41-42. ක්ෂාන්ති ඤාණ පරියොගාහන ඤාණ නිර්දේශ වර්ණනා
ක්ෂාන්ති ඤාණ හාත්පසින් බැසගන්නා වූ ඤාණ නිර්දේශයන්හි, රූපං අනිච්චතො විදිතං යනු අනිත්යානුපස්සනාවෙන් අනිත්යයයි දන්නා ලද්දේ, රූපං දුක්ඛතො විදිතං යනු දුක්ඛානුපස්සනාවෙන් දුකයයි දන්නා ලද්දේ, රූපං අනත්තතො විදිතං යනු අනාත්මානුපස්සනාවෙන් අනාත්ම යයි දන්නා ලද්දේ, යං යං විදිතං තං තං ඛමති යනු යම් යම් රූපයක් අනිත්යාදී වශයෙන් දන්නා ලද්දේද, ඒ ඒ රූපය අනිත්යාදී වශයෙන් ඉවසයි. රුචි වේ. රූපය අනිත්ය වශයෙන් දන්නා ලද්දේ, යම් යම් දැයක් දන්නා ලද්දේද? ඒ ඒ දෑ ඉවසයි යයි වෙන් වෙන්කොට සමහර පොත්වල ලියන ලදි. වේදනා, සංඥා, සංස්කාර, අනිත්ය වශයෙන් දන්නා ලද්දේයයි ලිංග වචන, පෙරළා යෙදිය යුත්තාහ. ඵුසති යනු විදර්ශනා ඤාණ ස්පර්ශයෙන් ස්පර්ශ කරයි. පැතිරේ. පරියොගහති යනු විදර්ශනා ඤාණයෙන් පිවිසේ. පරියොගාහතියිද පාඨයි.
ක්ෂාන්ති ඤාණ පරියොගාහන ඤාණ නිර්දේශ වර්ණනා නිමි.
43. ප්රදේශ විහාර ඤාණ නිර්දේශ වර්ණනාව
ප්රදේශ විහාර ඤාණ නිර්දේශයෙහි, යම් ආකාරයකින් මාතෘකාවෙහි උදෙසන ලද, ප්රදේශය ප්රත්යවේක්ෂා කටයුතුද? එය දක්වන්නේ ‘මිථ්යා දෘෂ්ටි ප්රත්යයෙන්ද විඳීම’ යැයි ආදිය වදාළහ. එහි - මිච්ඡාදිට්ඨි පච්චයා යනු දෘෂ්ටි සම්ප්රයුක්ත වේදනාවද වටී. දෘෂ්ටිය උපනිශ්රයකොට උපන් කුසල් අකුසල් වේදනාද විපාක වේදනාද, එහි මිථ්යා දෘෂ්ටි සම්ප්රයුක්ත අකුසලම වේ. දෘෂ්ටිය උපනිශ්රයකොට කුසල්ද අකුසල්ද උපදී. මිථ්යාදෘෂ්ටිකයෝ දෘෂ්ටිය උපනිශ්රයකොට කාලපක්ෂ, ශුක්ල පක්ෂ දිනයන්හි කැඳබත් ආදිය දෙති. අන්ධ, කුෂ්ට ආදීන්ට වැටුප් පිහිටුවති. සිව්මංසල්හි විශ්රාමශාලා කරති. පොකුණු හාරති. පුෂ්පාරාම ඵලාරාම රෝපණය කරති. ගංගා දුර්ගම ස්ථානයන්හි ඒදඬු අතුරති. විසම ස්ථාන සම කරති. මෙසේ ඔවුන්ට කුසල වේදනා උපදී. මිථ්යා දෘෂ්ටිය නිසා සම්යක් දෘෂ්ටිකයන්ට අක්රෝශ කරති. පරිභව කරති. වධබන්ධනාදිය කරති. ප්රාණීන් මරා දේවතාවුන්ට එළවති. මෙසේ ඔවුන්ට අකුසල් වේදනා උපදී. භවන්තරගත වූවන්ට විපාක වේදනා වෙයි. ඒ මිථ්යාදෘෂ්ටිය සමග හටගත් වේදනාවට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්ප්රයුක්ත, අත්ථි, අවිගත ප්රත්යයන්ගෙන් ප්රත්යය වෙයි. සමනන්තර නිරුද්ධ මිථ්යා දෘෂ්ටිය වර්තමාන මිථ්යා දෘෂ්ටි සම්ප්රයුක්ත වේදනාවට, අනන්තර, සමනන්තර උපනිශ්රය, ආසේවන, නත්ථි, විගත යන ප්රත්යයන්ගෙන් ප්රත්යය වෙයි. මිථ්යා දෘෂ්ටිය ගරුකොට සතුටුවන්නහුගේ ලෝභ සහගත වේදනාවට, ආරම්මණ අධිපති, ආරම්මණ උපනිශ්රය ප්රත්යයන්ගෙන් ප්රත්යය වෙයි. සියලු අකුසලයන්හි, මිථ්යා දෘස්ටි ආරම්මණ මාත්රය කරන්නහුට, සියලු අකුසල් වේදනාවෙහි, මිථ්යාදෘෂ්ටිය, ප්රත්යවේක්ෂා කරමින්, විදර්ශනා කරන්නහුට, කුසලාව්යාකෘත වේදනා වශයෙන් ආරම්මණ ප්රත්යයෙන් ප්රත්යය වේ. මිථ්යාදෘෂ්ටි හේතුවෙන් උපදින්නා වූ කුසලාකුසල වේදනාවන්ට භවන්තර විපාක වේදනාවන්ට උපනිශ්රය ප්රත්යයෙන් ප්රත්යය වේ.
මිච්ඡාදිට්ඨි වූපසම පච්චයා යනු මිථ්යාදෘෂ්ටි සන්සිඳීම නම් සම්යක් දෘෂ්ටියයි. සම්යග් දෘෂ්ටි ප්රත්යයෙන් යම් විඳීමක් කියන ලද්දේද? එයම මිථ්යාදෘෂ්ටි සන්සිඳීම් ප්රත්යයයි දතයුතුය. සමහරු වනාහි මිථ්යා දෘෂ්ටි සන්සිඳීම නම් විදර්ශනා ක්ෂණයෙහි සෝවාන් ඵලක්ෂණයෙහි යයි කියති.
සම්මා දිට්ඨි පච්චයාපි වෙදයිතං යනු මෙහිද සම්යග් දෘෂ්ටි සම්ප්රයුක්ත වේදනාවද සුදුසුය. සම්යක් දෘෂ්ටිය උපනිශ්රයකොට උපන් කුසලාකුසල වේදනාවද, විපාක වේදනාවද වේ. එහි සම්යග් දෘෂ්ටි සම්ප්රයුක්ත වූවාහු කුසල්ම වේ. සම්යග් දෘෂ්ටිය උපනිශ්රයකොට, බුද්ධපූජා, පහන් පූජා, මල් රෝපණ, මහා ධර්මශ්රවණ, නොපිහිටි දිසාභාගයන්හි චෛත්යයන් පිහිටුවීමය යන මේ ආදී පින් කරත්. මෙසේ ඔවුන්ට කුසල වේදනා උපදී. සම්යග් දෘෂ්ටියම නිසා මිථ්යාදෘෂ්ටිකයින්ට අක්රොශ කරති. පරිභව කරති. තමා උසස්කොට සලකති. අනුන් පහත්කොට සලකති. මෙසේ ඔවුන්ට අකුසල් වේදනා උපදියි. විපාක වේදනා භවන්තරගත වූවන්ටම වෙයි. එම සම්යග් දෘෂ්ටිය සමග හටගත්, සමනන්තර නිරුද්ධ වූ, වර්තමාන වේදනාවට, මිථ්යාදෘෂ්ටියෙහි කියන ලද ප්රත්යයන්ගෙන් ප්රත්යය වන්නේය. ලෞකික සම්යග් දෘෂ්ටිය ප්රත්යවේක්ෂණ සම්ප්රයුක්ත, විදර්ශනා සම්ප්රයුක්ත නිකන්ති සම්ප්රයුක්ත වේදනාවට ආරම්මණ ප්රත්යයෙන් ප්රත්යය වේ. මිථ්යා දෘෂ්ටියට කියන ලද අයුරින්ම උපනිශ්රය ප්රත්යයෙන් ප්රත්යය වේ. මාර්ගඵල සම්යග් දෘෂ්ටි ප්රත්යවේක්ෂණ සම්ප්රයුක්ත වේදනාවට, ආරම්මණ, ආරම්මණාධිපති ආරම්මණ උපනිශ්රය ප්රත්යය වශයෙන් ප්රත්යය වේ.