25-28. ප්‍රතිසම්භිදා ඤාණ නිර්දේශ වර්ණනාව
ප්‍රතිසම්භිදා ඤාණ නිර්දේශයෙහි, ධර්මයන් නොකී කල්හි, එහි කෘත්‍යය කියන්ට නොහැක. එහෙයින් දක්වන ලද පිළිවෙල නොගෙන, පළමුව ධර්ම විස්තර කළාහුය අර්ථ යූ.සේයි. සද්ධින්‍ද්‍රියං ධම්මොති ආදීන්හි ධර්ම ශබ්දයෙහි ඇතුළත් ධර්මයන් කියා, නානත්ත ශබ්දයෙහි අර්ථ දක්වන්නේ ‘අඤ්ඤො සද්ධින්‍ද්‍රිය ධම්මොයිං ආදිය වදාළහ. අන් ධර්මයැයි කී කල්හි ධර්මයන්ගේ නානාප්‍රකාර බව දක්වන ලද්දේ වේ. පටිවිදිතා අභිමුඛ භාවයෙන් දන්නා ලද්දාහු, ප්‍රකට වූවාහු නම් වෙති. ඉන් ප්‍රතිසම්භිදා පදයෙහි අර්ථ යූ.සේයි. අධිමොක්ඛට්ඨො අත්‍ථො ආදීන්හි ඒ ශ්‍රද්ධාදීන්ගේ ස්ථිර ලෙස පිහිටීම් ආදී කෘත්‍යයන් අර්ථ නමැයි දක්වයි. සන්‍දස්සෙතුං යනු අන්‍යයාට හඟවනු කැමැත්තහුගේ අන්‍යයාට පෙන්වන්ට, පරස්ස යන වචනය අසන්නහුටද ලැබේමය. බ්‍යඤ්ජන නිරුත්තාභිලාපා යනු නාම ව්‍යංජනය, නාම නිරුක්තිය, නාම වචනය; නාමය වනාහි අර්ථය ප්‍රකාශ කෙරේනුයි ව්‍යංජනයි. හේතුවකින් හටගත් දෑ රැස්කෙරෙත්. මහණෙනි, එහෙයින් සංස්කාර යැයි කියති. මෙසේ වෙන්කොට හේතු සහිතව කියනු ලබන හෙයින් නිරුක්තියි. එයින් අර්ථය කියැවේනුයි අභිලාප නම් වේ.
ඒ නාමයද සිව් ආකාරයහ. සාමඤ්ඤනාම, ගුණ නාම, සාදන ලද නාම, ඕපපාතික නාම වශයෙනි. එහි ප්‍රථම කල්පිකයින් අතරෙහි මහජනයා විසින් සම්මතකොට පිහිටුවාගත් හෙයින් මහා සම්මත යැයි වූ රජුගේ නාමය සමානච්ඡන්‍දයෙන් කළ හෙයින් සාමඤ්ඤ නාමයි. යමක් සඳහා කියන ලද්දේද? වාසෙට්ඨය, මහජනයා විසින් සම්මත හෙයින් මහා සම්මත යැයිම ප්‍රථම අක්‍ෂර බන්‍ධනය විය. ධර්මකථික, පංසුකූලික, විනයධර, ත්‍රිපිටකධර, සැදැහැවතා සත්පුරුෂයා ආදී මෙබඳු ගුණ වශයෙන් ආවා වූ නාමයන් ගුණනාමයි. භගවා, අරහං, සම්මා සම්බුද්ධ ආදී වූ තථාගතයන් වහන්සේගේ නොයෙක් සියගණන් නාම, ගුණ නාමයෝමය. එහෙයින් යූ.සේයි. මහර්ෂීන් වහන්සේට ගුණ සහිත නාමයෝ අසංඛෙය්‍යහ.
අසංඛෙය්‍යානි නාමානි - සගුණෙන මහෙසිනො,
ගුණෙහි නාමං උද්ධෙය්‍ය - අපි නාම සහස්සතො’ති
ගුණයන් ඇතුළත්කොට, නාමයන් උදුරා දක්වන්නේ නම් එය දහසකින් වත් නිමකළ නොහැකිය.
උපන් කුමරුට නම් ගන්වන දිනයෙහි, දක්‍ෂිණාර්හ්‍යයන්ට සත්කාර කොට, සමීපයෙහි සිටි ඤාතීහු, කල්පනාකොට, විශේෂයෙන් කල්පනාකොට, මෙතෙම අසවලා නමැයි නම් කරත්. මෙය සාදන ලද නාමයයි. යම් පළමු ප්‍රඥප්තිය පසු ප්‍රඥප්තියට වැටේද? පළමු ව්‍යවහාරය පසු ව්‍යවහාරයට වැටේද? ඒ කවරේද යත්? පළමු කල්පයෙහිද චන්ද්‍රයා චන්ද්‍රයාමය, දැනුදු චන්ද්‍රයාමය. අතීතයෙහි සූර්යයා, සමුද්‍රය, පෘථුවිය, පර්වතය පර්වතයම නම් වේ. දැනුදු පර්වතයමය. මෙය ඕපපාතික නාමයයි. මේ සිව්වැදෑරුම් නාමය එක් නාමයම වේ. එය ලෝක සංකේත සිද්ධ වූවකි. පරමාර්ථ වශයෙන් අවිද්‍යමානයි. අනෙක් අය, නාමය නම් අර්ථය බබළවන ශබ්දයයි කියති. ඵලබොජ්ඣංග මාර්ගාංගයන්ගේ අර්ථ කියන ලද ක්‍රම අනුසාරයෙන්ම දතයුතුය.
ප්‍රතිසම්භිදා ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
29-31. ඥානත්‍රය නිර්දේශ වර්ණනාව
ඤාණත්‍රය නිර්දේශයෙහි, නිමිත්තං යනු සංස්කාර නිමිත්තයි. අනිමිත්තෙ යනු සංස්කාර නිමිත්තට ප්‍රතිපක්‍ෂ නිර්වාණයෙහි. අධිමුත්තත්තා යනු එහි නිම්නතාවයෙන් සිතෙහි හළභාවය. ඵුස්ස ඵුස්ස වයං පස්සති යනු සංස්කාර නිමිත්ත ඤාණයෙන් ස්පර්ශකොට, එහි භංගය විදර්ශනා ඤාණයෙන්ම බලයි. එයින් භංගානුපස්සනාව සිද්ධය. එය අනිත්‍යානුපස්සනාව සිදුකරයි. අනිත්‍යයාගේ දුක් බැවිනි. එය දුක්ඛානුපස්සනාවයි. දුඃඛයාගේ අනාත්ම බැවින් එය අනාත්මානුපස්සනාව යැයි මෙසේ මෙහි ත්‍රිවිධ අනුපස්සනා යූ.සේයි. අනිමිත්තො විහාරො යනු නිමිත්ත භය වශයෙන් දුටු හෙයිාන් ඒ විදර්ශනාත්‍රය විහාරය අනිමිත්ත විහාරය නම් වේ. පණිධිං යනු තෘෂ්ණාවයි. අප්පණිහිතෙ යනු තෘෂ්ණා ප්‍රතිපක්‍ෂ නිර්වාණයෙහි. අභිනිවෙසං යනු ආත්මාභිනිවේශය. සුඤ්ඤතෙ යනු ආත්ම විරහිත නිර්වාණයෙහි, සුඤ්ඤතො යනු ශූන්‍යතා වශයෙන් පවත්නා ශූන්‍යයමය. අජ්ඣුපෙක්ඛිත්‍වා යනු විපාක ප්‍රවෘත්තිය සංස්කාරෝපේක්‍ෂාවෙන් මධ්‍යස්ථව බලා, සුගති සංඛයාත විපාක ප්‍රවෘත්තියෙහි සතුටුවන්නා වූ සත්ත්වයෝ, මේ ඵල සමවතට සමවදිනු කැමැත්තාහු, ඒ පැවති සියලු සංස්කාරගතයන්, අනිත්‍යාදී වශයෙන් බලා මධ්‍යස්ථ වෙත්මය. මෙසේ දුටුකල්හි ඵලසමවතට සමවදින්ට හැකිවේ. අන් අයුරකින් නොහැකි වේ. ආවජ්ජිත්‍වා යනු ආවර්ජනයෙන් ආවර්ජනය කොට, සමාපජ්ජති යනු ඵලසමවතට පිළිපදී. (සමවදී) අනිමිත්තා සමාපත්ති යනු නිමිත්ත භය වශයෙන් දැක සමවන් හෙයින් අනිමිත්ත සමාපත්ති නම් වේ. අනිමිත්ත විහාර සමාපත්ති යනු විදර්ශනා විහාර වශයෙන්ද ඵල සමාපත්ති වශයෙන්ද යන ඒ දෙයාකාරයෙන් වෙති.
දැන් සංස්කාර නිමිත්තම බෙදා දක්වන්නේ, රූප නිමිත්තං ආදිය වදාළහ. ජරා මරණ ග්‍රහණයෙහි කිවයුත්ත පෙර කියන ලද්දේමය. අනෙක් අනිමිත්ත විහාරයයි ආදීන්හි කියූ අයුරින්ම නිගමනයකොට දක්වයි. සංක්‍ෂෙපයෙන් විහාරට්ඨෙ ඤාණය නම් ඵල සමාපත්තියෙහි පූර්වභාගයෙහි වූ, සංස්කාරෝපේක්‍ෂා ඤාණයෙහි පැවති විදර්ශනා විහාර නානත්‍ව ඤාණයයි. සමාපත්‍යාර්ථයෙහි ඤාණය නම් ඵලසමාපත්ති නානත්‍වයෙහි ඤාණයයි. විහාර සමාපත්‍යාර්ථයෙහි ඤාණයනම් ඒ ද්වයයෙහි නානත්‍වයෙහි ඤාණයයි. විදර්ශනා විහාරයෙන් කල්යවනු කැමැත්තේ විදර්ශනා විහාරයම පවත්වයි. ඵලසමවත් විහාරයෙන්ම කල්යවනු කැමැත්තේ විදර්ශනා පිළිවෙලින් උත්සාහවත් වී ඵලසමවත් විහාරයම පවත්වයි. ඒ දෙඅයුරින්ම කල්යවනු කැමැත්තේ ඒ දෙකම පවත්වයි. මෙසේ පුද්ගල අධිප්‍රාය වශයෙන් ත්‍රිවිධව හටගති. මෙහි කිවයුතු සෙස්ස සංස්කාරෝපේක්‍ෂා ඤාණ වර්ණනාවෙහි කියන ලද්දේමය.