35. පරිනිර්වාණ ඤාණ නිර්දේශ වර්ණනාව
පරිනිර්වාණ ඤාණ නිර්දේශයෙහි ඉධ යනු මෙම සස්නෙහි සම්පජානො යනු සාර්ථක, සත්ප්‍රාය, ගොචර, අසම්මොහ යන සිව් විමසන ඤාණයන්ගෙන් යුත්, පවත්තං යනු හැම තැන සුදුසු පරිද්දෙන් නැගී සිටීම් වශයෙන් පැවැත්මද, අනුසය වශයෙන් පැවැත්මද, පරියාදියති යනු; උපචාර අර්පණා වශයෙන් කියන ලද, විෂ්කම්භන වශයෙන්, විදර්ශනා වශයෙන් කියන ලද, තදංග වශයෙන් මාර්ග වශයෙන් කියන ලද, කෙලෙසුන් විනාශ කිරීම් වශයෙන් ක්‍ෂය කරයි. නොපැවැත්ම කරයි. පෙය්‍යාල මුඛයෙන් ද්විතීයාදී ධ්‍යාන සමාපත්ති විදර්ශනා මාර්ග සංක්‍ෂෙප කරන ලද්දාහ. එය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහුට පැවැති ඤාණය පරිනිර්වාණයෙහි ඤාණ නමැ. එහෙයින් විෂ්කම්භන, තදංග, සමුච්ඡෙද පරිනිර්වාණයැයි කියන ලද්දේම වේ. ඒවායින් කෙලෙස් පරිනිර්වාණය ප්‍රත්‍යවේක්‍ෂා ඤාණය යූ.සේයි. නොහොත් ‘පන’ යනාදීන්ගෙන් ස්කන්ධ පරිනිර්වාණය, ප්‍රත්‍යවේක්‍ෂා ඤාණය නිර්දේශ කරන්නේය. අනුපාදිසෙසාය නිබ්බාණාධාතුයා යනු නිර්වාණ ධාතුව දෙවදෑරුම්ය. සඋපාදිසෙස - අනුපාදිසෙස වශයෙනි. එහි මම, මගේ යයි තදින් ගනු ලැබේනුයිද, බොහෝ ගනු ලැබේනුයිද උපාදියි. එය ස්කන්ධ පංචකයට විශේෂ නාමයකි. තදින් ගැනීමම සේස වූයේ ඉතිරි වූයේනුයි උපාදිසේසයි. උපාදිසේසයන් සමග පවතීනුයි සඋපාදිසෙසයි. උපාදිශේෂයන් සහිත දෑ පළමුව කියන ලදි. මේ අනුපාදිශේෂයෝය. ඒ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන්, චක්ඛුපවත්ති යනු ඇසෙහි පැවැත්ම, ඇසෙහි පැවැතීම, පරියාදියති යනු ක්‍ෂය කරනු ලැබේ. මර්දනය කරනු ලැබේ. සෙස්සෙහිද එම ක්‍රමයමැයි.
පරිනිර්වාණ ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
36. සමසීසට්ඨ ඤාණ නිර්දේශ වර්ණනාව
සමසීසට්ඨ ඤාණ නිර්දේශයෙහි, පඤ්චක්ඛන්‍ධා යනාදීන්හි දසරාශින්ගෙන් සියලු ධර්ම සංග්‍රහය දතයුත්තේය. එක එක වශයෙන්, ආයතන ධාතු රාශින්ගෙන් තොර, සෙසු අටරාශින්හි වෙන් වෙන්ව සියලු ධර්ම සංග්‍රහ නොවේ. ලෝකෝත්තර ධර්ම හේතු නැසීමෙන් නැසිය යුත්තාහු නොවෙති. එහෙයින් සර්ව ධර්ම ශබ්දයෙන්, සංග්‍රහ කරන ලද ලෝකෝත්තර ධර්ම මුළුමනින් නැසීම් වශයෙන් යෙදෙන හෙයින් මෙහි නොගත යුත්තාහ. සම්මා සමුච්ඡින්‍දති සුදුසු පරිදි විෂ්කම්භන තදංග, සමුච්ඡෙද, ප්‍රහාණ වශයෙන් මැඩගෙන මතුවීම් වශයෙන්ද අප්‍රකටව පවත්නා වශයෙන්ද, නිරුද්ධ කරනුයේ මනාව සිඳියි. මෙසේ පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් මනාව නැසීම විස්තර කරන ලදි. නිරොධෙති යනු අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ කරයි. මෙයින් නැසීම් අර්ථය යූ.සේයි. න උපට්ඨාති යනු මෙසේ නිරුද්ධ කළ ඒ ඒ ධර්ම නැවත නොසිටියි. නූපදියි යන අර්ථයි. මෙයින් නිරෝධාර්ථය යූ.සේයි. මෙසේ නූපදින ධර්මයන්ගේ වශයෙන් නූපදින ස්වභාවය විස්තර කරන ලදි. සමං යනු කාමච්ඡන්‍දාදීන්ගේ සමනය කළ හෙයින් සමයි. ඒවා වනාහි නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ වශයෙන් සතකි. රූප අරූප ධ්‍යානයන්ගේ වශයෙන් අටකි. මහා විදර්ශනා වශයෙන් අටළොසකි. ආර්ය මාර්ග සතරදැයි තිස්හතක් වෙති.
තෙළෙස් ශීර්ෂ ශීර්ෂ වූ සියල්ලෙහි සංග්‍රහ වශයෙන් යූ.සේයි. මෙහි වනාහි ශ්‍රද්ධාදී අටශීර්ෂයෝම යෙදෙති. රහතුන්ට තෘෂ්ණාදී පඤ්ච ශීර්ෂයෝ නොමැත. පළිබොධ සීසං බාධාවීම පළිබෝධයයි නිර්වාණමාර්ග ආවරණයයි අර්ථයි. සීසං යනු ප්‍රධාන, අධිකය යන අර්ථයි. බාධාවම ශීර්ෂයි. ඒ හා එකට යෙදුණු සියලු බාධාවන්හිම ශීර්ෂයනුයි පළිබොධ සීසයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. විශේෂයෙන් වනාහි බන්‍ධනං යනු බැඳීමයි. උණ්ණතිකාම වශයෙන් සංසාරයෙහි බැඳීමයි. පරාමාසො යනු තදින් අල්වා ගැනීමයි. වික්ඛෙපො යනු විසුරුණු බව. කිලෙසො යනු කිලිටිවීමයි. අධිමොක්ඛො යනු ස්ථිර ලෙස පිහිටීම. පග්ගහො උත්සාහය උපට්ඨානං නොඉල්පීමයි. අවික්ඛෙපො යනු නොවිසුරුණු බවයි. දස්සනං යථා ස්වභාව අවබෝධයයි. පවත්තං යනු තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද ස්කන්ධයන්හි පැවැති; ගොචරො යනු අරමුණයි. මේ ද්වාසාකාර වාරයන්හි ප්‍රධානාර්ථය සීසාර්ථයි. විමොක්ඛො යනු විෂ්කම්භන, තදංග, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ යන පඤ්ච විමුක්තීන්හි නිස්සරණ, විමුක්ති සංඛ්‍යාත නිර්වාණයයි. සංඛාර සීසං යනු සියලු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයන්ගේ ශීර්ෂය, කෙළවර, අවසානය යන අර්ථයි. ඉන් අනුපාදිසේස පරිනිර්වාණය යූ.සේයි. සංස්කාර අභාවමාත්‍ර වශයෙන් හෝ ස්කන්ධ පරිනිර්වාණයම යූ.සේයි. නෛෂ්ක්‍රම්‍යාදී වූ සමයද ශ්‍රද්ධාදී වූ ශීර්ෂයද යන සමශීර්ෂයක් මොහුට ඇත්තේනුයි සමසීසියි. නොහොත්, තෙළෙස් ශීර්ෂයන්ගේ තෘෂ්ණාදී පඤ්ච ශිර්ෂයන් සමුදය සත්‍යයයි. ශ්‍රද්ධාදී පඤ්චකය මාර්ග සත්‍යයයි. ප්‍රවෘත්ත ශීර්ෂයද ජීවිතින්‍ද්‍රියද දුක්ඛ සත්‍යයයි. ගොචර ශීර්ෂයද, සංස්කාර ශීර්ෂයද, නිරෝධ සත්‍යයද යන මේ සිව් ආර්ය සත්‍යයන්ගේ එක් රෝගයක හෝ එක් ඉරියව්වක හෝ එක් සමාන ජීවිතේන්‍ද්‍රියක හෝ අවබෝධයද, අනුපදිසේස පරිනිර්වාණයද, යමෙකුට වෙයිද? හෙතෙම පෙර කියන ලද ‘සමයන්ගේද මේ ශීර්ෂයන්ගේද අස්තිත්‍වයෙන් සමසීසී යයි කියනු ලැබේ.
සමසීසට්ඨ ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
37. සල්ලෙකට්ඨ ඤාණ නිර්දේශ වර්ණනාව
සල්ලෙඛට්ඨ ඤාණ නිර්දේශයෙහි, රාගො පුථු රාගය වෙන්වූයේ ලෝකෝත්තර ධර්මයන් සමග මිශ්‍රනොවූ යන අර්ථයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. රාගො යනු ඇලීම් අර්ථයෙන්; දොසො යනු දූෂ්‍යවීම් අර්ථයෙන්; මොහො යනු මුළාවීම් අර්ථයෙන්; රාගය ඇලීම් ලක්‍ෂණයි. ද්වේෂය දූෂ්‍යවීම් ලක්‍ෂණයි. මෝහය මුළාවීම් ලක්‍ෂණයි යන ශීර්ෂ ක්ලේශත්‍රය කියා, දැන් ප්‍රභේද වශයෙන් දක්වන්නේ කොධො ආදිය වදාළහ. එහි කිපීම් ලක්‍ෂණය කොධොයි. මෙහි සප්ත වස්තුක වශයෙන් අදහස් කරන ලදි. වෛර බැඳීම් ලක්‍ෂණය උපනාහොයි. දෘඪභාවයට පත් ක්‍රෝධයමය. අන් ගුණ මැකීම් ලක්‍ෂණය මක්ඛොයි. අන්ගුණ අත්හැරීමයි යන අර්ථයි. යුගග්‍රාහී ලක්‍ෂණය පලාසොයි. යුගග්‍රාහ වශයෙන් අන්ගුණ දැක්මයයි යන අර්ථයි. අන් සම්පත් විනාශකරන ලක්‍ෂණය ඉස්සායි. අන්සම්පත් නොඉවසන ලක්‍ෂණයයි යන අර්ථයි. තම සම්පත් සඟවන ලක්‍ෂණය මච්ඡරියංයි. මාගේ සම්පත් අන්‍යයාට නොවේවා යන අර්ථයි. තමා කළ පව් වැසීම් ලක්‍ෂණය මායායි. වැසීම් අර්ථයෙන් මායාවක් මෙනැයි අර්ථයි. තමාගේ අවිද්‍යමාන ගුණ ප්‍රකාශන ලක්‍ෂණය සාඨෙය්‍යංයි. කපටිභාවය යන අර්ථයි. චිත්තයාගේ ඉදිමුණු බව ලක්‍ෂණකොට ඇත්තේ ථම්භොයි. ඉහළ නැගීම් ලක්‍ෂණය මානොයි. අතිශයින් ඉහළ නැගීම් ලක්‍ෂණය අතිමානොයි. මත්බව ලක්‍ෂණකොට ඇත්තේ මදොයී. පස්කම් ගුණයන්හි සිත මූර්ඡා වීම ලක්‍ෂණකොට ඇත්තේ පමාදොයි.