54. දිව්‍ය චක්‍ෂු ඤාණ නිර්දේශ වර්ණනාව
දිව්‍ය චක්‍ෂු ඤාණ නිර්දේශයෙහි, ආලොක සඤ්ඤං මනසිකරොති යනු දිවාකල්හි හෝ රැයෙහි හෝ සූර්යාලෝක චන්ද්‍රාලෝක, මැණික් ආලෝක මෙනෙහි කරයි. මෙසේ මෙනෙහි කරන්නේම, ආලෝකයැයි යනු සංඥාව සිත්හි පවත්වන හෙයින් ආලෝක සංඥාව මෙනෙහි කෙරේයයි යූ.සේයි. දිවා සඤ්ඤං අධිට්ඨාති යනු මෙසේ ආලෝක සංඥාව මෙනෙහි කොට දිවා කල්යැයි සංඥාව පිහිටුවයි. යථා දිවා තථා රත්තිං යම්සේ දහවලෙහි ආලෝකය දක්නා ලද්දේද? එසේම රැයෙහිද මෙනෙහි කරයි. යථා රත්තිං තථා දිවාති යනු යම්සේ රැයෙහි අලෝකය දක්නා ලද්දේද? එසේම දහවලෙහිද මෙනෙහි කරයි. ඉති විවටෙන චෙතසා යනු නොවැසුණු සිතින්, අපරියො නද්ධෙන යනු හාත්පසින් නොවසන ලද, සප්පභාසං චිත්තං භාවෙති යනු ආලෝකවත් සිත දියුණු කරයි. එයින් දිව්‍ය චක්‍ෂුසට පරිකර්ම වූ, ආලෝකය අරමුණුකොට ඇති සිත කියන ලදි. ආලෝක කසිණාරම්මණය චතුර්ථ ධ්‍යානයම සඳහා යූ.සේයි. මෙසේ වඩනා ඔහුට පහවූ අන්ධකාරාවරණයෙන් යුත් ආලෝකවත් සිතක් වෙයි. එහෙයින් දිව්‍ය චක්‍ෂුස උපදවනු කැමති ආදිකර්මික කුලපුත්‍රයා විසින්, මේ පෙළෙහි අනුසාරයෙන්, කසිණාරම්මණ අභිඥාපාදක ධ්‍යානය සර්වාකාරයෙන් අභිනීහාරක්‍ෂම කොට තේජෝ කසිණ, ඕදාත කසිණ, ආලෝක කසිණ යන මේ තෙවදෑරුම් කසිණයන්හි එක්තරා එකක් ආසන්න කළයුතුය. උපචාර ධ්‍යානය අරමුණුකොට වඩා තැබිය යුතුය. එහි අර්පණා නොඉපදවිය යුතුය යන අදහසයි. ඉදින් උපදවයිද පාදක ධ්‍යානයට නිශ්‍රය වේ. පරිකර්ම නිශ්‍රය නොවේ. මෙම ත්‍රයයෙහි ආලෝක කසිණයම ශ්‍රේෂ්ඨතරය. එයට අනුලොම් වශයෙන් අනෙක් කසිණ ද්වයයම යූ.සේයි. එහෙයින් ආලෝක කසිණය අනෙක් කසිණයන්ගෙන් එකක් අරමුණුකොට සිව්දැහැන් උපදවා නැවත උපචාර භූමියෙහිම සිට කසිණය වැඩිය යුතුය. වඩන වඩන ලද තැන ඇතුළතම රූපගතයන් දැකිය යුතුය. රූපගතයන් බලන්නා වූ ඔහුට, ඒ උත්සාහවත් පරිකර්ම සිතින්, ආලෝක පැතිරවීම නොකරන කල්හි, පරිකර්ම වාරය ඉක්ම යයි. ඉක්බිති ආලෝකය අතුරුදන් වේ. එය අතුරුදන් කල්හි රූපගතයන්ද නොපෙනේ. ඉක්බිති මොහු විසින් නැවත නැවත පාදක ධ්‍යානයටම පිවිස ඉන් නැගිට ආලෝකය පැතිරවිය යුත්තේය. මෙසේ අනුක්‍රමයෙන් ආලෝකය ශක්තිමත් වූයේ වේ. මෙහි ආලෝකය වේවායි යම්තාක් තැන් පිරිසිඳීද, එහි ආලෝකය පවතීමය. මුළු දවස පුරාම හිඳ, බලනකල්හි රූප දැක්ම වේ. එහි යම්කලෙක්හි ඒ භික්‍ෂුවගේ මාංශ චක්‍ෂුසට හමුනොවන, කුස ඇතුළට වූ, හෘදයවස්තු ආශ්‍රිත, යට පෘථුවිතලය ආශ්‍රිත, බිත්ති හරහා වූද, පර්වත ප්‍රාකාරගත වූද පිටසක්වළ ගතවූද, යන මෙම රූප මාංශ චක්‍ෂුසෙන්, දක්නා මෙන් වේ. එකල්හි දිව්‍ය චක්‍ෂුස උපන්නේ වේ. එයම මෙහි රූප දර්ශන සමර්ථය. පූර්වභාග චිත්තයෝ නොවෙත්.
එහි මේ දිව්‍ය චක්‍ෂුසගේ උත්පත්ති ක්‍රමයයි. එය කියන ලද ආකාරයෙන්, රූපාරම්මණ කොට, මනෝද්වාරා වර්ජනය, ඉපිද නිරුද්ධ වූ කල්හි, එම රූපයම අරමුණුකොට සතරක් හෝ පහක් ජවන උපදිතියි පෙර කියන ලද අයුරින්ම දතයුතුය. මෙම ඤාණය සත්ත්වයින්ගේ චුතූපපාතයෙහි ඤාණය යයිද, දිව්‍ය චක්‍ෂුර් ඤාණය යයිද යූ.සේයි. එය පෘථග්ජනයාට උවදුරු සහිත වේ. හෙතෙම වනාහි යම් යම්තැනක ආලෝක වේවායි අධිෂ්ඨාන කරයිද, ඒ ඒ පෘථුවි සමුද්‍ර, පර්වත විනිවිදද ඒකාලෝක වේ. ඉක්බිති මොහුට එහි භයානක යක්‍ෂ රාක්‍ෂසාදී රූප දක්නා කල්හි භය උපදියි. එයින් චිත්ත වික්‍ෂේපයට පත්ව ධ්‍යාන අත්හැර යන්නෙකු වෙයි. එහෙයින් රූප දර්ශනයෙහි අප්‍රමාද ක්‍රියා කරන්නෙකු ලෙසින් විය යුතුය.
සත්තානං චුතූපපාත ඤාණාය යනු සත්ත්වයින්ගේ චුතියෙහිද, උපතෙහිද වන ඤාණය සඳහා, යම් ඤාණයකින් සත්ත්වයින්ගේ චුතියද, උත්පත්තියද දැනගනීද, ඒ සඳහා දිව්‍ය චක්‍ෂු ඤාණය සඳහා යයි යූ.සේයි. දිබ්බෙන චක්ඛුනා යනු කියන ලද අර්ථයමය. විසුද්ධෙන යනු චුති උත්පත්ති දර්ශනය දෘෂ්ටි විසුද්ධියට හේතුවන හෙයින් පිරිසිදුය. යමෙක් වනාහි චුති මාත්‍රයම දකීද? උපත නොදකීද? හෙතමෙ උච්ඡේද දෘෂ්ටිය ගනියි. යමෙක් උපතම දකීද, චුතිය නොදකීද, හෙතෙම නව සත්ත්ව පහළවීම් දෘෂ්ටිය ගනී. යමෙක් වනාහි ඒ ද්වයයම දකීද, හෙතෙම දෙවදෑරුම් වූම දෘෂ්ටිගතයන් ඉක්මවයි. එහෙයින් මොහුට එම දර්ශනය දෘෂ්ටි විශුද්ධියට හේතුවෙයි. එම ද්වයයම බුදුපුත්හු දකිති. චුති, උත්පත්ති දර්ශනයෙන් දෘෂ්ටි විශුද්ධි හේතු බැවින් විශුද්ධයයි. එහෙයින් කියන ලදි. මිනිස් සීමාව ඉක්මවා රූප දර්ශනයෙන් මනුෂ්‍යත්වය ඉක්මවාගිය, මනුෂ්‍යත්වය හෝ මාංශ චක්‍ෂුස ඉක්මවූ හෙයින් අතික්කන්ත මානුසකංයි එම විශුද්ධ වූ මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දිව්‍ය චක්‍ෂුසින්.
සත්තෙ පස්සති යනු මනුෂ්‍යයින්ගේ මාංශ චක්‍ෂුසෙන් මෙන් අවලෝකනය කරයි. චවමානෙ උප්පජ්ජමානෙ යන මෙහි චුති ක්‍ෂණයන් හෝ උත්පත්ති ක්‍ෂණයන් දිවැසින් දක්නට නොහැක. දැන් චුතවන්නාහුයි යම් ආසන්න චුතිකයෝ වෙත්ද, දැන් චුතවන්නාහුද, ඔවුහු චවමානයෝය. ගත් ප්‍රතිසන්ධි ඇති, යම් කෙනෙක්, දැන් උපන්නාහු වෙත්ද, ඔවුහු උපදිනු ලබන්නාහු යයි අදහස් කරන ලදහ. මෙබඳු වූ චුතවන්නා වූද, උපදිනු ලබන්නා වූද, අය දකීයයි දක්වයි. හීනෙ යනු මෝහයාගේ විපාකය හා යෙදුණු හෙයින් පහත් ගණයෙහි වූ, ජාති කුල භෝගාදීන්ගේ වශයෙන් නින්දා, ගර්හා, අවමන්, අවඥා ලැබූ, පණීතෙ යනු අමෝහයාගේ විපාකය හා යෙදුණු හෙයින්, එයට විපරීත වූ, සුවණ්ණෙ යනු අද්වෙශයාගේ විපාකය හා යෙදුණු හෙයින් මනෝඥ වූ, සිත් අලවන මනාප වර්ණයෙන් යුත්, දුබ්බණ්ණෙ යනු ද්වේෂයෙහි විපාකය හා යෙදුණු හෙයින් අමනෝඥ වූ, සිත් නොඅලවන අමනාප වර්ණයෙන් යුත්, නොමනා රුවැති, විරූපයෙහි යන අර්ථයි. සුගතෙ සැපැති බවට පත්, අලෝභ විපාකය හා යෙදුණු හෙයින් ආඪ්‍ය වූ, මහා ධනවත් වූ, දුග්ගතෙ යනු සැප නොමැති බවට පත්, ලෝභ විපාකය හා යෙදුණු හෙයින් දිළිඳු අල්ප ආහාරපානයෙන් යුත්, යථාකම්මූපගෙ යනු යම් යම් කර්මයක් කරන ලද්දේද, ඒ ඒ කර්මයෙන් අදාළ විපාකයට එළැඹුණු, එහි ප්‍රථම ‘චවමානෙ’ ආදියෙන් දිව්‍ය චක්‍ෂු සකි යූ.සේයි.