දේශනා හාර සමපාත වර්ණනාව
මෙසේ මනාව පිරියම් කරන ලද බිමෙක නන් වන් පිපුණු මල් විසුරුවන්නාක් මෙන් ද සුශික්‍ෂිත වූ ශිල්පාචාරීන් විසින් විමසන ලද සුරත්පැහැ ස්වර්ණාලංකාරයන්හි නොයෙක් රශ්මි ජාලාවන්ගෙන් බබළන විවිධ වූ මාණික්‍ය රත්නයන් බඳින්නාක් මෙන් ද මහ පොළව පෙරළා බිම්මල් යුෂය කන්නාක් මෙන් ද යොදුනක් දිග මීවදයක් මිරිකා ඉතා මිහිරි වූ මධුරසය පොවන්නාක් මෙන් ද ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් වහන්සේ නොයෙක් නොයෙක් සූත්‍ර කොටස් ගෙනහැර පාමින් සොළොස් හාරයන් බෙදා දක්වා දැන් ඒවා එකම සූත්‍රයක යොදා දක්වමින් හර සම්පාතවාරය ආරම්භ කළ සේක. පටන් ගනිමින් ද නිද්දේස වාරයේදී –
සොළස හාරා පඨමං, දිසා ලොචනතො දිසා විලොකෙත්‍වා,
සංඛිපිය අංකුසෙන හි, තයෙහි තීහි නිද්දිසෙ සුත්තන්ති
‘පළමුකොට බ්‍යඤ්ජන පර්යේෂණ හෙයින් සෝළස හාරයෝ යෙදිය යුතුයි. දිසාලෝචන නයින් ප්‍රථම දිශා ආදිය බලා අංකුස නයින් දිශාභූත ධර්මයන් සූත්‍රයෙන් නිර්ධාරණය කොට නන්‍දියාවත්තාදී අර්ථනයත්‍රයෙන් සූත්‍රය වර්ණනා කරන්නේය.’
යම් ඒ ගාථාවක් කියන ලද ද යම්හෙයකින් හාරවිභංග වාරය එය යොදා නොගනී. විසිරුණු විෂය ඇති බැවින් ද නය විචාරයේ මධ්‍යගත බැවින් ද නොයෙක් සූත්‍ර කොටස්වලින් හාරයන්ගේ විභාග දැක්වීමම හාර විභංග වාරයයි. හාර සම්පාත වාරය වනාහි එය යොදයි. එකම සූත්‍ර කොටසෙහි සොළොස් හාරයන් යොදා ඉන් අනතුරුව නය සමුට්ඨානය කියන ලද බැවිනි. එහෙයින් සොළස හාරා කුහිං දට්ඨබ්බො? හාරසම්පාතෙ යන්න කියන ලදි. එහි අර්ථය නම් ඒ ගාථාවේ නිර්දේශය කොහි දතයුතු ද යනුයි. මෙයින් සූත්‍රයන්හි හාරයන්ගේ යෙදීම් න්‍යාය දැක්වීම හාරසම්පාත වාරය යැයි දක්වයි. හාරසම්පාත යන පදයේ අර්ථය කියන ලදමය.
අරක්ඛිතෙන චිත්තෙන යනු චක්‍ෂු ද්වාරාදිය ඇතිකල්හි ආරක්‍ෂාව නොමැතිකමින් නොරක්නා ලද සිතින් යනුයි. මිච්ඡා දිට්ඨිහතෙන යනු ශාස්වත ආදී මිථ්‍යා දෘෂ්ටිවලට පැමිණීමෙන් දූෂිත වූ යනුයි. ථීනමිද්ධාභිභුතෙන යනු සිතෙහි ද කයෙහි ද කල්‍යාණ නොවන ලක්‍ෂණයන්ගෙන් යුත් ථීනමිද්ධ දෙකින් යටපත් කරන ලද යනුයි. වසං මාරස්ස ගච්ඡති යනු ක්ලේශ මාරාදීන් විසින් කැමති පරිදි කළහැකි කටයුතු ඇත්තේ වෙයි යන මෙය ගාථාවේ පදාර්ථයයි.
පමාදං යනු නොරක්නා ලද සිතින් යන මෙම පදය දොරටු සයකදී සිහිය අත්හැරීමේ ලක්‍ෂණය වූ ප්‍රමාදය කියයි යනුයි. තං මච්චුනො පදං යනු ඒ ප්‍රමාදය ගුණ මරාදමන හෙයින් මච්චුසංඛ්‍යාත මාරයාගේ වසඟයේ පවත්නා තැනයි. එහෙයින් නොරක්නා ලද සිතින් මාරයාගේ වසඟයට යයි යන පළමු පාදය සතරවැනි පාදය සමග සම්බන්ධකොට දක්වයි. සො විපල්ලාසො යනු අනිත්‍ය වූ පංචස්කන්ධය නිත්‍යය යන යම් දැකීමක් වේද ඒ විපර්යාසය වැරදි ගැනීමකි. එහෙයින්ම විපරීතග්ගාහ ලක්ඛණො විපල්ලාසො යි කියන ලදි. සියල්ල විපර්යාස යන සාමාන්‍ය ක්‍රමයෙන් ගෙන එහි අධිට්ඨානය කිං විපල්ලාසයකි යනුවෙන් විමසයි. සාමාන්‍යයේ ද විශේෂය අධිෂ්ඨාන භාවයෙන් ව්‍යවාහර කෙරේනුයි සඤ්ඤං චිත්තං දිට්ඨිං යයි කියන ලදි. එය විපල්ලාසයකි යන පදයෙන් සම්බන්ධ කළයුතුය. ඒවායින් සඤ්ඤා විපල්ලාසය සියල්ලට වඩා මෘදුය. තණකොළවලින් සෑදු පුරුෂ රූවල පුරුෂයෙක් යනුවෙන් මුව පොව්වන් තුළ ඇති වූ හැඟීම මෙන් අනිත්‍ය ආදි විෂයයේ මිථ්‍යා වශයෙන් එළඹ සිටි ආකාරය ගැනීම් පමණකි. චිත්ත විපල්ලාසය ඊට වඩා බලවත් ය. මැණික් නො වන ආදි දේ විෂයයෙහි මැණික් ආදි ආකාරයෙන් එළඹ සිටි විට නිත්‍යාදි වශයෙන් සිටීම් මාත්‍රය එසේ සනිටුහන් වනු මෙනි. දිට්ඨි විපල්ලාසය වනාහි සියල්ලට වඩා බලවත්ය. යම් යම් අරමුණක් යම් යම් ආකාරයකින් එළඹ සිටී ද එය ඒ ඒ ආකාරයෙන් ශාස්වතාදී වශයෙන් මෙයම සත්‍යය අනෙක් ඒවා බොරුය යනුවෙන් ඇතුළත්ව පවතී. එහි සඤ්ඤා විපල්ලාසය චිත්ත විපල්ලාසයේ හේතුවයි. චිත්ත විපල්ලාසය දිට්ඨි විපල්ලාසයේ හේතුව වෙයි.