44-49. විවට්ට ඤාණ ඡක්ක නිර්දේශ වර්ණනාව
විවට්ට ඤාණ චක්‍ර නිර්දේශයෙහි, නෙක්ඛම්මාධිපවත්තා පඤ්ඤා යනු නෛෂ්ක්‍රම්‍ය අධික කොට, නෛෂ්ක්‍රම්‍ය අධික භාවයෙන් පවත්නා ප්‍රඥාව. කාමච්ඡන්‍දතො සඤ්ඤාය විවට්ටති යනු නෛෂ්ක්‍රම්‍යාධිපතිව කළ ප්‍රඥා සම්ප්‍රයුක්ත සංඥාවට හේතු වූ කරුණු වූ කාමච්ඡන්‍දයෙන් පෙරැලේ. පරාර්වර්තනය වේ. පරාම්මුඛ වේයයි අර්ථයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි.
කාමච්ඡන්‍දො නානත්තං යනු කාමච්ඡන්‍දය ශාන්ත පැවතුම් නොමැති හෙයින්, ඒකස්වභාව නොවේ. නෙක්ඛම්මං එකත්තං යනු නෛෂ්ක්‍රම්‍යය ශාන්ත පැවතුම් ස්වභාව හෙයින් ඒකස්වභාවයැ. නෙක්ඛම්මෙකත්තං චෙතයතො යනු කාමච්ඡන්‍දයෙහි ආදීනව දර්ශනයෙන් නෛෂ්ක්‍රම්‍ය පවත්වන කල්හි කාමච්ඡන්‍දතො චිත්තං විවට්ටති යනු දිටි ආදීනව හෙයින් කාමච්ඡන්‍දයෙන්, නෛෂ්ක්‍රම්‍ය ක්‍ෂණයෙහි සිත පෙරැළේ. සෙස්සෙහිද එම ක්‍රමයමැයි.
කාමච්ඡන්‍දං පජහන්තො යනු නෛෂ්ක්‍රම්‍යය පැවැති ක්‍ෂණයෙහි කාමච්ඡන්‍දය විෂ්කම්භන ප්‍රහාණයෙන් දුරු කරනුයේ, නෙක්ඛම්ම වසෙන චිත්තං අධිට්ඨාති යනු ලද නෛෂ්ක්‍රම්‍යයාගේ වශයෙන් ඒ හා සම්ප්‍රයුක්ත සිත අධිකව සිටී. අධික කරමින් සිටියි. පවත්වයි යන අර්ථයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි.
චක්ඛු සුඤ්ඤං අත්‍ථෙන වා යනු අඥාන ජනයා විසින් පරිකල්පිත, කාරක, වේදක සංඛයාත ආත්මයෙහි අභාවය හෙයින් චක්‍ෂුස ආත්මයෙන් ශූන්‍යයි. යමක් යම්තැනක නොවේද? එහෙයින් එය ශූන්‍ය නම් වේ. අත්තනියෙනවා යනු තමාගේ ස්වභාවයෙන්ම තමා සතු කිසියම් දැයක අභාවයෙන් තම සන්තකයෙන්ද ශූන්‍යය. ලෝකයාගේ ආත්මය කියා හෝ ආත්මනීය යයි යන දෙයාකාරයෙන් ග්‍රහණය නොයෙදෙන හෙයින්, ඒ දෙවදෑරුම් ග්‍රහණ වැළැක්වීම සඳහා ආත්ම අභාවයද, ආත්මනීය අභාවයද යූ.සේයි. නිච්චෙන වා යනු භංගය ඉක්මවා සිටියහුට කිසිවක් නොමැති හෙයින් නිත්‍යතායෙන් ශූන්‍යයි. ධුවෙනවා යනු ප්‍රවෘත්ති ක්‍ෂණයෙහිද, තිර කිසිදැයක අභාවය හෙයින් සැමදා පවත්නා බවින් ශූන්‍යයි. අවිපරිණාම ධම්මෙනවා යනු ජරා භංග නොපෙරළෙනු ලබන ස්වභාව සහිත කිසිදැයක අභාවය හෙයින් නොවෙස්වන ස්වභාවයෙන්ද ශූන්‍යයි. නොහොත් නිත්‍ය භාවයෙන්ද, තිර භාවයෙන්ද ශාස්වත භාවයෙන්ද, නොවෙනස්වන ස්වභාවයෙන්ද ශූන්‍යයයි අර්ථයි. වා ශබ්දය එක්කිරීම් අර්ථයෙහිය. යථාභූතං ජානතො පස්සතො යනු මෙසේ මේ අනාත්මතාවයි. නැවත නැවත බැලීම් ඤාණයෙන් යථා ස්වභාවයෙන් දැනගන්නහුට, ඇසින් විසමව බලන්නහුට, චක්ඛාභිනිවෙසතො ඤාණං විවට්ටති යනු චක්‍ෂුස ආත්මයයි හෝ ආත්මයට අයත්යයි හෝ පවත්නා දෘෂ්ටිය තදින් ගන්නා ස්වභාවයෙන්, තදංග ප්‍රහාණ වශයෙන් ඤාණය පෙරැළේ. සෙස්සෙහිද එම ක්‍රමයමැයි.
නෙක්ඛම්මෙන කාමච්ඡන්‍දං වොස්සජ්ජති යනු නෛෂ්ක්‍රම්‍යලාභී පුද්ගලයා නෛෂ්ක්‍රම්‍යයෙන් එයට ප්‍රතිපක්‍ෂ කාමච්ඡන්‍දය අත්හරියි. වොස්සග්ගෙ පඤ්ඤා යනු කාමච්ඡන්‍දයෙහි අත්හැරීම් ස්වභාවය වූ නෛෂ්ක්‍රම්‍යයෙහි ඒ හා සම්ප්‍රයුක්ත ප්‍රඥාවයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. පීළනාර්ථාදීහු යට කියන ලද අර්ථයමය. පරිජානන්තො විවට්ටති යනු පුද්ගලාධිෂ්ඨාන දේශනාවයි. මාර්ගයුක්ත පුද්ගලයා දුකෙහි සිව් ආකාර අර්ථය කෘත්‍යය වශයෙන් විශේෂයෙන් දන්නේ දෙයාකාරයෙන් නැගිටීම් වශයෙන් පෙරැළේ. ඤාණ පෙරැළීමෙන්ද ඤාණයුක්තහු පෙරැළේ යයි යූ.සේයි.
තථට්ඨෙ පඤ්ඤා යනු එම පුද්ගලයාගේම සත්‍යාර්ථයෙහි පෙරැළීම් ප්‍රඥාවයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. දැන් මාර්ගක්‍ෂණයෙහිම කෘත්‍ය වශයෙන්, ආකාර නානත්‍ව වශයෙන් ෂට් පෙරැළීම් ඤාණයන් දක්වන්ට සඤ්ඤා විවට්ට යැයි ආදී මාතෘකා තබා එය අර්ථ වශයෙන් මනාව බෙදන්නේ හඳුනන්නේ පෙරැළේ යයි ආදිය වදාළහ. එහි සඤ්ජානන්තො විවට්ටතීති = සඤ්ඤාවිවට්ටොයි යම් හෙයකින් යෝගියා පූර්වභාග නෛෂ්ක්‍රම්‍යාදිය ප්‍රධානත්වයෙන් හදුනන්නේ පසුව නෛෂ්ක්‍රම්‍ය සම්ප්‍රයුක්ත ඤාණයෙන් කාමච්ඡන්‍දාදීන්ගෙන් පෙරැළේ. එහෙයින් ඒ ඤාණය සංඥා විවට්ට නමැයි අර්ථයි. චෙතයන්තො විවට්ටතීති = චෙතොවිවට්ටො යම් හෙයකින් යෝගියා නෛෂ්ක්‍රම්‍යයෙහි ඒකත්‍වාදීන් සිතන්නේ ඒ හා සම්ප්‍රයුක්ත ඤාණයෙන් කාමච්ඡන්‍දාදීන්ගෙන් පෙරැළේ. එහෙයින් ඒ ඤාණය චෙතො විවට්ට නමැයි අර්ථයි. විජානන්තො විවට්ටතීති = චිත්ත විවට්ටො යනු යම්හෙයකින් යෝගියා නෛෂ්ක්‍රම්‍යාදී වශයෙන් සිතෙහි අධිෂ්ඨානයෙන් මනාව දන්නේ ඒ හා සම්ප්‍රයුක්ත ඤාණයෙන් පෙරැළේ. එහෙයින් ඒ ඤාණය චිත්ත විවට්ට නමැයි අර්ථයි. ඤාණං කරොන්තො විවට්ටතීති = ඤාණවිවට්ටො යෝගියා සවැදෑරුම් ආධ්‍යාත්මිකායතන අනාත්මානුපස්සනා ඤාණයෙන් ශූන්‍යතාකාරයෙන් තමා දැනුවත් කරන්නේ, එම ඤාණයෙන්ම දෘෂ්ටි වශයෙන් තදින් එල්බ ගැනීමෙන් පරාවර්තනය කෙරේ. එහෙයින් එම ඤාණය ඥාන විවර්ත නමැයි අර්ථයි. වොස්සජන්තො විවට්ටතීති විමොක්ඛ විවට්ටො යනු යෝගියා නෛෂ්ක්‍රම්‍යාදීන්ගෙන් කාමච්ඡන්‍දාදීන් අත්හරින්නේ ඒ හා යෙදුණු ඤාණයෙන් කාමච්ඡන්‍දයෙන් පෙරැළේ. එහෙයින් එම ඤාණය විමොක්ඛ විවට්ට නමැයි අර්ථයි. තථට්ඨෙ විවට්ටතීති සච්චවිවට්ටො යනු යෝගියා සිව්ආකාර සත්‍යාර්ථයෙහි දෙඅයුරින් නැගිටීම් වශයෙන් පෙරැළේ. එහෙයින් මාර්ග ඥානය සත්‍ය විවර්ත නමැයි අර්ථයි. මාර්ග ඤාණයම චිත්තාර්ථයෙහි දෙඅයුරින් නැගිටීම් භාවයෙන් පෙරැළේනුයි සත්‍ය විවර්තයි අර්ථයි.