5. සම්මර්ශන ඤාණ නිර්දේශ වර්ණනාව
සම්මස්සන ඤාණ නිර්දේශයෙහි, යංකිඤ්චි යනු සේස රහිතව ගැනීම, රූප යනු අතිශය ඇල්මේ නියමයයි. මෙසේ දෙපදයෙන්ම රූපයාගේ අනවශේෂයෙන් තෘෂ්ණා ග්‍රහණය දක්වයි. නැවත එහි අතීතාදී වශයෙන් බෙදීම අරඹයි. එය වනාහි කිසිවක් අතීතය කිසිවක් අනාගතය යැයි භේදයකි. වේදනාදීන්හි එම ක්‍රමයමැයි. පළමුව එහි රූපය, අද්ධ, සන්තති, සමය, ක්‍ෂණ වශයෙන් අතීතය සතරාකාරයි. අනාගත වර්තමානයද එසේය. එහි කාල වශයෙන්, එක් රූපයකට එක් භවයෙක්හි ප්‍රතිසන්ධි පූර්වයෙහි අතීතයි. චුතියෙන් මත්තෙහි අනාගතයි. ද්වයන්තර වර්තමානයයි. නොකඩවා පැවතීම් වශයෙන් සමාන එක් සෘතුවක් තුළ හටගැනීම එක් අහරකින් හටගැනීම පූර්වාපර භාවයෙන් පවත්නේ වර්තමානයි. ඉන් පෙර අසමාන සෘතු ආහාරයෙන් හටගත්තේ අතීතයි. පසුව වන්නේ අනාගතයි. චිත්තරූප එක් වීථියක, එක් ජවනයක, එක් සමවතක හටගත්තේ වර්තමානයි. ඉන් පෙර වූයේ අතීතයි. පසුව හටගන්නේ අනාගතයි. කර්මජ රූපවල නොකඩවා පැවතීම් වශයෙන් වෙන් වෙන් අතීතාදී භේද නැත. එම සෘතු, ආහාර චිත්ත සමුට්ඨානයන්ට, උපකාර කිරීම් වශයෙන් එහි අතීතාදී භාවයන් දතයුතුය. කාල වශයෙන්, එක් මොහොතක්, පෙරවරු, පස්වරු, රෑදවල් ආදී කාලයන්හි සිත් පරම්පරා වශයෙන් පවත්නා ඒ ඒ කාලය වර්තමානය නමැ. ඉන් පෙර අතීතයි. පසු හටගැනීම් අනාගතයි. ක්‍ෂණ වශයෙන් උත්පාදාදී ක්‍ෂණත්‍රයට ඇතුළත් වූයේ වර්තමානයයි. ඉන් පූර්වයෙහි අනාගතයි. පසුව වූයේ අතීතයි. තවද, ඉක්මගිය හේතු ප්‍රත්‍යය කෘත්‍යය අතීතයි. නිමියා වූ හේතුකෘත්‍යයද, නොනිමි ප්‍රත්‍යය කෘත්‍යයද වර්තමානයි. අසම්ප්‍රාප්ත දෙකිස් අනාගතයි. ස්වකෘත්‍යක්‍ෂණයෙහි හෝ වර්තමානයි. ඉන් පෙර අනාගතයි. පසු අතීතයි. මෙහිද, ක්‍ෂණ ආදී කථා වෙනස් නොකළ හැකිය. සෙස්ස වෙනස් කළ හැකිය.
අජ්ඣත්තං යනු පංච ස්කන්ධයන්හි ස්වකීය ශරීරය අදහස් කරන ලදී. එහෙයින් තමාගේ සන්තානයෙහි පවත්නා වෙන්වූ පෞද්ගලික රූප අජ්ඣත්තයයි දතයුතුය. ඉන් පිටත වූ, ඉන්‍ද්‍රිය බද්ධ වූ හෝ ඉන්‍ද්‍රිය බද්ධ නුවූ හෝ රූපය බහිද්ධා නමැ. ඔළාරිකං යනු ඇස්, කන්, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සංඛ්‍යාත වූ පෘථුවි ගිනි, වායු යන දොළොස් ආකාර රූප ගැටීම් වශයෙන් ගතයුතු හෙයින් ඕළාරික නමැ. සෙසු ජලය, ස්ත්‍රීන්‍ද්‍රිය, පුරුෂෙන්‍ද්‍රිය, ජීවිතේන්‍ද්‍රිය, හෘදය වස්තුව, ඕජාව, ආකාශ වස්තුව, කාය, වචී, විඤ්ඤප්ති, රූපයාගේ ලිහිල් බව, මෘදු බව, කර්මණ්‍යතාව, උපචය, සන්තති, ජරතා අනිත්‍යාදී සොළොස් ආකාර රූප ගැටීම් වශයෙන් නොගතයුතු හෙයින් සුඛුමං නමැ. හීනංවා පණීතංවා යන මෙහි උසස් පහත් බව, වෙනස් කළහැකි හා වෙනස් කළ නොහැකි අයුරින් දතයුතුය. අකනිට්ඨයන්ගේ රූපයට වඩා සුදර්ශියේ රූප හීනය. එයම සුදර්ශියේ අනුව බලනවිට ප්‍රණීතය. මෙසේ නිරය දක්වා සත්ත්වයින්ගේ රූපයන් වෙනස් කළහැකි අයුරින් හීන ප්‍රණීතතා දතයුත්තාහ. වෙනස් නොකළ හැකි අයුරින් බලනවිට යම්තැනක අකුසල විපාක උපදීද, එය හීනය. යම්තැනක කුසල් විපාක උපදීද, එය ප්‍රණීතය. යං දූරෙ සන්තිකෙ යන මෙහි යමක් සියුම්ද එයම අවබෝධය දුෂ්කර ස්වභාව හෙයින් දූරෙනමැ. යමක් දැඩිද එයම අවබෝධ කරගැනීම පහසු හෙයින් සන්තිකෙ නමැ.
සබ්බං රූපං අනිච්චතො වවත්‍ථපෙති. එකං සම්මසනං දුක්ඛතො වවත්‍ථපෙති එකං සම්මසනං අනත්තතො වවත්‍ථපෙති එකංසම්මසනං යන මෙහි මේ භික්‍ෂුව යම්කිසි රූපයක් යැයි මෙසේ අනියමින් දක්වන ලද රූපය, අතීත ත්‍රිකයෙන්ද, සිව් ආධ්‍යාත්මිකාදී, ද්වයයෙන්ද යන එකොළෙස් අවකාශයන්ගෙන් පිරිසිඳ, සියලු රූප අනිත්‍ය වශයෙන් විභාග කරයි. අනිත්‍යයැයි මෙනෙහි කරයි. කෙසේද? වෙනත් කියන ලද පරිද්දෙන්, කියන ලද්දේමය. අතීත, අනාගත, වර්තමාන රූප ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයි. එහෙයින් ඒ යම් අතීත රූපයක් වූයේද එය යම්හෙයකින් අතීතයෙහිදීම ක්‍ෂය වූයේද? මේ භවයට නොපැමිණියේය. ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයි. යම් අනාගත රූපයක් අනතුරු භවයෙහි උපදින්නේද, එයද එහිම ක්‍ෂය වන්නේය. ඉන් මත්තෙහි භවයකට නොයන්නේය. ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයි. වර්තමාන රූපය එය මෙහිම ක්‍ෂය වෙයි. මෙයින් ඉදිරියට නොයයි. ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයි. යම් අධ්‍යාත්මික රූපයක් වේද? එයද අධ්‍යාත්මයෙහි ක්‍ෂය වෙයි. පිටත නොයේ යයි ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයි. යම් පිටත දළ, සියුම්, හීන, ප්‍රණීත, දුර, ළඟ රූප වෙත්ද, එයද එහිම ක්‍ෂය වේ. දුරබවට නොයයි. ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයයි මෙනෙහි කරයි. මේ සියල්ල ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයි. ඒ ආකාරයාගේ වශයෙන් එක් සම්මර්ශනයකි. ප්‍රභේද වශයෙන් වනාහි එකොළොස් ආකාර වේ.
ඒ සියල්ලම බිය ගෙනදෙන අර්ථයෙන් දුකයයි මෙනෙහි කරයි. බිය අර්ථයෙන් යනු බිය සහිත භාවයෙනි. යමක් අනිත්‍යද එය බිය එළවයි. සීහෝපම සූත්‍රයෙහි දෙවියන්ට මෙනි. මෙසේ මෙයද බිය ගෙනදෙන අර්ථයෙන් දුකය ඒ වශයෙන් එක් මෙනෙහි කිරීමකි. ප්‍රභේද වශයෙන් වනාහි එකොළොස් ආකාර වේ.
දුක යම්සේද සියල්ලම මෙසේයි. එය අසාර අර්ථයෙන් අනාත්මයැයි මෙනෙහි කරයි. අසාරකාර්ථයෙන් යනු: ආත්ම, වසන්නා, කරන්නා, විඳින්නා ස්වයං වසී යන මෙසේ පරිකල්පනය කරන ලද, ආත්ම සාරයාගේ අභාවයෙන්: යමක් අනිත්‍යයද? දුකද? එය ආත්ම වශයෙන්ද අනිත්‍යයි. උදය-ව්‍යය. පීඩා හෝ වළක්වන්ට නොහැකිවේද? එහි කාරකාදී බවක් කොයින්ද? එහෙයින් දෙසූහ. මහණෙනි, මෙම රූපය ආත්මය වන්නේද? එසේනම් මෙම රූපය ආබාධ සඳහා නොපවතින්නේය ආදිය. මෙසේ මෙය අනාත්ම, නිසරු අර්ථයෙන්දැයි යන එය වශයෙන් එක් මෙනෙහි කිරීමකි. ප්‍රභේද වශයෙන් වනාහි එකොළොස් ආකාර වේ. වේදනාදින්හිද එම ක්‍රමයමැයි. මෙසේ එක් එක් ස්කන්ධයෙහි එකොළහ, එකොළහ බැගින් කොට පංචස්කන්ධයන්හි පස් පනස් මෙනෙහි කිරීම් වෙයි. අනිත්‍ය වශයෙන් පනස්පහයි. දුක් වශයෙන් පනස් පහයි. අනාත්ම වශයෙන් පනස් පහකැයි ත්‍රිවිධ නුවණින් බැලීම් වශයෙන් සියල්ල එකසිය හැටපහක් මෙනෙහි කිරීම් වෙයි.