34. නිරෝධ සමාපත්ති ඤාණ නිර්දේශ වර්ණනාව
නිරෝධ සමාපත්ති ඤාණ නිර්දේශයෙහි, සමථ බලං යනු කාමච්ඡන්‍දාදී විරුද්ධ ධර්මයන් සමනය කෙරේනුයි සමථයි. එයම කම්පා නොවන අර්ථයෙන් බලයයි. අනාගාමී රහතුන්ටම සමාධියට ප්‍රතිපක්‍ෂ කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණයෙන් සමාධියෙහි සම්පූර්ණ භාවයට පත්හෙයින් ඔවුන්ගේම සමාධිය බලප්‍රාප්තයයි නිශ්චිතකොට සමථ බලය යැයි යූ.සේයි. අන්‍යයන්ට නොවේ. සමාධි බලය යැයිද පාඨයි. විපස්සනා බලං යනු අනිත්‍යාදී වශයෙන් විවිධ ආකාරයන්ගෙන් ධර්මයන් බලයිනුයි විදර්ශනාවම කම්පා නොවන අර්ථයෙන් බලයයි. ඒ දෙයාකාරයෙන්ම බලප්‍රාප්ත විදර්ශනා ඥානය. එහි සමථ බලය පිළිවෙලින් සිත් සතන් සන්සිඳුවීම සඳහායි. නිරෝධයෙහිද සම්පාදනය සඳහායි. විදර්ශනා බලය පැවති කල්හි ආදීනව දැක්ම සඳහාද, නිරෝධයෙහි අනුසස් දැකීම සඳහාද වේ.
නීවරණෙ නිමිත්තාර්ථයෙහි සත්තමීයි. නීවරණ නිමිතිකොට නීවරණ ප්‍රත්‍යය කොටයැයි අර්ථයි. කරණාර්ථයෙහි හෝ සත්තමීයි. නීවරණයන් කරණකොට යන අර්ථයි. න කම්පති යනු ධ්‍යාන යුක්ත පුද්ගලයා නොහොත්, ධ්‍යානයයි ධ්‍යානාංගයන් අදහස් කළ හෙයින්, ප්‍රථම ධ්‍යානයෙන් ඒ හා සම්ප්‍රයුක්ත සමාධිය නීවරණයන්ගෙන් කම්පා නොවේ. මෙහි මෙයම යෙදීම ලෙස ගතයුතුය. උද්ධච්චෙ යනු, නොසන්සුන් සහගත චිත්තොත්පාදයෙහිද නොසන්සුන්කමෙහිද, උද්ධච්චං යනු එසවූ බවයි. එය නොසන්සුන් ලක්‍ෂණයි. උද්ධච්ච සහගත කිලෙසෙච යනු නොසන්සුන්කම සමග එකට යෙදුණු, ඒකෝත්පාදාදී භාවයන්හි ඇතුළත් වූ, නොසන්සුන්කම සමග එකට යෙදුණු මෝහ, අහිරික. අනොත්තප්ප ආදී ක්ලේශයන්, ඛන්‍ධෙච යනු නොසන්සුන්කම සමග එකට යෙදුණු සිව් ස්කන්ධයන්හි, න කම්පති නචලති නවෙධති යන අන්‍යොන්‍ය සමාන වචනයන්ය. නොසන්සුන්කමෙහි කම්පා නොවෙයි. නොසන්සුන්කම සමග එකට යෙදුණු ක්ලේශයන්හි නොසැලේ. නොසන්සුන්කම සමග එකට යෙදුණු ස්කන්ධයන්හි කම්පා නොවේයයි යෙදිය යුතුය. විදර්ශනා බලය සප්ත අනුපස්සනාවන්ගේ වශයෙන් කියන ලද හෙයින් ඒවාහිම වශයෙන් විදර්ශනා බලය සම්පූර්ණ වේයයි යූ.සේයි. අවිජ්ජායච යනු දොළොස් වැදෑරුම් අකුසල චිත්තොත්පාදයන්හි අවිද්‍යාවගේ, අවිජ්ජා සහගත කිලෙසෙච යනු සුදුසු පරිදි, අවිද්‍යාව හා එකට යෙදුණු ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, විචිකිච්ඡා, ථීනමිද්ධ, උද්ධච්ච, අහිරික අනොත්තප්ප යන කෙලෙස් වේ.
වචීසංඛාරා යනු විතර්ක විචාරයෝය. ඇවැත්නි, විශාඛය, කලින් කල්පනාකොට, සිතාබලා පසුව වචන බිඳියි. එහෙයින් විතර්ක විචාර වචී සංඛාර වෙතියි යන වචනයෙන්, වචන රැස්කරත්. උපදවත්නුයි වචී සංඛාරයි. කායසංඛාරා යනු ආශ්වාස ප්‍රශ්වාස; ඇවැත්නි විශාඛය ආශ්වාස ප්‍රශ්වාස කායිකය. ඒ ධර්ම කය හා බැඳී පවතී. එහෙයින් ආශ්වාස ප්‍රශ්වාස කාය සංස්කාරයයි යන වචනයෙන් කයින් රැස්කරනු ලැබෙත්නුයි කාය සංස්කාරයි. සඤ්ඤා වෙදයිත නිරොධං යනු සංඥාවගේද වේදනාවගේද නිරෝධයයි. චිත්ත සංඛාරා යනු සංඥාවද, වේදනාවද, ඇවැත්නි විශාඛය සංඥාව චෛතසිකයකි. එම ධර්ම සිත හා බැඳී පවතී. එහෙයින් සංඥාවද, වේදනාවද චිත්ත සංස්කාරයි යන වචනයෙන් සිතෙන් රැස්කෙරේනුයි චිත්ත සංඛාරයි.
ඤාණ චර්යාවන්හි, අනුපස්සනා වශයෙන් හෝ විවට්ටානුපස්සනා ග්‍රහණයෙන් හෝ එයට මුල්වූ චර්යා කථායෙහි කියන ලද, සෙසු අනුපස්සනාවෝද ගන්නා ලද්දෝ වෙත්යයි දතයුතුය. සොළසහි ඤාණචරියාහි යනු උත්කෘෂ්ට පරිච්ඡේදයෙන්, අනාගාමීහුට වනාහි අර්හත්, මාර්ග, ඵල හැර පූර්ණබව සහිත බැවින්, තුදුස් අයුරෙකින් වේ.
නවහි සමාධි චරියාහි යන මෙහි ප්‍රථමධ්‍යානාදී අටක්ද, ප්‍රථමධ්‍යානාදීන්ගේ ප්‍රතිලාභය සඳහා හැමතැන උපචාර ධ්‍යාන වශයෙන් එකක්දැයි සමාධි චර්යා නවයකි. බල චර්යාවන්ගේ කවර නානත්වයක්ද? සමථ බලයෙහිද, නෛෂ්ක්‍රම්‍ය වශයෙන් යන ආදි සත් අයුරකින් උපචාර සමාධි යූ.සේයි. පෙය්‍යාල විස්තර වශයෙන් ප්‍රථමධ්‍යාන වශයෙන් යනාදී සමසැත්තෑ වාරයන්ගෙන් සුදුසු පරිදි අර්පණා උපචාර සමාධිය යූ.සේයි. සමාධි චර්යායෙහිද, ප්‍රථමධ්‍යානය යන ආදී අට ක්‍රමයන්ගෙන් අර්පණා සමාධිය යූ.සේයි. පඨමජ්ඣානං පටිලාභත්‍ථාය යනාදී අට ක්‍රමයන්ගෙන් උපචාර සමාධිය කියන ලදැයි දෙඅයුරකින්ම අර්පණා උපචාර සමාධියම යූ.සේයි. මෙසේ ඇතිකල්හිද, කම්පානොවන අර්ථයෙන් බලතාවන් වසී භාවාර්ථයෙන් චර්යායයි දතයුත්තාහ. විදර්ශනා බලයෙහි වනාහි සප්ත අනුපස්සනාවන්ම විදර්ශනා බලය යැයි යූ.සේයි. ඤාණ චර්යායෙහි සප්ත අනුපස්සනා යූ.සේයි. විවට්ටානුපස්සනාදී නවයද විශේෂකොට යූ.සේයි. මේ ඒවායි නානත්‍වයයි. සප්ත අනුපස්සනා කම්පා නොවන අර්ථයෙන් බලයැයිද, වසී භාවාර්ථයෙන් චර්යායැයිද දතයුත්තාහ.
වසීභාවතා පඤ්ඤා යන මෙහි කියන ලද වසීහු විසඳීමට වසී යනු පඤ්චවසී යැයි ස්ත්‍රී ලිඟු වහරෙන් යූ.සේයි. එයම වසීයැයි යූ.සේයි. නැවත පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් ඒ වසීහු විසඳන්නේ ආවර්ජන වසී යනු ආදිය වදාළහ. ආවර්ජනයෙහි වසිය ආවර්ජන වසියයි. එය මොහුට ඇත්තේනුයි ආවර්ජන වසීයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. පඨමජ්ඣානං යත්‍ථිච්ඡකං යනු ගමෙහි හෝ අරණ්‍යයෙහි හෝ යම් යම් පෙදෙසක කැමැති වේද? ඒ ඒ තන්හි ආවර්ජනා කරයි. යදිච්ඡකං යනු සීත කාලයෙහි හෝ උෂ්ණ කාලයෙහි හෝ යම් යම් කාලයෙක්හි කැමැති වේද, එකල්හි ආවර්ජනා කරයි. නොහොත් කසිණාරම්මණ හෝ සෙසු අරමුණු වූ හෝ යම් යම් ප්‍රථමධ්‍යානයක් යම්තැනක කැමැති වෙත්ද? ඒ ඒ තන්හි ආවර්ජනා කරයි. එක් එක් කසිණාරම්මණ ධ්‍යානයාගේ වසීතාවයන්ගේ වශයෙන් කියන ලද හෙයින් ප්‍රථම යෝජනාවම වඩා යහපත්ය. යාවතිච්ඡකං යනු අසුරු සණක් පමණ හෝ සත්දින්ක පමණ වූ යම්තාක් කාලයක් කැමැති වේද? එපමණ කාලයක් ආවර්ජනය කරයි. ආවජ්ජනාය යනු මනෝද්වාරාවර්ජනයෙන්, දන්‍ධායිතත්තං සිය වසයෙහි නොපවත්නා බව හෝ අලස බව, සමාපජ්ජති යනු පිළිපදී, පමුණුවයි යන අර්ථයි. අධිට්ඨාති යනු සමවත තුළ අධික කොට සිටී. වුට්ඨානවසියං පඨමජ්ඣානං යනු පංචම්‍යාර්ථයෙහි ද්විතියා වචනයි. ප්‍රථම ධ්‍යානයෙන් යයි අර්ථයි. පච්චවෙක්ඛති යනු ප්‍රත්‍යවේක්‍ෂණ ජවනයන්ගෙන් නැවතී බලයි. මේ මෙහි පාළි වර්ණනාවයි.