18. භූමි නානත්ව ඤාණ නිර්දේශ වර්ණනාව
භූමි නානත්ව නිර්දේශයෙහි, භූමියො යනු, කොටස, බෙදීම යන අර්ථයි. කාමාවචරා යනු මෙහි කාමය, ක්ලේශකාමය, වස්තුකාම යයි දෙවැදෑරුම්ය. ක්ලේශ කාමය, ඡන්දරාගයයි. වස්තුකාමය ත්රෛභූමික වෘත්තයයි. ක්ලේශකාමය කැමැත්තේනුයි කාමයි. වස්තුකාමය ආශා කරයි නුයි කාමයි. ඒ දෙවැදෑරුම් කාමය පැවැතීම් වශයෙන් යම් පෙදෙසක හැසිරේද, එම ප්රදේශය කාමයි. මෙහි හැසිරේනුයි කාමාවචරයි. එම ප්රදේශය, සතර අපාය, මිනිස් ලොව, සදිව් ලෝකයන්ගේ වශයෙන් එකොළොස් වැදෑරුම්ය. යම් පෙදෙසක ආයුධ සහිත මිනිස්සු හැසිරෙත්ද, අනෙකුත් දෙපා සිවුපාවුන්ගේ හැසිරීම් විද්යමාන කල්හි, සලකුණු කළ හෙයින් ඔවුන්ට ආයුධ සහිතයෝ යැයි කියනු ලැබේ. මෙසේ අනෙකුත්, රූපාවචරාදීන් එහි හැසිරෙන්නේ නමුදු එය කාමාවචර වශයෙන් සලකුණු කළ හෙයින් මේ ප්රදේශය කාමාවචරම යයි කියනු ලැබේ. ඒ මෙය රූපභවය යම්සේ රූපං වේද? මෙසේ මතු පදය ලොප්කොට කාමයයිම යූ.සේයි. ඒ හා බැඳුණු එක් එක් ධර්මය මෙම එකොළොස් ආකාර ප්රදේශ සංඛ්යාත කාමයෙහි හැසිරේනුයි කාමාවචරයි. කිසිසේත්, මෙහි සමහර ධර්ම රූපාරූප භවයන්හිද හැසිරෙත්. යම්සේ වනාහි යුදයෙහි හැසිරෙන සෙයින් සංගාමාවචරයැයි ලද නම් ඇති හස්තියා, නගරයෙහි සරන කල්හිද සංගාමාවචරමයයි කියනු ලැබේ. ගොඩදිය සරන ප්රාණීහු නොගොඩ, නොජලයෙහි සිටියාහුද, ගොඩසර, දියසරයයිම කියනු ලබත්. මෙසේ ඒවා අන් තැන සරන්නාහුද කාමාවචරයයිම දතයුත්තාහ. අරමුණු කිරීම් වශයෙන් හෝ ඒ කියන ලද ආකාර ධර්මයන්හි කාමය සරානුයි කාමාවචරයි. එම කාමය රූපාවචර අරූපාවචර ධර්මයන්හිද සරයි. යම්සේ වනාහි කියයිනුයි වච්ඡයි. පොළොවෙහි සයනය කෙරේනුයි මහිසොයි කී කල්හි, යම් පමණ පොළොවෙහි නිදත්ද? ඒ සියල්ලට මහිස යන ඒ නාමය නොකියති. මෙම කරුණද එසේයයි දතයුතුය. මෙහි ඒ සියලු ධර්මයන් ඒකරාශී කොට කියන ලද, භූමි ශබ්දය අපේක්ෂාකොට කාමාවචරායි ස්ත්රීලිංග වචනය කරන ලදි. රූපාවචර ආදීන්හි රූපභවය රූපයයි, එම රූපයෙහි හැසිරෙත්නුයි රූපාවචරයි. අරූපභවය අරූපයි. එම අරූපයෙහි හැසිරෙත්නුයි අරූපාවචරායි. ත්රෛභූමික වෘත්තයෙහි අන්තර්ගත වූවාහු, ඇතුළත් වූවාහුනුයි පරියාපන්නයි. එහි ඇතුළත් නුවූයේනුයි අපරියාපන්නායි.
කාමාවචරාදී භූමි නිර්දේශයන්හි, හෙට්ඨතො යනු යට කොටසින්, අවීචිනිරයං යනු ගිනිදැල්වල හෝ සත්ත්වයින්ගේ හෝ වේදනාවන්ගේ හෝ රැළ අතර සිදුරක් මෙහි නැතැයි අවීචියි. සුව සංඛ්යාත අය මෙහි නැතැයි නිරයයි. ඇල්මක් නැත යන අර්ථයෙන්ද නිරයයි. පරියන්තං කත්වා යනු ඒ අවීචි සංඛ්යාත නිරය කෙළවරකොට, උපරිතො යනු මතු කොටසින්, පරනිම්මිත වසවත්ති දෙවෙ යනු අන්යයා විසින් නිර්මිත කාමවස්තූන් තම වසඟයෙහි පවත්වන හෙයින් මෙසේ ලද ව්යවහාර ඇති දෙවිවරුන්, අන්තො කරිත්වා යනු ඇතුළට දමා; යංඑතස්මිං අන්තරෙ යනු යම් ඒ අවකාශයෙහි, එත්වාවචරා යනු මෙයින් ඒ අතරෙහි, කිසිවිටෙක, කිසිතැනෙක හටගන්නා හෙයින් අන් තන්හිද හැසිරෙත්. එහෙයින් ඒවාහි ඇතුළත් නොකිරීම සඳහා හැසිරේයයි යූ.සේයි. එයින් ඒ අතරෙහි යමක් දැඩිව හැසිරේද? සැම තැන, සැමදා හටගන්නා හෙයින් යට කොටසෙහි හැසිරෙත්. අවීචි නිරයෙහි යට භූත-උපාදාය රූපයන්ගේ ප්රවෘත්ති භාවයෙන් ඒවාහි සංග්රහය කරන ලද්දේ වේ. ඒවාහි ගැලී හැසිරෙති, යට කොටසෙහි හැසිරෙත්නුයි අවචරයි. එත්ථ පරියාපන්නා යනු මෙයින් ඒවා මෙහි හැසිරෙන්නාහු අන් තන්හිද හැසිරෙත්, එහි ඇතුළත් වූවාහු නොවෙති. එහෙයින් ඒවාහි අන් තන්හිද, හැසිරෙන්නවුන්ගේ පරිග්රහණය කරන ලද්දේ වේ.
දැන්, මෙහි ඇතුළත් ඒ ධර්මරාශිය ශූන්යතා ප්රත්යය භාවයෙන්ද, ස්වභාව වශයෙන්ද දක්වන්නේ, ස්කන්ධ, ධාතු ආයතන ආදිය වදාළහ. බ්රහ්මලොකං යනු ප්රථමධ්යාන භූමි සංඛයාත වූ බ්රහ්මස්ථානයයි. අකණිට්ඨෙ යනු කණිටු නොවූයේ උතුම් අර්ථයෙන්, සමාපන්නස්ස යනු සමවතට සමවන්නහුගේ, එයින් කුසල ධ්යානය යූ.සේයි. උප්පන්නස්ස යනු විපාක වශයෙන් බඹලොව උපන්නහුගේ එයින් විපාක ධ්යානය යූ.සේයි. දිට්ඨධම්ම සුඛ විහාරිස්ස යනු ඉහාත්මයෙහිම, ප්රත්යක්ෂ ආත්ම භාවයෙහි සුව විහරණය දිට්ඨධම්ම සුඛ විහරණයයි. එය මොහුට ඇත්තේනුයි දිට්ඨධම්ම සුඛ විහාරියි. (රහත්හුගේ) ඒ දිට්ඨධම්ම සුඛ විහාරීගේ, එයින් ක්රියාධ්යානය යූ.සේයි. චෙතසිකා යනු සිතෙහි වූයේ චෛතසිකයි. සිත හා එක්ව යෙදුණේය යන අර්ථයි. ආකාසානඤ්චායතනූපගෙ යනු ආකාසානඤ්චායතන සංඛ්යාත භාවයට එළඹි, දෙවන පදයෙහිද එම ක්රමයමැයි. මග්ගා යනු සිව් ආර්ය මාර්ගයන්ය. මග්ග ඵලානි යනු සිව් ආර්යමාර්ග ඵලයන්, අසංඛාත ධාතු යනු ප්රත්යයන්ගෙන් නොකළ නිර්වාණ ධාතුව;
අපරාපි චතස්සො භූමියො යනු එකිනෙකෙහි චතුෂ්ක වශයෙන් දතයුත්තාහ. චත්තාරො සතිපට්ඨානා යනු කායානුපස්සනා, වෙදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයි. එහි අර්ථය, පිහිටානුයි පට්ඨානයි. වැටහේ. එහි බැසගෙන ඇතුල්වී පවතීයයි යන අර්ථයි. සිහියම පිහිටීම සතිපට්ඨානයි. නොහොත් සිහිකිරීම් අර්ථයෙන් සිහියද, වැටහෙන අර්ථයෙන් පට්ඨානයි. සිහියද එය පිහිටුවීමද සතිපට්ඨාන නම් වන්නේය. අරමුණු කිරීම් වශයෙන් එම සතීහු බොහෝ වෙත්නුයි සතිපට්ඨානයි. චත්තාරො සම්මප්පධානා යනු නූපන් අකුසලයන්ගේ නොඉපැත්ම සඳහා වන සම්යක් ප්රධානය උපන් අකුසලයන්ගේ ප්රහාණය සඳහා වන සම්යක් ප්රධානය නූපන් කුසලයන්ගේ ඉපැත්ම සඳහා වන සම්යක් ප්රධානය උපන් කුසලයන්ගේ ස්ථිතිය සඳහා වන සම්යක් ප්රධානය යන සතරයි. මෙය කරණකොට ගෙන, බලවත් සේ, උත්සාහ කෙරෙත්, ව්යායාම කෙරෙත්නුයි පධානංයි. එය වීර්යයට නාමයකි. සම්යක් ප්රධාන යනු, විපර්යාස නොවූ උත්සාහය, හේතුසහිත උත්සාහය, අභිවෘද්ධිදායක උත්සාහය, ඤාණාන්විත උත්සාහය යනාදියයි. එකක්ම වූ වීර්යය, කෘත්ය වශයෙන් සතරාකාර කොට සම්යක් ප්රධානයැයි යූ.සේයි. චත්තාරො ඉද්ධිපාදා යනු ඡන්ද, චිත්ත, වීර්යය, වීමංස යන සතරයි. එහි අර්ථ කියන ලද්දේමය. චත්තාරි ඣානාති යනු විතර්ක, විචාර, ප්රීති, සුව, චිත්තෙකාග්රතා වශයෙන් පංචාංගික ප්රථමධ්යානයයි. ප්රීති, සුව, චිත්තෙකාග්රතා වශයෙන් ත්රයංගික ද්විතිය ධ්යානයයි. සුව, චිත්තෙකාග්රතා වශයෙන් ද්වයංගික තෘතිය ධ්යානයයි. උපේක්ෂා, චිත්තෙකාග්රතා වශයෙන් ද්වයංගික චතුර්ථ ධ්යානයයි. මෙම අංග අරමුණ නැවත නැවත සිතීම් අර්ථයෙන් ධ්යානයයි යූ.සේයි. චතස්සො අප්පමඤ්ඤායො යනු මෛත්රී, කරුණා, මෘදුබව, උපේක්ෂා යන සතර පැතිරීම ප්රමාණාතික්රාන්ත වශයෙන් අප්පමඤ්ඤායොයි. ඒවා අරමුණු කිරීම් වශයෙන් ප්රමාණාතික්රාන්ත සත්ත්වයින් කෙරෙහි පතුරුවති. එක් සත්ත්වයෙකු කෙරෙහි හෝ සේස රහිතව පැතිරීම් වශයෙන් පතුරුවති යන අර්ථයෙන්ද, පැතිරීමෙහි අප්රමාණතා වශයෙන් අප්පමඤ්ඤායොයි කියනු ලබති. චතස්සො අරූප සමාපත්තියො යනු ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන සතරයි. සිව්පිළිසිඹියා කියන ලද අර්ථයමය.