50. ඉද්ධිවිධ ඤාණ නිර්දේශ වර්ණනාව
ඉද්ධිවිධ ඤාණ නිර්දේශයෙහි, ඉධ භික්ඛු යනු මෙසස්නෙහි භික්‍ෂුව; ඡන්‍ද සමාධි පධාන සංඛාර සමන්නාගතං යනු මෙහි ඡන්‍ද හේතුක වූ සමාධිය, ඡන්‍ද අධික වූ හෝ සමාධිය ඡන්‍ද සමාධියි, කරනු කැමැත්තෙහි ඡන්‍දය අධිපතිකොට ලද සමාධියට එය විශේෂ නාමයකි. ප්‍රධාන වූ සංස්කාර = ප්‍රධාන සංස්කාරයි. සිව්කිස් සිදුකරන සම්‍යක් ප්‍රධානයට එය විශේෂ නාමයකි. සිව්කිස් සිදුකිරීම් වශයෙන් බහුවචන කරන ලදි. සමන්නාගතං යනු ඡන්‍ද සමාධියෙන්ද, ප්‍රධාන සංස්කාරයන්ගෙන්ද යුක්ත වූයේ; ඉද්ධිපාදං යනු සම්පූර්ණවීම් ආකාරයන් හෝ සමෘද්ධවීම් අර්ථයෙන් සත්ත්වයෝ එයින් සමෘද්ධියට පත්වෙති. සමෘද්ධ වූවාහු, වෘද්ධියට පත්වූවාහු, උසස් තත්ත්වයට පත්වූවාහු වෙත්නුයි මේ ක්‍රමයෙන් හෝ සෘද්ධිය යයි සංඛ්‍යාවට ගියා වූ උපචාර ධ්‍යානාදී, කුසල චිත්ත සම්ප්‍රයුක්ත, ඡන්‍ද, සමාධි ප්‍රධාන සංස්කාරයන්ට අධිෂ්ඨානාර්ථයෙන් පාද වූ සෙසු චිත්ත චෛතසික රාශිය යැයි අර්ථයි. ඉද්ධිපාද විභංගයෙහි සූත්‍රාන්ත බෙදීමෙහි යූ.සේයි. ‘ඉද්ධිපාද යනු එසේ වූ වේදනා ස්කන්ධය -පෙ- විඤ්ඤාණ ස්කන්ධයයි, අභිධර්ම බෙදීමෙහි, ඉද්ධිපාද යනු එසේ වූ, ස්පර්ශ වේදනා -පෙ- උත්සාහය, අවික්‍ෂෙප යැයිද යූ.සේයි. එහෙයින් සෙසු චිත්ත චෛතසික රාශිය යනු මෙහි ඡන්ද, සමාධි ප්‍රධාන සංස්කාරයන්හි එක එක සෘද්ධිය කොට පසුව දෙක දෙක කොට සෙසු වචන සකස් කරන ලදැයි දතයුතුය. මෙසේ සතර ස්කන්ධයන්හි සියලුම ස්පර්ශාදී ධර්ම සංග්‍රහ කරන ලද්දාහු වෙති. මේ ක්‍රමයෙන් සෙස්සෙහිද අර්ථ දතයුතුය. යම්සේ වනාහි ඡන්දය අධිපතිකොට ලත් සමාධිය ඡන්ද සමාධි යයි කියන ලද්දේද? මෙසේ වීර්ය, චිත්ත, වීමංසාව අධිපතිකොට ලත් සමාධිය වීමංසා සමාධිය යයි යූ.සේයි. මෙසේ එක් එක් සෘද්ධිපාදයෙහි ඡන්ද, වීර්ය, චිත්ත, වීමංසාදී ධර්මත්‍රය සෘද්ධිද, සෘද්ධිපාදද වෙති. සෙසු සම්ප්‍රයුක්ත සිව් ස්කන්ධ සෘද්ධිපාදයෝමය. යම්හෙයකින් මේ ත්‍රයයක්, ත්‍රයයක් බැගින් වූ ධර්මයෝ ඒ හා එකට යෙදුණු සිව් ස්කන්ධයෝ සමගම සමෘද්ධ වෙත්ද? ඒවායින් තොරව සමෘද්ධ නොවෙත්ද? එහෙයින් ඒ ක්‍රමයෙන් සියලුම සිව් ස්කන්ධයෝ සමෘද්ධ වන අර්ථයෙන් සෘද්ධි නම් වෙති. පිහිටන අර්ථයෙන් පාද නමැයි දතයුතුය.
විරිය සමාධි පධාන සංඛාර සමන්නාගතං යන මෙහි විරියං යනුද පධාන සංඛාර යනුද එකක්මය. කවර දෙඅයුරකින් කියන ලදද යත්? වීර්යයෙහි ප්‍රධාන බව දැක්වීම් වශයෙන් මෙහි පළමුව වීර්යග්‍රහණය කරන ලදි. එහිම සිව්කිස් සාධකත්වය දැක්වීම සඳහා පධාන සංඛාර වචනය කරන ලදි. (යොදන ලදී) මෙසේ දෙඅයුරකින් කියන ලද හෙයන් මෙසේ මෙහිද ධර්මත්‍රය බැගින් යයි යූ.සේයි. සමහරු වනාහි විභංගයෙහි, ‘ඉද්ධි යනු යම් ඒ ඒ ධර්මයන්ගේ ඉටුවීම සමෘද්ධිය සමෘද්ධවීම, සමෘද්ධිමත් වීම යැයි කියන ලද හෙයින් සෘද්ධිය නම් අනිෂ්පන්නය. සෘද්ධිපාද නම් නිෂ්පන්නයයි කියති. මෙහි වනාහි සෘද්ධියද, සෘද්ධිපාදද නිෂ්පන්නය. ලක්‍ෂණ මඩනා ලද්දේයයි සනිටුහන් කරන ලදි. සෘද්ධි, සමෘද්ධි ආදීන්ගෙන් සමෘද්ධ වන ආකාරයෙන් ධර්මයම කියන ලදැයි දතයුතුය.
භාවෙති යනු සේවනය කරයි. සූත්‍රාන්ත බෙදීමෙහි මෙන් මෙහිද සෘද්ධිපාද භාවනා ලෞකිකමය. සෘද්ධිවිධ සම්පාදනය කරනු කැමැති තැනැත්තේ, ලෞකික සෘද්ධිපාද වඩන්නේ පෘථුවි කසිණාදී අට කසිණයන්හි ලබන ලද වසීප්‍රාප්ත අෂ්ට සමාපත්තිලාභියා, කසිණානුලෝම වශයෙන්, කසිණ ප්‍රතිලෝම වශයෙන්, කසිණානුලෝම ප්‍රතිලෝම වශයෙන්, ධ්‍යානානුලෝම වශයෙන්, ධ්‍යාන ප්‍රතිලෝම වශයෙන්, ධ්‍යානානුලෝම ප්‍රතිලෝම වශයෙන්, ධ්‍යානුක්කන්තික වශයෙන්, කසිණුක්කන්තික වශයෙන්, ධ්‍යාන කසිණුක්කන්තික වශයෙන් අංග සංකන්තික වශයෙන්, ආරම්මණ සංකන්තික වශයෙන්, අංගාරම්මණ සංකන්තික වශයෙන්, අංග ව්‍යවස්ථාන වශයෙන්, ආරම්මණ ව්‍යවස්ථාන වශයෙන්දැයි යන මේ තුදුස් ආකාරයන්ගෙන් සිත දමනයකොට ඡන්‍දශීර්ෂ, වීර්යශීර්ෂ, චිත්ත ශීර්ෂ, වීමංසා ශීර්ෂ වශයෙන් නැවත නැවත ධ්‍යානයට සමවදියි. අංගාරම්මණ ව්‍යවස්ථානයද සමහරු කැමැති වෙති. පූර්ව හේතු සම්පත් නය විවසින් කසිණයන්හි, චතුර්ථ ධ්‍යාන මාත්‍රයෙහි, පළපුරුදු වසීතායෙන් යුතු අයෙකු ලෙසින් ක්‍රියාකිරීම සුදුසුයයි ඒ ඒ සෘද්ධිපාද සමාධිය වඩන්නේ, නූපන් පාපී අකුසලයන්ගේ නොඉපැත්ම සඳහා යයි ආදී සිව්ආකාර වීර්යය අධිෂ්ඨාන කරයි. එහිද හානි, වෘද්ධි දැන වීර්ය සමතාව අධිෂ්ඨාන කරයි. හෙතෙම මෙසේ සිව් සෘද්ධිපාදයන්හි සිත මනාව වඩා සෘද්ධිවිධ සම්පාදනය කරයි.
සො ඉමෙසු චතුසු ඉද්ධිපාදෙසු ආදීන්හි සො යනු ඒ වඩනා ලද සිව් සෘද්ධිපාදැති භික්‍ෂුව; චතුසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙති යනු නැවත නැවත ඡන්‍දාදීන්හි එක එක අධිපතිකොට ධ්‍යාන සමවැදීම් වශයෙන් ඒවාහි සිත මනාව වඩයි නමැ. ඡන්‍දාදි වශයෙන් ගන්ට සලස්වයි යන අර්ථයි. පරිදමෙති යනු මෘදුකරයි. අකම්ප්‍ය කරයි. පුරිමය පශ්චිමයට කාරණ වචනයි. මනාව වඩනා ලද සිත මනාව දමනය කරන ලද්දේ වේ. මුදුං කරොති එසේ දැමුණු සිත වසීප්‍රාප්ත කරයි. තම වසයෙහි පවත්නා සිත මෘදුයයි යූ.සේයි. කම්මනියං යනු කර්මක්‍ෂම, කර්මයොග්‍ය කරය. මෘදු සිත මනාව ඔපමට්ටම් කළ රත්රන් මෙනි. කර්මණ්‍ය වේ. මෙහි වනාහි සෘද්ධිවිධ කර්මක්‍ෂම භාවයයි. සො යනු මනාකොට වඩනා ලද සිත් ඇති භික්‍ෂුව; කායම්පි චිත්තෙ සමොදහති යන ආදී සෘද්ධි කරන කල්හි සුව එළවන අයුරින් චිත්තවාරයාගේ ඉටුවීම සඳහා යෝග විධාන දක්වන්ට යූ.සේයි. එහි කායම්පි චිත්තෙ සමොදහති යනු තමාගේ මව්පියන් නිසා හටගත් ශරීරයද පාදක ධ්‍යාන සිතෙහි මනාසේ ඇතුල්කරයි. ප්‍රවේශ කරයි. ආරෝපණය කරයි. කය සිත අනුව ක්‍රියාකාරී තත්ත්වයට පත්කරයි යන අර්ථයි. මෙසේ කිරීම අදෘශ්‍යමාන කයින් වන ගමනට උපකාර පිණිස පවතී. චිත්තම්පි කායෙ සමොදහති යනු පාදකධ්‍යාන සිත තමාගේ කරජ කායයෙහි මනාසේ ඇතුල් කරයි. ප්‍රවේශ කරයි. ආරෝපණය කරයි. සිත කායානුගතික කරයි යන අර්ථයි. මෙසේ කිරීම දෘශ්‍යමාන ශරීරයෙන් ගමනට උපකාර පිණිස පවතී, සමාදහති, යනුද පාඨයි, පිහිටුවයි යන අර්ථයි. කායවසෙන චිත්තං පරිණාමෙති යනු කරජ කාය ගෙන පාදක ධ්‍යානයෙහි සිත ආරෝපණය කරයි. චිත්තානුගතික කරයි. මෙය කය සිතෙහි ප්‍රවේශ කිරීමට පර්යාය වචනයකි. අධිට්ඨාති යනු මෙසේ වේවායි අධිෂ්ඨාන කරයි. ආරෝපණයෙහි අර්ථ විවරණය සඳහා පරිණාමය කියන ලදි. පරිණාමයෙහි අර්ථ විවරණය සඳහා අධිෂ්ඨානය කියන ලදි. සමොදහති යනු මුල්පදයයි. පරිණාමෙති. අධිට්ඨාති යනු එහි අර්ථ විස්තර කරන පදයි. එහෙයින් ඒ දෙපදයන්ගේම වශයෙන්, පරිණාමෙත්‍වා, අධිට්ඨහිත්‍වා, සමොදහිත්‍වා යන වචන යූ.සේයි.