53. පූර්වෙනිවාසානුස්මෘති ඤාණ නිර්දේශ වර්ණනාව
පූර්වෙනිවාසානුස්මෘති ඤාණ නිර්දේශයෙහි එවං පජානාති ආදී සිව් සෘද්ධිපාදයන්හි, මනාකොට වඩන ලද සිත් ඇති පූර්වේනිවාසානුස්මෘති ඤාණය උපදවනු කැමැත්තහුට එය උපදවාගැනීමේ පිළිවෙල දැක්වීම සඳහා කියන ලදි. පිළිවෙලින් ප්‍රතීත්‍ය සමුත්පාදය දැක, විඤ්ඤාණ, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වේදනා සංඛ්‍යාත වර්තමාන ඵල සංක්‍ෂෙපය දකියි. තස්සා යනු එයට ප්‍රත්‍යය වූ පූර්වභවයෙහි කර්ම ක්ලේශ සංඛ්‍යාත හේතු සංක්‍ෂෙපය දකියි. එයට ප්‍රත්‍යය වූ තෘතීය භවයෙහි හේතු සංක්‍ෂෙපය දකියි. එයට ප්‍රත්‍යය වූ පූර්වභවයෙහිම ඵල සංක්‍ෂෙපය දකියි. එයට ප්‍රත්‍යය වූ තෘතීය භවයෙහි හේතු සංක්‍ෂෙපය දකියි. මෙසේ ප්‍රතීත්‍ය සමුත්පාද දර්ශනයෙන් ජාති පරම්පරාව දකියි. මෙසේ පූර්වේනිවාසානුස්මෘති ඤාණයට ප්‍රතීත්‍ය සමුත්පාද මනසිකාරය බොහෝ උපකාරවත් වේ. එහි ‘මෙය ඇතිකල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී යන මෙය ප්‍රතීත්‍ය සමුත්පාද නිර්දේශයෙහි උදෙසීම් වචනයයි. ඒවාහි එක්තරා වචනයකින්ම අර්ථය සිද්ධ කල්හි දෙයාකාර වචනයක් කුමක් සඳහාද යත්? අර්ථ නානත්‍වය යෙදෙන හෙයිනි. කෙසේද? ඉමස්මිං සති යනු මේ ප්‍රත්‍යය ඇතිකල්හි, විද්‍යමාන කල්හි, මෙය සියලු ප්‍රත්‍යයන්ට සාධාරණ වචනයයි. ඉදං හොති යනු මේ ප්‍රත්‍යයෝත්පන්නය වේ. මෙය සියලු ප්‍රත්‍යයෝත්පන්නයන්ට සාධාරණ වචනයයි. මේ සියලු වචනයන්ගෙන් අහේතුකවාදය ප්‍රතික්‍ෂිප්ත වූයේ වෙයි. යම් ධර්මයෝ ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාහු වෙත්ද? ප්‍රත්‍යය නොමැතිව නොවෙත්ද? ඒවා අහේතුක නම් වෙති. ඉමස්සුප්පාදා යනු මේ ප්‍රත්‍යයාගේ උත්පාදය හේතුකොටගෙන, මේ සියලු ප්‍රත්‍යයන්ගේ උත්පාදවත් බව දැක්වීමේ වචනයයි. ඉදං උප්පජ්ජති යනු මේ ප්‍රත්‍යයෝත්පන්නය උපදී. මෙය සියලු ප්‍රත්‍යයෝත්පන්නයන්ගේ, එයින් උපදනා බව දක්වන වචනයයි. මෙම සියලු වචනයන්ගෙන් ශාස්වත අහේතුකවාදය ප්‍රතික්‍ෂෙප කරන ලද්දේ වෙයි. යම් උපදවන ස්වභාව ධර්ම කෙනෙක් වෙත්ද, ඒවා අනිත්‍යයහ. එහෙයින් සහේතුකත්වය ඇතිකල්හිද, එම ධර්ම අනිත්‍ය හේතුකය. ලෝකයෙහි නිත්‍ය සම්මත ප්‍රකෘති පුරුෂාදි හේතුක කිසිවක් නැතැයි යූ.සේයි.
යදිදං යනු නිර්දේශ කළයුතු අර්ථ පෙන්වීමයි. අවිජ්ජා පච්චයා සංඛාරා යන මෙහි යමක් හේතුයෙන් ඵලයක් හටගනීද, එය ප්‍රත්‍යයයි. පටිච්ච යනු නුවණින් නොසලකා යන අර්ථයි. එති යනු උපදියි මෙන්ම පවතී යන අර්ථයි. තවද උපකාරාර්ථය ප්‍රත්‍යයාර්ථයද වේ. අවිද්‍යාවද ඕ ප්‍රත්‍යයම වූයේනුයි අවිජ්ජා පච්චයොයි. එහෙයින් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ හටගනිත් යයි යෙදීමයි. මෙසේ සම්භවන්ති ශබ්දයට සෙසු පදයන්හිද යෙදීම් කළයුතුය. සෝකාදීන්හිද සෝක කිරීම, සොකොයි. විලාප කීම පරිදෙවොයි. දුකට පත්වේනුයි - දුක්ඛංයි. උත්පාද ස්ථිති වශයෙන් දෙයාකාරයෙන් සාරයිනුයිද දුක්ඛංයි. නොසතුටු සිතෙහි ස්වභාවය - දොමනස්සංයි. මහත් වෙහෙස උපායාසොයි. සම්භවන්ති යනු උපදිති. එවං යනු නිර්දිෂ්ට ක්‍රම පෙන්වීමයි. එයින් අවිද්‍යාදී වූම කාරණයන්ගෙන් යයිද ඊශ්වර නිර්මාණාදීන්ගෙන් නොවේ යයිද දක්වයි. එතස්ස යනු ඒ කියන ලද්දෙහි, කෙවලස්ස අසම්මිශ්‍ර හෝ සියල්ලෙහි යන අර්ථයි. දුක්ඛක්ඛන්‍ධස්ස යනු දුක් සමූහයාගේ, සුව, ශුභ ආදීන්ගේ හෝ සත්ත්වයාගේ හෝ නොවෙයි. සමුදයො යනු ඉපැත්ම, හොති යනු හටගනියි.
එහි අවිද්‍යාව කවරක් වන්නේද? දුකෙහි නොදැනීම, දුක් හටගැන්මෙහි නොදැනීම, දුක් නිරුද්ධ කිරීමෙහි නොදැනීම, දුක් නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවෙහි නොදැනීම, පූර්වාන්තයෙහි නොදැනීම, අපරාන්තයෙහි නොදැනීම, පූර්වාපරන්තාපරයන්තයෙහි නොදැනීම, මෙය හේතුකොට හටගන්නා වූ ධර්මයන්හි නොදැනීම, සංස්කාරයෝ කවරහුද? පුණ්‍යාභිසංස්කාර, අපුණ්‍යාභිසංස්කාර, ආනෙඤ්ජාභි සංස්කාර, කාය සංස්කාර, වාක් සංස්කාර, චිත්ත සංස්කාර, අටවැදෑරුම් කාමාවචර කුසල් චේතනා, පස්වැදෑරුම් රූපාවචර කුසල් චේතනා, පුණ්‍යාභිසංස්කාරයි. දොළොස් අකුසල් චේතනා, අපුණ්‍යාභි සංස්කාරයි. සිව් අරූපාවචර කුසල් චේතනා ආනෙඤ්ජාභිසංස්කාරයි. කාය සඤ්චෙතනා කාය සංස්කාරයි. වාග් සඤ්චෙතනා වචී සංඛාරයි. මනො සඤ්චෙතනා චිත්ත සංඛාරයි.
මෙම සංස්කාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙත්යයි, එය කෙසේ දැනගත යුතුදැයි ප්‍රශ්නයක් මතුවන්නේය. අවිද්‍යාවගේ වීම ඇතිකල්හි වන හෙයිනි. යමෙකුට දුක්ඛාදීන්හි අවිද්‍යා සංඛ්‍යාත නොදැනීම අප්‍රහීණ වූයේ වේද? හෙතෙම පළමුව දුක්ඛයෙහි පූර්වාන්තාදීන්හි නොදැනීමෙන් සසර දුක සුව සංඥාවෙන් ගෙන එයටම හේතුවූ තෙවදෑරුම් සංස්කාරයන් අරඹයි. දුක්ඛ සමුදයෙහි නොදැනීමෙන්, දුකට හේතුභූත වූ, තෘෂ්ණා පරිෂ්කාර සංඛ්‍යාත සංස්කාරයන් සුවහේතු වශයෙන් හඟිමින් රැස්කිරීම අරඹයි. නිරෝධයෙහිද, මාර්ගයෙහිද නොදැනීමෙන්, දුකෙහි නිරෝධයට හේතුනොවන්නා වූද, ස්වභාව විශේෂයන්හි, දුක්ඛ නිරෝධසංඥීව, දුක්ඛ නිරෝධයට මාර්ග නොවූ, යාගහෝම, අමරා වික්‍ෂෙපිත හා තපො ව්‍රතාදීන්හි නිරෝධ මාර්ග සංඥීව, දුක්ඛ නිරෝධය ප්‍රාර්ථනා කරමින් යාගහෝම, අමරා වික්‍ෂෙපිත හා තපො ව්‍රතාදී ආකාරයෙන් තෙවදෑරුම් සංස්කාරයන් අරඹයි.
තවද හෙතෙම ඒ සිව්සස්හි, අප්‍රහීණ අවිද්‍යාතායෙන් විශේෂයෙන් ජාති, ජරා, රෝග මරණාදී නොයෙක් ආදීනවයන්ගෙන් ගැවසීගත් පුණ්‍යඵල සංඛ්‍යාත, දුක, දුක වශයෙන් නොදන්නේ එම දුක ලබාගැනීම සඳහා කාය, වාග්, චිත්ත සංස්කාරභේද වූ පුණ්‍යාභිසංස්කාර අරඹයි. දිව්‍යප්සරා කැමැත්තේ මාරක ප්‍රපාතයට ඇදවැටී නැසෙන්නාක් මෙනි. සුවයැයි සම්මත වූයේද ඒ පුණ්‍ය ඵලයාගේ අන්තයෙහි මහත් දාහ හටගන්වන, විපරිණාම දුක්ඛතාවද, අල්පාශ්වාදතාවද, නොදක්නේම, එයට හේතුවන කියන ලද ආකාරම වූ පුණ්‍යාභිසංස්කාර අරඹයි. මීපැණි ආලේප කරන ලද ආයුධය ලොවින මීබිඳු ගිජුවූවෙකු මෙන්ද, පහන්සිළ මතුයෙහි පතිත වන පළඟැටියාද මෙනි. කාමසේවනාදීන්හි විපාක සහිත ආදීනව නොදක්නේ සුව සංඥාවෙන්ද, කෙලෙසුන්ගෙන් මැඩුණු හෙයින්ද, ද්වාරත්‍රයයෙහි පැවැති අපුණ්‍යාභිසංස්කාර අරඹයි. අශූචි සමග ක්‍රීඩා කරන ළදරුවෙකු මෙන්ද, මැරෙනු කැමැත්තහුගේ විෂ කෑම මෙන්ද වේ. අරූප විපාකයන්හිද, සංස්කාර විපරිණාම දුක්ඛතාව, අවබෝධ නොකරනුයේ, ශාස්වතාදී චිත්ත විපර්යාසයෙන්, චිත්ත සංස්කාර වූ අනෙඤ්ජාභි සංස්කාර අරඹයි. පිශාච නගරාභිමුව මාර්ගයෙහි ගමන්කරන දිසා මුළාවූවෙකු මෙනි. මෙසේ අවිද්‍යාවගේම හටගැනීමෙන් සංස්කාරයන්ගේ හටගැනීම වේ. හටනොගැනීමෙන් නොවේ. එහෙයින් එය දැනගත යුතුය. මේ සංස්කාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙයි.