20-24. පඤ්චක ඤාණ නිර්දේශ වර්ණනාව
ඤාණ පඤ්චක නිර්දේශයෙහි, ඒ පස්වැදෑරුම් ඤාණයන්ගේ අනුපිළිවෙල සම්බන්ධය යෙදෙන හෙයින් එකටම විමසීම්, විසඳුම් කරන ලදහ. අභිඤ්ඤාතා හොන්ති යනු ධර්ම, ස්වභාව, ලක්‍ෂණ, දැනීම් වශයෙන් මනාව දන්නේ වෙති. ඤාත පරිඥා වශයෙන් ස්වබාව වශයෙන් දැනගත් හෙයින් දත්තාහු නම් වෙති. යම් ඤාණයකින් ඒ ධර්ම දැනගත්තාහු වෙත්ද? එය ඤාතාර්ථයෙන් ඤාණයයි දැනගැනීම් අර්ථයෙන් ප්‍රඥායි සම්බන්ධයි. මෙම ක්‍රමයෙන් සෙසු ඤාණයන්ද යෙදිය යුත්තාහ. පරිඤ්ඤාතා හොන්ති යනු සමාන ලක්‍ෂණ වශයෙන්, හාත්පසින් දැනගත්තාහු, තීරණය කළාහු වෙති. තීරණ පරිඥා වශයෙන්, අනිත්‍යාදී වශයෙන් මනාව පරීක්‍ෂා කරනලදුයේ සමාප්ත කරන ලද්දාහු වෙති. පහීණා හොන්ති යනු අනිත්‍යානු පස්සනාදී ඤාණයෙන් නිත්‍ය සංඥාදීහු භංගානුපස්සනාවෙහි පටන් ප්‍රහීණ වෙති. පරිච්චත්තා හොන්ති යනු ප්‍රහාණ වශයෙන් අත්හැර දමන ලද්දාහු වෙති. භාවිතා හොන්ති යනු වඩන ලද්දාහු, මනාකොට වඩන ලද්දාහු වෙති. එකරසා හොන්ති යනු ස්වකෘත්‍ය සාධනයෙහි ප්‍රතිපක්‍ෂතා ප්‍රහාණයෙන් එක් කෘත්‍ය වෙති. විරුද්ධ වශයෙන් හෝ විමුක්ති වශයෙන්, විමුක්ති රසයෙන් එක්රස වෙති. සච්ඡිකතා හොන්ති යනු ප්‍රතිලාභ වශයෙන් ඵලධර්මද, ප්‍රතිවේධ වශයෙන් නිර්වාණ ධර්මයද ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දාහු වෙති. ඵස්සිතා හොන්ති යනු ප්‍රතිලාභ ස්පර්ශයෙන්ද, ප්‍රතිවේධ ස්පර්ශයෙන්ද ස්පර්ශ කරන ලද්දාහු අනුභව කරන ලද්දාහු වෙති. පඤ්ච ඤාණයන් යට ශ්‍රැතමය ඤාණ වශයෙන් යූ.සේයි. මෙහි ස්වකෘත්‍ය වශයෙනි.
පඤ්චක ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
25-28. ප්‍රතිසම්භිදා ඤාණ නිර්දේශ වර්ණනාව
ප්‍රතිසම්භිදා ඤාණ නිර්දේශයෙහි, ධර්මයන් නොකී කල්හි, එහි කෘත්‍යය කියන්ට නොහැක. එහෙයින් දක්වන ලද පිළිවෙල නොගෙන, පළමුව ධර්ම විස්තර කළාහුය අර්ථ යූ.සේයි. සද්ධින්‍ද්‍රියං ධම්මොති ආදීන්හි ධර්ම ශබ්දයෙහි ඇතුළත් ධර්මයන් කියා, නානත්ත ශබ්දයෙහි අර්ථ දක්වන්නේ ‘අඤ්ඤො සද්ධින්‍ද්‍රිය ධම්මොයිං ආදිය වදාළහ. අන් ධර්මයැයි කී කල්හි ධර්මයන්ගේ නානාප්‍රකාර බව දක්වන ලද්දේ වේ. පටිවිදිතා අභිමුඛ භාවයෙන් දන්නා ලද්දාහු, ප්‍රකට වූවාහු නම් වෙති. ඉන් ප්‍රතිසම්භිදා පදයෙහි අර්ථ යූ.සේයි. අධිමොක්ඛට්ඨො අත්‍ථො ආදීන්හි ඒ ශ්‍රද්ධාදීන්ගේ ස්ථිර ලෙස පිහිටීම් ආදී කෘත්‍යයන් අර්ථ නමැයි දක්වයි. සන්‍දස්සෙතුං යනු අන්‍යයාට හඟවනු කැමැත්තහුගේ අන්‍යයාට පෙන්වන්ට, පරස්ස යන වචනය අසන්නහුටද ලැබේමය. බ්‍යඤ්ජන නිරුත්තාභිලාපා යනු නාම ව්‍යංජනය, නාම නිරුක්තිය, නාම වචනය; නාමය වනාහි අර්ථය ප්‍රකාශ කෙරේනුයි ව්‍යංජනයි. හේතුවකින් හටගත් දෑ රැස්කෙරෙත්. මහණෙනි, එහෙයින් සංස්කාර යැයි කියති. මෙසේ වෙන්කොට හේතු සහිතව කියනු ලබන හෙයින් නිරුක්තියි. එයින් අර්ථය කියැවේනුයි අභිලාප නම් වේ.
ඒ නාමයද සිව් ආකාරයහ. සාමඤ්ඤනාම, ගුණ නාම, සාදන ලද නාම, ඕපපාතික නාම වශයෙනි. එහි ප්‍රථම කල්පිකයින් අතරෙහි මහජනයා විසින් සම්මතකොට පිහිටුවාගත් හෙයින් මහා සම්මත යැයි වූ රජුගේ නාමය සමානච්ඡන්‍දයෙන් කළ හෙයින් සාමඤ්ඤ නාමයි. යමක් සඳහා කියන ලද්දේද? වාසෙට්ඨය, මහජනයා විසින් සම්මත හෙයින් මහා සම්මත යැයිම ප්‍රථම අක්‍ෂර බන්‍ධනය විය. ධර්මකථික, පංසුකූලික, විනයධර, ත්‍රිපිටකධර, සැදැහැවතා සත්පුරුෂයා ආදී මෙබඳු ගුණ වශයෙන් ආවා වූ නාමයන් ගුණනාමයි. භගවා, අරහං, සම්මා සම්බුද්ධ ආදී වූ තථාගතයන් වහන්සේගේ නොයෙක් සියගණන් නාම, ගුණ නාමයෝමය. එහෙයින් යූ.සේයි. මහර්ෂීන් වහන්සේට ගුණ සහිත නාමයෝ අසංඛෙය්‍යහ.
අසංඛෙය්‍යානි නාමානි - සගුණෙන මහෙසිනො,
ගුණෙහි නාමං උද්ධෙය්‍ය - අපි නාම සහස්සතො’ති
ගුණයන් ඇතුළත්කොට, නාමයන් උදුරා දක්වන්නේ නම් එය දහසකින් වත් නිමකළ නොහැකිය.
උපන් කුමරුට නම් ගන්වන දිනයෙහි, දක්‍ෂිණාර්හ්‍යයන්ට සත්කාර කොට, සමීපයෙහි සිටි ඤාතීහු, කල්පනාකොට, විශේෂයෙන් කල්පනාකොට, මෙතෙම අසවලා නමැයි නම් කරත්. මෙය සාදන ලද නාමයයි. යම් පළමු ප්‍රඥප්තිය පසු ප්‍රඥප්තියට වැටේද? පළමු ව්‍යවහාරය පසු ව්‍යවහාරයට වැටේද? ඒ කවරේද යත්? පළමු කල්පයෙහිද චන්ද්‍රයා චන්ද්‍රයාමය, දැනුදු චන්ද්‍රයාමය. අතීතයෙහි සූර්යයා, සමුද්‍රය, පෘථුවිය, පර්වතය පර්වතයම නම් වේ. දැනුදු පර්වතයමය. මෙය ඕපපාතික නාමයයි. මේ සිව්වැදෑරුම් නාමය එක් නාමයම වේ. එය ලෝක සංකේත සිද්ධ වූවකි. පරමාර්ථ වශයෙන් අවිද්‍යමානයි. අනෙක් අය, නාමය නම් අර්ථය බබළවන ශබ්දයයි කියති. ඵලබොජ්ඣංග මාර්ගාංගයන්ගේ අර්ථ කියන ලද ක්‍රම අනුසාරයෙන්ම දතයුතුය.