මෙසේ එහි විනාශයද, නැවත පිහිටීමද දතයුතුය. යම්කලෙක කල්පය ගින්නෙන් නසීද, මුලදීම කල්ප විනාශ මහා මේඝයක් පැන නගී. කෝටි ශත සහස්‍ර චක්‍රවාටයන්හි එක් මහවැස්සක් වසී. මිනිස්සු සතුටට පත්වූවාහු සියලු බීජ පිටතට ගෙනවුත් වපුරති. ශස්‍ය ගවයින් කන පමණට හටගත් කල්හි කොටළු හඬක් හඬනංවමින් එක් බිංදු මාත්‍රයක්වත් වැසි නොවසියි. එදා සිඳුණු වැස්ස සිඳුනේම වේ. වැස්සෙන් ජීවත්වන සත්ත්වයෝ, පුණ්‍යඵලයෙන් ජීවත්වන දේවතාවෝ ක්‍රමයෙන් බඹලොව උපදිත්. මෙසේ දීර්ඝකාලයක් ගතවූ කල්හි ඒ ඒ තන්හි ජලය ක්‍ෂයට යේ. නැවත ක්‍රමයෙන් මත්ස්‍ය, කැසුබුවෝද කළුරියකොට බඹලොව උපදිති. නේරයික සත්ත්වයෝද බඹලොව උපදිති. එහි නේරයිකයෝ සත්වන සූර්ය පහළවීමෙහිදී විනාශ වන්නාහුයයි ඇතැමෙක් කියති. ධ්‍යාන නොමැතිව බඹලොව ඉපදීමක් නොමැත. ඔවුන් අතරද, දුර්භික්‍ෂයෙන් පීඩිත වූ සමහරු ධ්‍යානාධිගමයට නුසුදුස්සෝය. ඔවුහු කෙසේ එහි උපදිත්ද? දිව්‍ය ලෝකයෙහිදී ලද ධ්‍යාන වශයෙනි. එකල්හි වර්ෂ ලක්ෂයක්හුගේ ඇවෑමෙන් කල්ප විනාශය වන්නේයයි ලොකව්‍යුහ නමැති, කාමාවචර දේවතාවෝ මුදාහළ කෙස්වැටි, විසිරුණු කෙස් ඇත්තාහු හඬන මුහුණු ඇත්තාහු අත්වලින් කඳුළු පිසිනු ලබන්නාහු රතු වස්ත්‍ර අඳින ලද්දාහු ඉතාම විරූප වෙස් දරනු ලබන්නෝ වී, මිනිස් වාස ප්‍රදේශයෙහි සරන්නාහු, පින්වත්නි, පින්වත්නි, මෙයින් වර්ෂ ශත සහස්‍රයකගේ ඇවෑමෙන් කල්ප විනාශය වන්නේය. මේ ලෝකය විනාශ වන්නේය. මහා සමුද්‍රයද වියලී යන්නේය. මේ මහා පෘථුවියද, මහාමේරු පර්වත රාජයාද දැවී යන්නේය. විනාශ වන්නේය. බ්‍රහ්මලෝකය දක්වා ලෝකය විනාශ වන්නේය. පින්වත්නි, මෛත්‍රිය වඩවු, පින්වත්නි, කරුණාව, මෘදුබව, උපේක්‍ෂාව වඩවු. මවට උපස්ථාන කරවු. පියාට උඵස්ථාන කරවු. කුලදෙටුවන් පුදන්නෝ වෙවුයයි මෙසේ සැලකරති. ඔවුන්ගේ වචන අසා, මනුෂ්‍යයෝද, භූම්‍යස්ථ දෙවිවරුද බොහෝ සංවේගප්‍රාප්ත වූවාහු, ඔවුනොවුන් කෙරෙහි මෘදු සිත් ඇත්තෝ වී මෛත්‍රී ආදී පින්කොට දෙව්ලොව උපදිති. එහි දිව්‍යභෝජන අනුභවකොට වායො කසිණයෙහි පිරියම්කොට ධ්‍යාන ලබති. එයින් අන්‍ය වූවෝ වනාහි අපරාපර්යවේදනීය කර්මයෙන් දෙව්ලොව උපදිති. අපරාපර්ය වේදනීය කර්ම රහිත වූයේ වනාහි සසර සැරිසරන සත්ත්වයෙක් නම් නැත. ඔවුහුද එහි එසේම ධ්‍යාන ලබති. මෙසේ දෙව්ලොව ලද ධ්‍යාන වශයෙන් සියල්ලෝම බඹලොව උපදිති.
වර්ෂාවෙහි සිඳීමෙන් මත්තෙහි, දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් දෙවන සූර්යයා පහළ වේ. එය පහළවූ කල්හි, දිවාරාත්‍රී භේදයක් නොපෙනේ. එක් හිරුමඬලක් උදාවෙයි. එක් හිරුමඬලක් අස්තයට යේ. ලෝකය නොසිඳුණු සූර්ය සන්තාපයෙන්ම යුතු වූයේ වේ. යම්සේ නම් ප්‍රකෘති සූර්යයාගේ සූර්යදේව පුත්‍රයෙක් වේද, එසේ කල්ප විනාශක සූර්යයාගේ නැත. එහි ප්‍රකෘති සූර්යයා පවත්නා කල්හි අහසෙහි වලාකුළුද, දුම්සිළුද හැසිරෙයි. කල්ප විනාශක සූර්යයා පවත්නා කල්හි, පහවූ දුම්, වලාකුළු ඇත්තේ, කැඩපත් මඬලක් මෙන් අහස නිර්මල වේ. පඤ්ච මහා ගංගාවන් හැර සෙසු කුඩා නදීන්හි දිය වියැලී යයි.
ඉන් දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන්, යමකගේ පහළවීමෙන් මහා නදීහු, වියැලී යෙත්ද? එබඳු වූ තෙවන සූර්යයා පහළ වේ.
යමකුගේ පහළවීමෙන් හිමවතැ මහා නදීන්හි ප්‍රභව වූ, සීහපාතන, හංසපාතන, කණ්ණුමුණ්ඩක, රථකාර, අනේතත්ත, ඡද්දන්ත, කුණාල යන මේ සත්මහා විල් වියැලේද? එබඳු තත්ත්වයක් උදාකරන සතරවන සූර්යයා එයින් දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් පහළ වේ.
යමකගේ පහළවීමෙන් පිළිවෙලින් මහා සමුද්‍රයෙහි ඇඟිලි පුරුකක් තෙමීමට ප්‍රමාණවත් වූ දිය නොපිහිටාද එබඳු තත්ත්වයක් උදාකරන පස්වන සූර්යයා එයින්ද දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් පහළ වේ.
යමකගේ පහළවීමෙන්, හාත්පසින් මඬනා ලද, තෙත් ගතියෙන් යුත් දුමෙන් සමස්ත චක්‍රවාටය එකම දුමාරයක් බවට පත්වේද, මේ සක්වළ යම්සේද, කෝටි ශතසහස්‍ර චක්‍රවාටයන්ද එබඳු තත්ත්වයට පත්කරන, සවන සූර්යයාද දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් පහළවේ.
යමක පහළවීමෙන් කෝටි ශතසහස්‍ර චක්‍රවාටයන් සමග මුළු සක්වල එකම ගිනිජාලයක් බවට පත්වේද, යොදුන් සියගණන් ප්‍රභේද වූ, මහාමේරු පර්වතාදියද, කැඩී බිඳී ආකාශයෙහිම අතුරුදන් වෙයි. ඒ අග්නිජාලය නැගී චාතුර්මහාරාජිකය ගනී. එහි රන්, රිදී, මැණික් විමානයන් දවා තව්තිසා භවනය ගනී. එම ක්‍රමයෙන්ම ප්‍රථමධ්‍යාන භූමිය දක්වා ගනියි. එහි බ්‍රහ්ම ලෝකත්‍රය දවා, ආභස්සරයෙහි ගැටී සිටියි. එය යම්තාක් අණුමාත්‍ර වූ හෝ සංස්කාර ගතයක් වේද, එතෙක් නොනිමෙයි. සියලු සංස්කාර ක්‍ෂයවීමෙන්, ගිතෙල්, තලතෙල් දවන ගිනිසිළු මෙන්, අළුද ශේෂ නොකොට නිවේ. යට ආකාසය හා මතු ආකාය තනි මහ ගනදුරක් බවට පත්වේ. එබඳු වූ තත්ත්වයක් ඇතිකරන සත්වන සූර්යයාද දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් පහළ වේ.
එකල්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන්, මහාමේඝයක් පැන නැගී පළමුව සියුම් සියුම් වැසි වසී. පිළිවෙලින් මානෙල් දඬු, සැරයටි, මොහොල්, තල්කඳන්, ආදී ප්‍රමාණ ධාරාවන්ගෙන් වැසි වසින්නේ කෝටි ශතසහස්‍ර චක්‍රවාටයන්හි සියලු දැවීගිය තැන් පුරවා අතුරුදන් වේ. ඒ ජලස්කන්ධය යටින්ද සරසින්ද වාතය හටගෙන, රවුම් හැඩයට නෙළුම් කොළයක දියබිඳක් මෙන් ඝන කරයි. ඒ සා මහත් දිය රාශියක් කෙසේ ඝන කෙරේද, යත් මනාව සිදුරු හටගැනීමෙනි. ඊට තැනින් තැන සිදුරු දෙයි. එය මෙසේ වාතයෙන් පිඬුකරනු ලබන්නේ ඝන කරනු ලබන්නේ ක්‍ෂය කරනු ලබන්නේ ක්‍රමයෙන් යටට බසී. පහළට බට ජලයෙහි, බ්‍රහ්මලෝක ස්ථානයෙහි, බ්‍රහ්මලෝකයද මත්තෙහි කාමාවචර දේව ලෝකස්ථානයෙහි සිවි සිව් දිව්‍යලෝකයද පහළ වේ. පළමු පෘථුවි ස්ථානයට බටකල්හි බලවත් වායු උපදී. එම වායු එය වැසූ දොරැති පෙරහන්කඩක රැඳි දිය මෙන් නිරුත්සාහීව මිරිකයි. මිහිරිදිය ක්‍ෂයට යනුයේ මතුයෙහි රස පෘථුවිය හටගන්වයි. එය පැහැපත් වර්ණයෙන් යුක්ත වූවා, සුවඳ රස යුක්ත වූවා, දියරහිත ක්‍ෂීර පායාසයෙහි මතු පටලය මෙනි. එකල්හි ආභස්සර බඹලොවැ වඩාත් පළමුව උපන් සත්ත්වයෝ ආයුක්‍ෂයයෙන් හෝ පුණ්‍යක්‍ෂයයෙන් ඉන් චුතවැ මෙහි උපදිති. ඔවුහු තම සිරුරින් ආලෝකය විහිදුවන, අහස්හි සරන්නාහු වෙති. ඔවුහු අග්ගඤ්ඤ සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන් ඒ රස පෘථුවිය රස විඳ තෘෂ්ණාවෙන් මැඩුණාහු කොටස් කඩා වෙන්කොට පරිභෝග කරන්ට උත්සාහ කරති.