභූත වීම් වශයෙන් පැමිණීමක් නම් නැත. නිරුද්ධ වනුයේද, දිසා අනුදිසා ගමන් කිරීමක් නම් නැත. නිරුද්ධ වූවන්ගේද, එක්තැනක රාශි වශයෙන්, රාශිභූත වීම් වශයෙන් තැන්පත්වීම් වශයෙන් පැතිරයාමක් නම් නැත. යම්සේ වනාහි වීණාව වාදනය කරනු ලබන්නේ උපන් ශබ්දයාගේ හටගැනීමට පෙර තැන්පත්වීමක් නොමැත්තේද, උපදිනු ලබන්නේ තැන්පත්ව පැවතීමකින් නොපැමිණියේද, නිරුද්ධවනු ලබන්නේ දිසා අනුදිසා ගමනක් නොමැත්තේද? නිරුද්ධවූයේ කොතැනක හෝ එක්තැන් වීමක් නැත්ද? තවද, වීණාවද, උපවීණාවද, පුරුෂයාගේද, ඉන් හටගත් උත්සාහය නිසා, කලින් නොපැවත හටගනියි. හටගෙන ඉවත්වේ. මෙසේ සියලුම රූපී අරූපී ධර්ම කලින් නොපැවත හටගනිති. හටගෙන ඉවත්ව යෙතියි දකියි.
මෙසේ සංක්‍ෂේපයෙන් උදයව්‍යය දර්ශනය දක්වා දැන් විස්තර වශයෙන් දක්වන්ට, පංච ස්කන්ධයන්ගේ හටගැන්ම බලන්නේ කෙතෙක් ලක්‍ෂණ දකීද ආදී රාශි වශයෙන් ගණන විචාරා ‘පංච ස්කන්ධයන්ගේ හටගැන්ම බලන්නේ, පස්විසි ලක්‍ෂණයන් දකී’ යයි ආදී රාශි වශයෙන් ගණන විසඳා, නැවත රූපස්කන්ධයාගේ හටගැන්ම බලන්නේ කෙතෙක් ලක්‍ෂණ දකීද? ආදී විභාග වශයෙන් ගණන විචාරා ‘රූපස්කන්ධයාගේ හටගැන්ම බලන්නේ පංච ලක්‍ෂණයන් දකීයයි’ ආදී විභාගයෙන් ගණන විසඳා නැවත, රූපස්කන්ධයාගේ හටගැන්ම බලන්නේ කවර පංච ලක්‍ෂණයන් දකීදැයි ආදී ලක්‍ෂණ විභාග විචාරා විසඳුම් කරන ලදී.
එහි, අවිජ්ජා සමුදයා රූප සමුදයො යනු පූර්වකර්ම භවයෙහි මෝහය අවිද්‍යාවයි, කියන ලද අයුරින්, අවිද්‍යාව ඇති කල්හි මෙම භවයෙහි රූපයෙහි ඉපැත්ම වේයයි අර්ථයි. පච්චය සමුදයට්ඨෙන යනු ප්‍රත්‍යයාගේ හටගත් භාවයෙනැයි අර්ථයි. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම යන මේවා මෙහි ප්‍රතිසන්ධියට හේතුවූ අතීත ප්‍රත්‍යයෝය. මේ ත්‍රය ගත්කල්හි, සංස්කාර, උපාදාන ගන්නා ලද්දේම වේ. ආහාර සමුදයා යනු, පැවැත්මට ප්‍රත්‍යය වන කබලිංකාරාහාරයාගේ බලවත් බැවින් එයම ගන්නා ලද්දේය. එය ගත් කල්හි, පැවැත්මට හේතුභූත වූ, සෘතු, චිත්තාදීහුද ගන්නා ලද්දෝම වෙති. නිබ්බත්ති ලක්ඛණං යනු කාල, නොකඩවා පැවැත්ම, ක්‍ෂණ වශයෙන් රූපයාගේ ඉපැත්ම, ඉපැත්මම ප්‍රත්‍යයෙන් හටගත් ලක්‍ෂණ බැවින් ලක්‍ෂණ යයි යූ.සේයි. පඤ්ච ලක්ඛණානි අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාර ඉපැත්ම යන මෙම පඤ්ච ලක්‍ෂණයෝය. අවිද්‍යාදීහු, රූපයාගේ හටගැන්ම ලකුණු කරත්. එයිනුයි ලක්ඛණානියි. හටගැන්ම වනාහි සංඛත ලක්‍ෂණමය. එයද ප්‍රත්‍යයෙන් හටගත්තේ යයි සලකුණු කෙරේනුයේ එයිනුයි > ලක්‍ෂණ නමැ.
අවිජ්ජානිරොධො රූප නිරොධො අනාගත භවයට ප්‍රත්‍යය වූ, මේ භවයෙහි අවිද්‍යාව, අර්හත් මාර්ග ඤාණයෙන් නිරුද්ධ කළ කල්හි ප්‍රත්‍යයන්හි අභාවයෙන් අනාගත රූපයාගේ නොඉපැත්ම වේ. නිරුද්ධ වේයයි අර්ථයි. පච්චය නිරොධට්ඨෙන යනු ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙනැයි අර්ථයි. මෙහි නිරෝධය වනාහි, අනාගත ප්‍රතිසන්ධීන්ට ප්‍රත්‍යය වූ, මෙහි අවිද්‍යා, තෘෂ්ණා, කර්මයන්ගේම නිරෝධයයි. ආහාර නිරොධා රූපනිරොධො යන පැවැත්මට හේතුවූ කබලිකාරාහාරයාගේ අභාවයෙන් ඉන් හටගන්නා රූපයන්ගේ අභාවය වේ. විපරිණාම ලක්ඛණං යනු කාල, නොකඩවා පැවැත්ම ක්‍ෂණ වශයෙන් රූපයාගේ භංගයයි. භංගයම ප්‍රත්‍යයෙන් හටගත් ලක්‍ෂණ ඇති හෙයින් ලක්ඛණයැයි යූ.සේයි. පඤ්ච ලක්ඛණානීති අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාරයන්ගේ අභාව නිරෝධයෙන් සතරෙක්ද, එක් විපරිණාමයෙක්දැයි පඤ්චකයකි. වේදනා ස්කන්ධාදීන්හිද එම ක්‍රමයමැයි. මේ විශේෂයයි. අරූප ස්කන්ධයන්ට උදය-ව්‍යය දර්ශනය, කාල නොකඩවා පැවැත්ම වශයෙනි. ක්‍ෂණ වශයෙන් නොවේ. ස්පර්ශය, වේදනා, සංඥා, සංස්කාර ස්කන්ධයන්ට ප්‍රවෘත්ති ප්‍රත්‍යය වේ. එය නිරොධයෙන් ඒවාහි නිරෝධය වේ. නාමරූප විඤ්ඤාණස්කන්ධයට ප්‍රවෘත්ති වශයෙන් ප්‍රත්‍යය වේ. එය නිරෝධයෙන් එහි නිරෝධය වේ.