29-31. ඥානත්රය නිර්දේශ වර්ණනාව
ඤාණත්රය නිර්දේශයෙහි, නිමිත්තං යනු සංස්කාර නිමිත්තයි. අනිමිත්තෙ යනු සංස්කාර නිමිත්තට ප්රතිපක්ෂ නිර්වාණයෙහි. අධිමුත්තත්තා යනු එහි නිම්නතාවයෙන් සිතෙහි හළභාවය. ඵුස්ස ඵුස්ස වයං පස්සති යනු සංස්කාර නිමිත්ත ඤාණයෙන් ස්පර්ශකොට, එහි භංගය විදර්ශනා ඤාණයෙන්ම බලයි. එයින් භංගානුපස්සනාව සිද්ධය. එය අනිත්යානුපස්සනාව සිදුකරයි. අනිත්යයාගේ දුක් බැවිනි. එය දුක්ඛානුපස්සනාවයි. දුඃඛයාගේ අනාත්ම බැවින් එය අනාත්මානුපස්සනාව යැයි මෙසේ මෙහි ත්රිවිධ අනුපස්සනා යූ.සේයි. අනිමිත්තො විහාරො යනු නිමිත්ත භය වශයෙන් දුටු හෙයිාන් ඒ විදර්ශනාත්රය විහාරය අනිමිත්ත විහාරය නම් වේ. පණිධිං යනු තෘෂ්ණාවයි. අප්පණිහිතෙ යනු තෘෂ්ණා ප්රතිපක්ෂ නිර්වාණයෙහි. අභිනිවෙසං යනු ආත්මාභිනිවේශය. සුඤ්ඤතෙ යනු ආත්ම විරහිත නිර්වාණයෙහි, සුඤ්ඤතො යනු ශූන්යතා වශයෙන් පවත්නා ශූන්යයමය. අජ්ඣුපෙක්ඛිත්වා යනු විපාක ප්රවෘත්තිය සංස්කාරෝපේක්ෂාවෙන් මධ්යස්ථව බලා, සුගති සංඛයාත විපාක ප්රවෘත්තියෙහි සතුටුවන්නා වූ සත්ත්වයෝ, මේ ඵල සමවතට සමවදිනු කැමැත්තාහු, ඒ පැවති සියලු සංස්කාරගතයන්, අනිත්යාදී වශයෙන් බලා මධ්යස්ථ වෙත්මය. මෙසේ දුටුකල්හි ඵලසමවතට සමවදින්ට හැකිවේ. අන් අයුරකින් නොහැකි වේ. ආවජ්ජිත්වා යනු ආවර්ජනයෙන් ආවර්ජනය කොට, සමාපජ්ජති යනු ඵලසමවතට පිළිපදී. (සමවදී) අනිමිත්තා සමාපත්ති යනු නිමිත්ත භය වශයෙන් දැක සමවන් හෙයින් අනිමිත්ත සමාපත්ති නම් වේ. අනිමිත්ත විහාර සමාපත්ති යනු විදර්ශනා විහාර වශයෙන්ද ඵල සමාපත්ති වශයෙන්ද යන ඒ දෙයාකාරයෙන් වෙති.
දැන් සංස්කාර නිමිත්තම බෙදා දක්වන්නේ, රූප නිමිත්තං ආදිය වදාළහ. ජරා මරණ ග්රහණයෙහි කිවයුත්ත පෙර කියන ලද්දේමය. අනෙක් අනිමිත්ත විහාරයයි ආදීන්හි කියූ අයුරින්ම නිගමනයකොට දක්වයි. සංක්ෂෙපයෙන් විහාරට්ඨෙ ඤාණය නම් ඵල සමාපත්තියෙහි පූර්වභාගයෙහි වූ, සංස්කාරෝපේක්ෂා ඤාණයෙහි පැවති විදර්ශනා විහාර නානත්ව ඤාණයයි. සමාපත්යාර්ථයෙහි ඤාණය නම් ඵලසමාපත්ති නානත්වයෙහි ඤාණයයි. විහාර සමාපත්යාර්ථයෙහි ඤාණයනම් ඒ ද්වයයෙහි නානත්වයෙහි ඤාණයයි. විදර්ශනා විහාරයෙන් කල්යවනු කැමැත්තේ විදර්ශනා විහාරයම පවත්වයි. ඵලසමවත් විහාරයෙන්ම කල්යවනු කැමැත්තේ විදර්ශනා පිළිවෙලින් උත්සාහවත් වී ඵලසමවත් විහාරයම පවත්වයි. ඒ දෙඅයුරින්ම කල්යවනු කැමැත්තේ ඒ දෙකම පවත්වයි. මෙසේ පුද්ගල අධිප්රාය වශයෙන් ත්රිවිධව හටගති. මෙහි කිවයුතු සෙස්ස සංස්කාරෝපේක්ෂා ඤාණ වර්ණනාවෙහි කියන ලද්දේමය.
ඥානත්රය නිර්දේශ වර්ණනාව නිමි.
32. ආනන්තරික සමාධි ඤාණ නිර්දේශ වර්ණනාව
ආනන්තරික සමාධි ඤාණ නිර්දේශයෙහි, නෙක්ඛම්ම වසෙන යන ආදීන්හි නෛෂ්ක්රම්ය, අව්යාපාද, ආලෝක සංඥා, අවික්ෂෙප ධර්ම ව්යවස්ථාපන ඤාණය, ප්රමෝද්යාදීන් ඇතුළත්ය. ශුෂ්ක විදර්ශකයාට උපචාර ධ්යාන සම්ප්රයුක්ත ඒ ඒ ක්ලේශයට විරුද්ධ සත්වැදෑරුම් ධර්ම එක් සිතක් සමග සම්ප්රයුක්ත වූයේමය. චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො යනු එකඟතාවගේ ස්වභාවය ඒකාග්රතාවයි. එය කරණකොට නානා ආරම්මණයන්හි වික්ෂෙප නොවේනුයි අවික්ෂෙපයි. සිතෙහි ඒකාග්රතා සංඛයාත අවික්ෂෙපයයි අර්ථයි. සමාධි යනු එක් අරමුණෙක්හි සමව ඒ කරණකොට සිත පිහිටුවයිනුයි සමාධි නම් වේයයි අර්ථයි. තස්ස සමාධිස්ස වසෙන යනු උපචාර සමාධියෙන්ද සමාහිත සිතැත්තහුට යථා ස්වභාවයෙන් අවබෝධ වන හෙයින් කියන ලද ආකාරවත් සමාධියගේ වශයෙන්. උප්පජ්ජති ඤාණං යනු මාර්ග ඤාණය ක්රමානුකූලව උපදී. ඛීයන්ති මුළුමනින් නැසීම් වශයෙන් ක්ෂය වෙති. ඉති යනු කියන ලද ආකාර ඇති අර්ථයෙහි නිගමනයයි. පඨමං සමථො යනු පූර්වභාගයෙහි සමාධිය වේ. පච්ඡා ඤාණං යනු පසුකල්හි මාර්ගක්ෂණයෙහි ඤාණය වේ.
කාමාසවො යනු පඤ්චකාම ගුණයන්ට අයත් ඇල්මයි. භවාසවො යනු රූප අරූප භවයන්හි කැමැත්ත හා ඇල්මයි. ධ්යානයෙහි තෘෂ්ණාවද වේ. ශාස්වත දෘෂ්ටිය සමග හටගත් ඇල්මද, භව වශයෙන් ප්රාර්ථනාද වේ. දිට්ඨාසවො යනු දෙසැටක් මිථ්යා දෘෂ්ටීහු අවිජ්ජාසවො යනු දුක්ඛාදී අටතන්හි නොදැන්මයි. සත්තමී වචනයෙන් අවසර විචාරීමකොට, සෝවාන් මාර්ගයෙන් ආදී ක්රමයෙන් ආශ්රව ක්ෂය කරන මාර්ගයෙන් ආශ්රවක්ෂය දක්වා, ‘එත්ථ’ යන්නෙන් අවකාශ විසඳුම කරන ලදි. මාර්ගක්ෂණයෙහි යැයි යූ.සේයි. අනවසෙසො යනු එයට ඉතිරියක් නැත්තේනුයි අනවසෙසයි. අපායගමනීයො යනු නිරය, තිරිසන්යෝනිය, ප්රේතවිෂය, අසුරකාය යන සතර සුව සංඛ්යාත අයගෙන් පහවූ හෙයින් අපායයි. යමෙකුට එය විද්යමාන වේද? එම පුද්ගලයා අපායට පමුණුවයිනුයි අපාය ගමනීය නම් වේ. ආශ්රවක්ෂය කථාවෙහි යූ.සේයි.
අවික්ඛෙපවසෙන යනු පවත්නා සමාධියට උපනිශ්රය වූ සමාධි වශයෙන්, පඨවි කසින වසෙන ආදීන්හි දස කසිණයන් තදාරම්මණික අර්පණා සමාධි වශයෙන් යූ.සේයි. බුද්ධානුස්මෘති ආදීන්ද මරණානුස්මෘති, උපසාමනුස්සතිද උපචාර ධ්යාන වශයෙන් යූ.සේයි. දස අසුභ ප්රථමධ්යාන වශයෙන් යූ.සේයි.
බුදුන් අරභයා උපන් නැවත නැවත සිහිකිරීම බුද්ධානුස්සතියි. ඉතිපි සො භගවා අරහං ආදී බුදුගුණ අරමුණුකොටගත් සිහියට එය විශේෂ නාමයකි. ඒ බුද්ධානුස්මෘතියගේ වශයෙන්, එසේම ධර්මය අරබයා උපන් නැවත නැවත සිහිකිරීම ධම්මානුස්සතියි. ස්වක්ඛාතො භගවතා ධම්මො යන ආදි දහම් ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සංඝයා අරබයා උපන් නැවත නැවත සිහිකිරීම සංඝානුස්සතියි. සුපටිපන්නො භගවතො සාවක සංඝො යනාදී සඟ ගුණ අරමුණු කොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සීලය අරබයා උපන් නැවත නැවත සිහිකිරීම සීලානුස්සතියි. තමාගේ අඛණ්ඩතාදී සිල්ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. ත්යාගය අරබයා උපන් නැවත නැවත සිහිකිරීම චාගානුස්සතියි. තමාගේ අත්හළ ත්යාගාදී ත්යාග ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. දේවතාවුන් අරබයා උපන් නැවත නැවත සිහිකිරීම දේවතානුස්සතියි. දේවතාවුන් සාක්ෂි ස්ථානයෙහි තබා තමාගේ ශ්රද්ධාදී ගුණයන් අරමුණු කොට ඇති සිහියට එය විශේෂ නාමයකි. ආශ්වාස ප්රශ්වාස අරබයා උපන් සිහිය ආනාපාන සතියි. ආශ්වාස ප්රශ්වාස නිමිති අරමුණුකොට පැවති සිහියට එය විශේෂ නාමයකි. මරණය අරබයා උපන් සිහිය මරණ සතියි. එක් භවයකට ඇතුළත් ජීවිතේන්ද්රිය සිඳීම් සංඛ්යාත මරණය අරමුණුකොට පැවති සිහියට එය විශේෂ නාමයකි. පිළිකුල් කේශාදී, පිළිකුල් දෑහි හටගන්නා හෙයින්ද, හටගන්නා ස්ථාන යනුයිද, කාය යයි යන සංඛ්යාවට ගිය ශරීරයෙහි ඇතුළත් පවත්නා, එබඳු වූ ශරීරය අනුව ගිය සිහියනුයි කායගතා සතියි. කායගතා සතියයි කිවයුතු කල්හි හ්රස්ව නොකොට කායගතා සති යයි යූ.සේයි. එසේම මෙහිද කායගතා සති වශයෙන් යයි යූ.සේයි. කෙස් ආදී, ශරීර කොටස්හි පිළිකුල් නිමිති අරමුණු කොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සන්සිඳීම අරබයා උපන් නැවත නැවත සිහිකිරීම උපසමානුස්සතිය. සියලු දුක් සන්සිඳීම අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. දස අසුභ යට කියන ලද අර්ථයමය.