මිස්සක හාර සමපාත වර්ණනාව
එසේ වුවත් මෙහිදී හාර සම්පාත නිර්දේශය මේ ක්‍රමයෙන් ද දතයුතුය.
මනො පුබ්බංගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා,
මනසා චෙ පසන්නෙන භාසති වා කරොති වා,
තතො නං සුඛමන්‍වෙති ඡායාව අනපායිනි – යනුවෙනි.
එහි දේශනාහාර සම්පාතය කවරේ ද? මනස පූර්වංගම ධර්මයයි. මනෝ යනුවෙන් (ස්කන්ධ නියම කිරීමේදී) ඛන්‍ධවවත්‍ථානයේ දී විඤ්ඤාණ ස්කන්ධය දේශනා කෙරෙයි. ආයතන වවත්‍ථානයේ දී මනායතනයයි. ධාතු වවත්‍ථානයේදී විඤ්ඤාණ ධාතුවයි. ඉන්‍ද්‍රිය වවත්‍ථානයේ දී මනින්‍ද්‍රියයි. කවර ධර්ම පූර්වංගම වේ ද? ධර්ම හයක් පූර්වංගම වේ. කුසලයන්ගේ කුසල මූල (තුන) හා අකුසලයන්ගේ අකුසල මූලයන් ය. (තුනයි.) ප්‍රධානීන් සහිත වූවන්ට අධිපති වේ. සියලු සිතිවිලිවලට ඉන්‍ද්‍රිය අධිපති වේ. එසේ වුවත් මේ සූත්‍රයේ දී මනස අදහස් කරන ලදී. යම්සේ බලසේනා ගණින තැනට රජතුමා පෙරටු වේ ද එසේම සියලු (චෛතසික) ධර්මවලට මනස ම පෙරටු වේ. එහිදී නෙක්ඛම්ම ඡන්‍දය, අව්‍යාපාද ඡන්‍දය, අවිහිංසා ඡන්‍දය යන තුන් ක්‍රමයෙන් මනස පූර්වංගම වේ. එහිදී නෙක්ඛම්ම ඡන්‍දයෙන් අලෝභයට මනස පූර්වංගම වේ. අව්‍යාපාද ඡන්‍දයෙන් අද්වේෂයට මනස පූර්වංගම වේ. අවිහිංසා ඡන්‍දයෙන් අමෝහයට මනස පූර්වංගම වේ.
මනොසෙට්ඨා යනු ඒ ධර්මයන් අතුරෙන් මනස ශ්‍රේෂ්ඨය. විශිෂ්ටය. උතුම්ය. ප්‍රවරය මූලයයි. ප්‍රමුඛයායි. වඩාත් ප්‍රමුඛයායි. එහෙයින් මනො සෙට්ඨො යයි කියනු ලැබේ. මනොමයා යනු මනසින් කරන ලද මනසින් නිමවන ලද මනසින් නිපන් බැවින් මනස් ඒවායේ හේතුව වේ. එහෙයින් මනෝමයා යි කියනු ලැබේ. ඒ ධර්මයෝ නම් ඡන්‍දයෙන් හටගත් නොකැළඹුණු සංකල්පවලින් ඇතිවූ ස්පර්ශ එකතුවෙන් යුත් වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය යන මේවාය. මනසා චෙ පසන්නෙන යනු යම් ශ්‍රද්ධාවක් සද්දහන, ඔකප්පන, අභිප්‍රසාද යන මේ ප්‍රසාදයෙන් යුක්ත වූයේ මනාව යුක්ත වූයේ, ඊට එළඹියේ, මනාව එළඹියේ, එයින් යුක්ත වූයේ, සමන්නාගත වූයේ වෙයි ද එහෙයින් පසන්නෙන යැයි කියනු ලැබේ. එය මනෝ කර්මයයි. භාසති යනු වචීකර්මයයි. කරොති වා යනු කාය කර්මයයි. මෙසේ දස කුසල කර්මපථය දක්වන ලදී.
තතො යනු දශවිධ කුසල කර්ම කළ බැවිනි. රැස්කළ බැවිනි. නං යනු කරන ලද පින් ඇති කරන ලද කුසල් ඇති බියෙන් එතෙර වූ යම් ඒ පුද්ගලයෙක් වේ ද ඒ පුද්ගලයා ය. සුඛං යනු කායික, චෛතසික යන සැප දෙකයි. අන්‍වෙති යනු අනුව යයි යනුයි.
මේ ලෝකයේ ප්‍රහීණ නොවූ කෙලෙස් ඇති පුද්ගලයා සංයෝජනීය ධර්මවල ආශ්වාදය අනුව බලයි. හෙතෙම සංයෝජනීය ධර්මවල ආශ්වාදය අනුව බලමින් දක්නා ලද පරිදි අසන ලද පරිදි මතුභවය ප්‍රාර්ථනා කරයි. මෙසේ ඔහුගේ අවිද්‍යාව ද භව තණ්හාව ද එකට බැඳී තිබේ. හෙතෙම දක්නා ලද පරිදි අසන ලද පරිදි මතුභවය ප්‍රාර්ථනා කරනුයේ පැහැදිය යුතු වස්තුවෙහි සිත පහදවයි. අදහයි. විශ්වාස කරයි. ප්‍රසන්න සිත් ඇති හෙතෙම කයින් වචනයෙන් මනසින් දානමය ශීලමය භාවනාමය ත්‍රිවිධ පුණ්‍ය වස්තුව අනුව සිටියි. හෙතෙම එහි විපාකය මෙලොවදී හෝ දෙවන භවයේදී හෝ ඉන් අන්‍ය වූ භවයක දී හෝ විඳියි. මෙසේ ඔහුට අවිද්‍යා හේතුවෙන් සංස්කාර වේ. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය වේ. විඤ්ඤාණ හේතුවෙන් නාමරූප වේ. නාමරූප හේතුවෙන් සළායතන වේ. සළායතන හේතුවෙන් සැපවේදනා ස්පර්ශය වේ. ස්පර්ශ හේතුවෙන් වේදනාව වේ. මෙසේ ඇත්තා වූ ඒ සැපය අනුව යයි. මෙසේ අන්‍ය අන්‍ය බවකට පෙරලෙන වේදනාව නිසා ඔහුට තණ්හාව ඇති වේ. තණ්හා හේතුවෙන් උපාදානය වේ. -පෙ- හටගැනීම වෙයි.
එහි යමක් මනස වේ ද යමක් මනෝපූර්වංගම වේ ද යමක් සුඛ වේ ද ඒවා පංචස්කන්ධය යැයි කියනු ලැබේ. දුක්ඛ සත්‍යය ඒවාට පළමු හේතුව විය. අවිද්‍යාව හා භව තණ්හාව සමුදය සත්‍යයයි. ඒවා අවබෝධ කරනු පිණිස, ප්‍රහාණය කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරති. දුක අවබෝධ කරනු පිණිසය. දුක හටගැනීමේ හේතුව (=සමුදය) ප්‍රහාණය කරනු පිණිසය, දුක හටගැනීමේ හේතුව (=සමුදය) ප්‍රහාණය කරනු පිණිසය. යමක් කරණ කොටගෙන වෙසෙසින් දැනගනී ද යමක් කරණ කොටගෙන ඉවත් කෙරේද මේ මාර්ගයයි. යම්තැනක මාර්ගය පවතී ද ඒ නිරෝධයයි. මේ සතර සත්‍යය මෙසේ ආයතන ධාතු, ඉන්‍ද්‍රිය දොරටුවලින් ද වෙන්කළ යුතුය. එහි සමුදය සත්‍යයෙන් ආශ්වාදයයි. දුක්ඛ සත්‍යයෙන් ආදීනවයයි. මාර්ග නිරෝධ සත්‍යවලින් නිස්සරණයයි. සැපයේ අනුපිළිවෙල ඵලයයි. ප්‍රසන්න මනසින් වන කායික වාචසික උත්සාහය උපායයි. මනස පෙරටුකොට ඇති බැවින් තමාට සැප කැමති ප්‍රසන්න වූ සිතින් චෙතෙසික ධර්ම පිළිබඳ වචී කර්මය ද කාය කර්මය ද පැවැත්විය යුතුය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආඥාවයි. මේ දේශනා හාර සම්පාතයයි.
එහි විචය හාර සම්පාතය කවරේ ද? සිතන හෙයින් අරමුණ දැනගන්නා හෙයින් මන නම් වේ. මනන ලක්‍ෂණයෙහි යෙදුණු දේ කෙරෙහි ආධිපත්‍යය ඇති කරන බැවින් පූර්වංගම නම් වේ. උත්සාහයක් නොමැති හෙයින් ආත්මයක් නැති ජීවයක් නැති අර්ථයෙන් ධම්ම නම් වේ. ගම්වල ප්‍රධානියා ගාමණී මෙන් ප්‍රධාන අර්ථයෙන් මේවා අකුනේ මනස ශ්‍රේෂ්ඨ වේ යන අර්ථයෙන් මනොසෙට්ඨ නම් වේ. සහජාත ආදී ප්‍රත්‍යයක් වූ මනසින් නිපන්නේනුයි මනොමය නම් වේ. කිලිටි නැති බැවින් ද අරමුණ විශ්වාස කරන බැවින් ද ප්‍රසන්න වූ (බැවින් පසන්නෙන නම් වේ.) වාග් විඥප්තිය පැතිරෙන බැවින් ද එසේම (එය) භාරගන්නා බැවින් ද භාසති නම් වේ. සෙලවෙන කාය විඥප්තිය පැතිරෙන බැවින් ද එසේම (එය) භාරගන්නා බැවින් ද කරොති නම් වේ. එසේ යෙදුණ බැවින් ද නොවෙනස් බැවින් ද තතො යයි කියන ලදී. සුව බැවින් ද සැප බැවින් ද ඉටු බැවින් ද සුඛ යැයි කියන ලදී. රැස්කරන ලද බැවින් ද නොපැසුණු විපාක ඇති බැවින් ද අන්‍වෙති යයි කියන ලදි. කාරණයට අයත් පැවතුම් ඇති බැවින් ද හැර නොයන බැවින් ද ඡායාව අනපායිනී යි කියන ලදි. මේ පදයක් පාසා පිරික්සීම් වශයෙන් වූ විචය හාර සම්පාතයයි.
එහි යුක්ති හාර සම්පාතය කවරේ ද? චෛතසික ධර්මයන්ගේ ආධිපත්‍ය යෝගයෙන් මනසේ පෙරටු බව යෙදෙයි. එහෙයින් ම ඒ ධර්මයන් මනසට අනුව පවත්නා හෙයින් මනෝ ශ්‍රේෂ්ඨත්වය යෙදෙයි. සහජාත ආදී ප්‍රත්‍ය ලෙසින් මනසින් උපන් බැවින් ධර්මයන්ගේ මනෝමයත්වය යෙදෙයි. ප්‍රසන්න මනසින් හටගත් කායවාක් කර්මයන්ගේ කුශලභාවය යෙදෙයි. යමකින් කුසල කර්මය රැස් කරන ලද ද එය සෙවණැල්ල මෙන් සැපය අනුව යේ යැයි යෙදෙයි. මේ යුක්තිහාර සම්පාතයයි.
එහි පදට්ඨාන හාර සම්පාතය කවරේ ද? මනස මනෝපවිචාරයන් ආසන්න කාරණයයි. මනස පෙරටුකොට ඇති ධර්ම සියලු කුසල පක්‍ෂයට ආසන්න කාරණ වෙයි. භාසති යනු සම්මා වාචාවයි. කරොති යනු සම්මා කම්මන්තයයි. ඒවා සම්මා ආජීවයේ ආසන්න කාරණයයි. සම්මා ආජීවය සම්මා වායාමයේ ආසන්න කාරණයයි. සම්මා වායාමය සම්මා සතියේ ආසන්න කාරණයයි. සම්මා සතිය සම්මා සමාධියේ ආසන්න කාරණයයි. මනසා පසන්නෙන යන මෙහි ප්‍රසාද යනු සද්ධා ඉන්‍ද්‍රියයි. එය සීලයේ ආසන්න කාරණයයි. සීලය සමාධියේ ආසන්න කාරණයයි. සමාධිය ප්‍රඥාවේ ආසන්න කාරණය වේයයි විමුක්ති ඥාන දර්ශනය දක්වා යෙදිය යුතුය. මෙය පදට්ඨානහාර සම්පාතයයි.