නය සමුට්ඨාන වාර වර්ණනාව
මෙසේ නානාසූත්ර වශයෙන් ද ඒක සූත්ර වශයෙන් ද හාර විචාරය දක්වා දැන් නය විචාරය දක්වන්නට තත්ථ කතමං නය සමුට්ඨානං යනාදිය අරඹන ලදි. මෙහිදී කවර හෙයින් (එසේ අරඹන ලද ද?) එහි දේශනාහාරය කවරේ ද? අස්සාදීනවතා යන ගාථාවයි. මේ දේශනාහාරය කුමක් දේශනා කෙරේ ද? යනාදියෙන් හාර නිද්දේසය අරඹන ලදි. මෙසේ එහිදී නන්දියාවට්ටය කවරේ ද? තණ්හඤ්ච අවිජ්ජම්පි ච යන ගාථාවයි. මේ නන්දියාවට්ටය කුමක් ගෙනයා ද? යනාදියෙන් ආරම්භ නොකොට සමුට්ඨාන මුඛයෙන් අරඹන ලද ද? (එය) හාර නයවල විෂය භේදයෙන් කියනු ලැබේ. යම්සේ හාරයෝ බ්යඤ්ජන මුඛයෙන් සූත්රයේ අර්ථ සංවර්ණනය වේ ද න්යාය එසේ නොවේ. න්යාය වනාහි නොයෙක් සූත්ර ලෙසින් වෙන්කරන ලද තෘෂ්ණා අවිද්යා ආදී මූල පදවලින් චතුසත්ය යෝජනයෙන් න්යාය කෙරෙන් අවබෝධ කරනු ලබන දුක්ඛාදී අර්ථයයි. එය වනාහි මාර්ග ඥානය ගෙන යයි. පමුණුවයි යන අර්ථයෙන් න්යාය නම් වේ. අවබෝධ කරගන්නවුන් උඝ්ඝටිතඤ්ඤු ආදී ත්රිවිධ විනේය පුද්ගලයන්ගේ ස්වරූපයෙන් මූලපද විභාගය තෙපරිදිව බෙදන ලදි. මෙහි එක එකක් යම් තැනකින් පමුණුවයි ද? යමක් ගෙන යයි ද? ඒවා සංකිලෙස - වෝදාන විභාගයෙන් දෙපරිදිව සංග්රහ කරන ලද්දේ සතර, සය, අට ලෙසින් බිඳී ගියේ හාර නයවල විෂය වෙයි. එහෙයින් හාරා බ්යඤ්ජන විචයො සුත්තස්ස නයා තයො ච සුත්තත්ථො යි කියන ලදී. මෙසේ විශිෂ්ට වූ විෂය ඇති බැවින් හාර නයවලින් හාරයන්ගෙන් අන් ලෙසකින් නය දක්වමින් තත්ථ කතමං නය සමුට්ඨානං යනාදිය කියන ලදි.
මේ එහි වචනාර්ථයයි. මෙය කරණකොට ගෙන නැගී සිටිත් නුයි සමුට්ඨාන නම් වේ. කවරක් නැගී සිටී ද? න්යායෝ ය. න්යායන්ගේ සමුට්ඨාන නය සමුට්ඨාන නම් වේ. එය කුමක් ද? එය නම් මූල පදයන් සමග චතුරාර්ය සත්ය යෙදීමයි. එය වනාහි නන්දියාවට්ට ආදී න්යායයන්ගේ ඉපැත්මට සමාන බැවින් සමුට්ඨාන භූමි යයි ද කියනු ලැබේ. එසේ ම අයං වුච්චති නන්දියාවට්ටස්ස නයස්ස භූමි යි කියනු ලැබේ. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජාය ච භව තණ්හාය ච යනාදිය නන්දියාවට්ට නයෙහි භූමි දර්ශනයයි. එහි පුබ්බා කොටි නපඤ්ඤායති යනු අසවල් නම් ඇති භාග්යවත් බුදුරදුන්ගේ, අසවල් නම් ඇති සක්විති රජුගේ කාලයෙහි අවිද්යාව ද භව තණ්හාව ද උපන්නේය. ඉන් පූර්වයෙහි නොවීය යනුවෙන් අවිද්යා භව තණ්හාවන්ගේ පූර්ව වූ කිසි සීමාවක් නොදක්නා ලැබේ. කවර හෙයින් ද? සංසාරයේ අනවරාග්රත්වයෙනි. එය මෙසේ කියන ලදී. ‘මහණෙනි, මේ සසර අනවරාග්රය. මුල් කෙළවර නොපෙනේ’ යනු විස්තරයයි. තත්ථ යනු අවිද්යා භව තණ්හා ආදියේ ය. ඉදින් අවිද්යාවේ සංයෝජන භාවය ද තණ්හාවේ නීවරණ භාවය ද පෙළෙහි කියන ලදී. එසේ වුවත් අවිද්යාවෙන් වසන ලද ආදීනව ඇති භවයන් හා තෘෂ්ණාව යොදවයි යන මේ අර්ථය දක්වනු පිණිස අවිජ්ජා නීවරණානං තණ්හාසංයෝජනානං යනුවෙන් කියන ලදී.
අවිජ්ජා සංයුත්තා යනු අවිද්යාව හා මිශ්ර වූ නැතහොත් අවිද්යාවෙහි බැසගත් වස්තූන්හි බැඳුණු යනුයි. අවිජ්ජා පක්ඛෙන විචරන්ති යනු අවිද්යා පාර්ශ්වයෙන්, අවිද්යාවේ සහායෙන් දොළොස් වැදෑරුම් විපර්යාස කරණකොටගෙන අභිනිවේශ වස්තු වූ අරමුණු පවතිත් යනුයි. තෙ වුච්චන්ති දිට්ඨිචරිතා යනු අවිද්යාවෙන් මඩනා ලද ඒ රූපාදිය නිත්යාදි ලෙසින් බැසගන්නාහු දිට්ඨි චරිතයෝ යයි කියනු ලැබෙත්. දිට්ඨි චරිතයෝ නම් වෙති යන අර්ථයයි. තණ්හාපක්ඛෙන යනු එක්සිය අටවැදෑරුම් තණ්හා විචාරයෙනි. දිට්ඨි චරිතයන් හා තණ්හා චරිතයන් ප්රතිපත්තියෙන් බෙදා දක්වන්නට දිට්ඨි චරිතා යනාදිය කියන ලදී. එහි අත්තකිලමථානුයොගං යනු තමහාගේ කය කෙලෙසන ප්රයෝග වූ ආත්ම පරිතාපන ප්රතිපත්තියයි. කාමසුඛල්ලිකානු යොගං යනු කාම සැපයේ ඇලීම් ප්රයෝගය වූ කාමයන්හි වැටීමයි.
ඉදින් බාහිර දුක තණ්හාව යැයි දනිත් ද ‘මෙය දුකය. මෙපමණක් දුක යැයි ද, මේ තණ්හාවයි. මේ එහි විරාගයයි ද යනුවෙන් අවබෝධ කටයුතු ඉවත්කළ යුතු බැවින් නොදනිත්. ඉබේ පැවැත්ම ද පැවතුම් හේතුව ද නොදනිත්. නැවැත්ම නැවතුම් හේතුව ගැන කවරනම් කථාවක් ද? ඉතො බහිද්ධා නත්ථි සච්චවවත්ථානං යනාදිය කියන ලදී. එහි සච්චප්පකාසනා යනු සත්ය දේශනාවයි. සමථ විපස්සනා කොසල්ලං නු සමථ විදර්ශනාවන්හි භාවනා කුශලත්වයයි. ඒවායෙහි ග්රහණ, විමර්ශන, ශ්රවණ, මනසිකාර කෞශල්යයෝ ය. මෙහිදී විදර්ශනා අධිෂ්ඨානය සමථය යැයි අදහස් කරන ලදී. උපසම සුඛප්පපත්ති යනු කෙලෙස්වල සන්සිඳීම් සැපය ලැබීමයි. විපරීතචෙතා යනු මිථ්යාවෙහි බැසගත් සිතයි. නත්ථි සුඛෙන සුඛං යනු නිවැරදි වූ ප්රත්ය පරිභෝග සුඛයෙන් කය ද සිත ද සන්සිඳුණු බාධා ඇත්තක් කොට ආර්යයන් විසින් පැමිණිය යුතු යම් උපසම සුඛයක් වේ ද එය ප්රතික්ෂේප කරයි යනුයි. දුක්ඛෙන යනු කය රිදවන දුකිනි.