51. ශ්‍රෝතධාතු විශුද්ධි ඤාණ නිර්දේශ වර්ණනාව
ශ්‍රොතධාත විශුද්ධි ඤාණ නිර්දේශයෙහි, ‘දූරෙපි සද්දානං’ ආදී දිව්‍ය ශ්‍රෝතස නිපදවනු කැමැති ආදිකර්මික භික්‍ෂුවට ක්‍රම දැක්වීම සඳහා යූ.සේයි. එහි දූරෙපි, සද්දානං සද්ද නිමිත්තං යනු දුර ශබ්දයන්ගේ අන්තරයෙහි ශබ්දය, ශබ්දයම නිමිති කරණ වශයෙන් ශබ්ද නිමිත්තයි. දුරයැයි කියන ලද නමුත්, ප්‍රකෘති ශ්‍රෝතසට හමුවන ස්ථානයෙහිම ඔළාරිකානං යනු දැඩිවූ, සුඛුමානං සියුම් වූ, සණ්හ සණ්හානං යනු සියුම් වූවගෙන්ද, සියුම් වූ, අතිශය සියුම් වූ යන අර්ථයි. එයින් ඉතා සියුම් ශබ්ද යූ.සේයි. මෙම ඤාණය උපදවනු කැමැති ආදි කර්මික ධ්‍යායකයා විසින් අභිඥාපාදක ධ්‍යානයට සමවැද නැගිට, පරිකර්ම සමාධි සිතින් ප්‍රථමකොට, ප්‍රකෘති ශ්‍රෝත්‍ර පථයෙහි ගැටෙන දුර, දළ, අරණ්‍යයෙහි සිංහාදීන්ගේ ශබ්දය ආවර්ජනා කළයුතුය. විහාරයහෙි ගෙඩි ශබ්දය, බෙර ශබ්දය, සංඛ ශබ්දය, සියලු ශක්තියෙන්ද, සජ්ඣායනා කරන්නා වූ සාමණේර තරුණ භික්‍ෂූන්ගේ සජ්ඣායනා ශබ්දයද ප්‍රකෘති කථා කථා කරන්නවුන්ගේ, ස්වාමීනි කිමෙක්ද? ඇවැත්නි කිමෙක්ද? ආදී ශබ්දය, පක්‍ෂි ශබ්දය, වායු ශබ්දය, පියවර තබන ශබ්දය අතිශයින් රත්කළ ජලයෙහි චිටිචිටි යන ශබ්දය, අව්වෙහි වියලී යන තල්පත් ශබ්දය, කුහුඹුවන්, හින්නන් ආදීන්ගේ ශබ්දය දැයි මෙසේ සියලු දළ ශබ්දයේ පටන් ක්‍රමක්‍රමයෙන් සියුම් සියුම් ශබ්ද ආවර්ජනය කළයුත්තාහ.
මෙසේ කරන්නහු විසින්, නැගෙනහිර දිශාවෙහි සිට දසදිශාවන්හි ක්‍රමයෙන් එක් එක් දිශාවෙහි ශබ්ද නිමිත්ත කියන ලද අයුරින් මෙනෙහි කළ යුතුය. මෙනෙහි කරන්නහු විසින්, යම් ශබ්ද, ප්‍රකෘති ශ්‍රෝතසට ඇසේද? ඒවාහි ප්‍රකෘති ශ්‍රෝතාවධානයකොට මනෝද්වාරික සිතින් මෙනෙහි කළයුතුය. ඔහුට ඒ ශබ්ද ප්‍රකෘති සිතටද ප්‍රකට වෙයි. පරිකර්ම සමාධි සිතට අතිශයින් ප්‍රකට වෙයි. ඔහුට මෙසේ ශබ්ද නිමිත්ත මෙනෙහි කරන කල්හි, දැන් දිව්‍ය ශ්‍රෝතධාතුව උපදින්නේ යයි ඒ ශබ්දයන්හි එක්තරා ශබ්දයක් අරමුණුකොට, මනෝද්වාරාවර්ජනය උපදී. එය නිරුද්ධ කල්හි සතරක් හෝ පහක් දුවයි. යම් ප්‍රථම තුනක් හේ සතරක්, පරිකර්ම, උපචාර, අනුලෝම ගොත්‍රභූ නමැති කාමාවචරයන්ද, සිව්වෙනුව, පස්වෙනුව, රූපාවචර චතුර්ථධ්‍යානික අර්පණා චිත්තය වේ. එහි යම් ඒ අර්පණා සිත සමග උපන් ඤාණයක් වේද? එය දිව්‍යශ්‍රෝත ධාතුවයි. එය ශක්තිමත් කරන්නහු විසින් ඒ අතරෙහි ශබ්දයක් ශ්‍රවණය කරමියි එකඟුල් මාත්‍රයක් පිරිසිඳ වැඩිය යුත්තේය. ඉන්පසු, දෑඟුල්, සිවඟුල්, අටඟුල්, වියත, රියන, ඇතුල්ගැබ, ප්‍රධාන ප්‍රාසාදය, පිරුවන, සංඝාරාමය, ගොදුරුගම, ජනපද ආදී වශයෙන්, චක්‍රවාටය කෙළවර දක්වාද, ඉන් බහුතර වශයෙන්ද පිරිසිඳ, පිරිසිඳ වැඩිය යුතුය. මෙසේ අවබෝධ කළ අභිඥා ඇති මෙතෙමේ පාදකධ්‍යානාරම්මණයෙන් ස්පර්ශ කරන ලද ආකාස අභ්‍යන්තරගත ශබ්දයෙහි, පාදකධ්‍යානයට, සම නොවැදද අභිඥා ඤාණයෙන් ශ්‍රවණය කෙරේමය. මෙසේ ශ්‍රවණය කරන්නේද, බ්‍රහ්ම ලෝකය දක්වා සක් - බෙර - කුඩා බෙර (ගැටබෙර) ආදී ශබ්දයන්ගෙන් එකම කෝලාහලයක් වේ. වෙන් වෙන්ව ව්‍යවස්ථාපනය කරනු කැමැත්ත ඇතිකල්හි, මේ සක්හඬය. මේ බෙර ශබ්දයයැයි ව්‍යවස්ථාපනය කරන්ට හැකිවේමය. අභිඥා ඤාණයෙන් ශ්‍රවණය කළ ප්‍රයෝජනවත් ශබ්දයෙහි අර්ථය පසුව කාමාවචර සිතින් දැනගනී. දිව්‍ය ශ්‍රෝතය ප්‍රකෘති ශ්‍රෝතවත් වූවහුටම උපදී. බිහිරාට නූපදී. පසුව ප්‍රකෘති ශ්‍රෝතය නටුයේ වී නමුත් දිව්‍ය ශ්‍රෝතය නොනස්නේයයි කියති.
සො දිබ්බාය සොත ධාතුයා යන මෙහි දිව්‍ය සමාන හෙයින් දිබ්බංයි. දෙවිවරුන්ට සුචරිත කර්මයෙන් උපන් හෙයින්, පිත් සෙම් රුධිරාදියෙන් පළිබෝධ රහිත හෙයින් කෙලෙසුන් කෙරෙන් මුක්ත හෙයින් දුර පිහිටියා වූද අරමුණු පිළිගැනීමට සමත් දිව්‍ය ප්‍රසාද ශ්‍රෝත ධාතුව වේ. මෙයද මෙම භික්‍ෂුවගේ වීර්යභාවනා බලයෙන් නිපන් හෙයින් ඤාණ ශ්‍රෝතධාතුව එබඳුම යයි දිව්‍ය සමාන හෙයින් දිබ්බංයි. තවද, දිව්‍ය විහරණ වශයෙන් ලද හෙයින්ද, තමාද දිව්‍ය විහරණ සන්නිශ්‍රිත හෙයින්ද දිබ්බංයි. ශ්‍රවණාර්ථයෙන්ද, ජීවරහිතාර්ථයෙන්ද ශ්‍රොත ධාතුයි. ශ්‍රොතධාතු කෘත්‍යකරණයෙන්ද, ශ්‍රෝතධාතු මෙනැයි ශ්‍රෝතධාතුයි. ඒ දිව්‍ය ශ්‍රොත ධාතුයෙන්, විසුද්ධාය පිරිසිදු භාවයෙන්, උපක්ලේශ රහිත භාවයෙන්, අතික්කන්ත මානුසකාය යනු මිනිස් සීමා ඉක්මවා, ශබ්ද ශ්‍රවණයෙන්, මානුෂ්‍යයික මාංශ ශ්‍රෝතධාතුව ඉක්මවා, ඉකුත්කොට පැවැති, උභො සද්දෙ සුණාති ද්වි ශබ්දයන් අසයි. කවර ද්වයයක්ද යත්? දිබ්බෙච මානුසෙච දෙවිවරුන්ගේද, මනුෂ්‍යයින්ගේද ශබ්දයැයි යූ.සේයි. එයින් ප්‍රදේශය සම්පූර්ණයෙන් ගැනීම දතයුතුය. යෙ දූරෙ සන්තිකෙච යනු යම් ශබ්ද දුර පිටසක්වළයන්හිද, යම් සමීපයෙහි, තම දේහාශ්‍රිත ප්‍රාණී ශබ්දද, ඒවා ශ්‍රවණය කෙරේයයි යූ.සේයි. එයින් ප්‍රදේශ රහිතව සම්පූර්ණයෙන් ගැනීම දතයුතුය.
ශ්‍රෝතධාතු විශුද්ධි ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
52. චෙතොපරිය ඤාණ නිර්දේශ වර්ණනාව
චෙතොපරියඤාණ නිර්දේශයෙහි, සො එවං පජානාති යනු දැන් කිවයුතු විධානය පෙන්වයි. ඉදං රූපං සොමනස්සින්‍ද්‍රිය සමුට්ඨිතං ආදිය ආදිකර්මික ධ්‍යායීහු විසින් පිළිපැදිය යුතු විධානයයි. කෙසේද? එම ඤාණය උපදවනු කැමැති, ධ්‍යානලාභියා විසින් ප්‍රථමයෙන් දිව්‍ය චක්‍ෂු ඤාණය උපදවාගත යුතුය. එය දිව්‍ය චක්‍ෂු ඤාණ වශයෙන් සිද්ධ වේ. එය එයට පරිකර්මයි. එහෙයින් ඒ භික්‍ෂුව විසින් ආලෝකය වඩා දිවැසින් අන්‍යයාගේ හෘදය රූපය ඇසිරිකොට පවත්නා ලෝහිත වර්ණය දැක දැක සිත සෙවිය යුතුය. එම ලෝහිතය සෝමනස්ස සහගත කුසල් සිත පවත්නා කල්හි ඉදුණු නුගඵල වර්ණ රක්ත වර්ණ වේ. සෝමනස්ස සහගත අකුසල් සිත පවත්නා කල්හි එයම කැළඹුණේ වෙයි. දෝමනස්ස සහගත අකුසල් සිත් පවත්නා කල්හි, දඹපලවන් කැළැඹුණු කාල වර්ණ වේ. උපේක්‍ෂා සහගත කුසල් සිත් පවත්නා කල්හි තලතෙල් වර්ණ වූයේ ප්‍රසන්න වේ. අකුසල උපේක්‍ෂා සහගත සිත් පවත්නා කල්හි එයම කැළැඹුණේ වෙයි. එහෙයින් එය කරණකොට, මෙම රූපය සෝමනස්ස ඉන්‍ද්‍රියයෙන් හටගත්තේය. මෙම රූපය දෝමනස්ස ඉන්‍ද්‍රියයෙන් හටගත්තේය. මෙම රූපය උපේක්‍ෂා ඉන්‍ද්‍රියයෙන් හටගත්තේ යයි අන්‍යයාගේ හෘද ලෝහිත වර්ණය දැක සිත සොයන්නහු විසින් චෙතොපරියඤාණය ශක්තිමත් කළයුතුය. මෙසේ ශක්තිමත් වූ කල්හි එහි අනුක්‍රමයෙන් සියලුම කාමාවචරාදි භේදවූ සිත හෘදය රූප දර්ශනයෙන් තොරව සිතින් සිත සංක්‍රමණය වන්නේ දැනගනී. අටුවාවෙහි කියන ලදි –