විචය හාර සමපාත වර්ණනාව
මෙසේ දේශනාහාර සම්පාතය දක්වා දැන් විචයහාර සම්පාතය දක්වනුයේ යම්හෙයකින් දේශනා හාරයේ පදාර්ථ විමසීම විචරය හාරය වේ ද එහෙයින් දේශනාහාරයෙහි විපර්යාස හේතුව ලෙසින් වෙන්කොට ගත් තණ්හාවේ කුශල ආදී විභාගය විමසීම් මුඛයෙන් විචයහාර සම්පාතය දක්වන්නට තත්ථ තණ්හා දුවිධා යනාදිය අරඹන ලදි. එහි කුසලා යනු කුසලධර්ම පිළිබඳ අරමුණු ය. මෙහිදී කුසල ශබ්දය බාහිතික සූත්රයේදී මෙන් අවිද්යාර්ථයේ දතයුතුය. මෙහිදී කවර හෙයින් තණ්හාව කුශල පර්යායෙන් උපුටන ලද ද? ඉහත දේශනාහාරයෙහි විපර්යාස හේතුව ලෙසින් තණ්හාව උපුටා ඊට අනුකූලව සංකිලේස පක්ෂය දක්වන ලදි. විසිතුරු වැටහීම් ඇති බැවින් මෙහිදී ද තණ්හා ශීර්ෂයෙන් වොදාන පක්ෂය දක්වන්නට කුසල පර්යායෙන් තණ්හාව උපුටන ලදි. එහි සසරට යේ නුයි සංසාරගාමිනි නම් වේ. සසරේ නායිකාව යන අර්ථයයි. අපචය නම් නිවනට යේනුයි අපචයගාමිනී නම් වේ. කෙසේ නම් තණ්හාව අපචයගාමිනී වේ ද? (ඊට පිළිතුරු) ප්රකාශ කරන ලදි. පහාණ තණ්හා යනු තදංග ප්රහාණයට හේතු වූ තණ්හාවයි. කෙසේ නම් ඒකාන්තයෙන් සාවද්ය වූ තණ්හාවේ කුශල භාවයක් ඇතිවේ ද? ඇසුරුකළ යුතු බැවිනි. තණ්හාව යම් සේ ද මෙසේ මානය ද කුසල යනුවෙන් ද අකුසල යනුවෙන් ද දෙවැදෑරුම්ය. තණ්හාව ම පමණක් නොව තණ්හාව දැක්වීම් වශයෙන් මානය කියන ලදි.
එහිදී මානය පිළිබඳව කැමති පරිදි කුසල ආදී ස්වරූපය දක්වන්නට යං මානං නිස්සාය යනාදිය කියන ලදි. ‘දේවානමින්දය, මම මානය ද දෙවැදෑරුම්ව දක්වමි. ඇසුරු කළ යුතු හා නොකළ යුතු වශයෙනි’ යනුවෙන් මෙය භාග්යවතුන් වහන්සේ විසින් ද ප්රකාශ කරන ලදි. යං නෙක්ඛම්මසිතං දොමනස්සං යනාදිය කුසල යැයි කියන ලද තණ්හාවේ ස්වරූපය දැක්වීම සඳහා කියන ලදි. එහි නෙක්ඛම්මය ඇසුරු කළ දොම්නස නම් (මෙයයි).
එහි නෙක්ඛම්මය ඇසුරු කළ සවැදෑරුම් දොම්නස කවරේ ද? රූපයන්ගේ අනිත්යතාව දැනගෙන විපරිනාම විරාග නිරෝධය රූපයට පෙරසේ ම දැනුදු ඒ සියලු රූප අනිත්යය දුකය වෙනස්වන ස්වභාව ඇතැයි තතු පරිදි මනා ප්රඥාවෙන් දැක අනුත්තර වූ විමෝක්ෂයන්හි කැමැත්ත එළවාලයි. ආර්යයෝ දැන් යම් ආයතනයකට පැමිණ වෙසෙත් ද, මම කවදා නම් ඒ ආයතනයට පැමිණ වෙසෙම්ද යනුවෙන් අනුත්තර වූ විමෝක්ෂයන්හි කැමැත්ත (ආශාව) එළවනුයේ ආශාව උපදී. ආශා හේතුවෙන් (ආශාව) එළවනුයේ ආශාව උපදී. ආශා හේතුවෙන් දොම්නස ඇතිවේ. මෙවන් වූ යම් දොම්නසක් වේ ද එය නෙක්ඛම්ම සිත දෝමනස්ස යැයි කියනු ලැබේ.
මෙසේ සදොරෙහි ඉෂ්ට වූ අරමුණු ඉන්ද්රිය හමුවට පැමිණි කල්හි අනුත්තර විමෝක්ෂ සංඛ්යාත ආර්ය ඵල ධර්මයන්හි ආශාව ඇතිකොට ගෙන එය ලැබීම සඳහා අනිත්යාදී වශයෙන් විදර්ශනාව එළවා උත්සුක කිරීමට ද නොහැකි පුද්ගලයාට මේ පක්ෂය ද මේ මාසය ද මේ වසර ද විදර්ශනාව පිළිබඳව උත්සුක කරවා ආර්ය භූමියට පැමිණෙන්නට නොහැකියැයි ශෝක කරන්නා තුළ ඇති වූ දොම්නස නෙක්ඛම්ම වශයෙන්, විදර්ශනා වශයෙන් අනුස්සති වශයෙන්, ප්රථමධ්යානාදි වශයෙන් ප්රතිපත්ති හේතුවක් නොමැති බැවින් උපදිනුයේ නෙක්ඛම්ම සිත දොම්නස නම් වේ. අයං තණ්හා කුසලා යනු මේ පිහා යැයි කියන ලද තණ්හාව කුසල වේ යනුයි. කෙසේද? රාග විරාගා චෙතො විමුත්ති තදාරම්මණා කුසලා යන මෙය කියන ලද්දේ වෙයි. රාග විරාගයෙන් චේතෝ විමුත්තිය වේ. ස්වභාවයෙන් කුසල් නොවේ. නිවැරදි අර්ථයෙන් කුසල් වේ. ඒ උදෙසා පැවති එහි අරමුණ වන තණ්හාව කුසල් අරමුණක් බැවින් කුසල වේ. අවිද්යා විරාගයෙන් පඤ්ඤා විමුත්තිය වේ. නිරවද්ය අර්ථයෙන් කුසල වේ. තස්සා යනු පඤ්ඤා විමුත්තියෙහිය. යම් ප්රයෝජනයක් ලෙසින් තස්මා රක්ඛිත චිත්තස්ස යන ගාථාවෙහි සියලු දුගති දුරු කෙරේ යයි කියන ලද ද,
මෙසේ අධිකව විදර්ශනා පිරිවෙස වැස දුක්ඛ පටිපදාව දන්ධාභිඥාවෙන් අවබෝධ කළ කල්හි පඤ්ඤා විමුත්තිය ලෙසින් විචයහාර සම්පාතය දක්වන්නට තස්සාකො පවිචයො යනාදිය අරඹන ලදි. එහිදී යම්හෙයකින් පඤ්ඤා විමුත්තිය ආර්ය මාර්ග මූලික වේ ද එහෙයින් චතුර්ථ ධ්යානයට පාදක වූ ආර්ය මාර්ග ධර්ම උදෙසා ඒවායේ ආ පිළිවෙල දක්වන්නට කත්ථ දට්ඨබ්බො චතුත්ථජ්ඣානො යයි කියන ලදී. එහි පාරමිතාය යනු උසස් බවට පැමිණි චතුර්ථ ධ්යාන භාවනාවේ ය. යම් අංග අටකින් යුක්ත වූ චතුර්ථධ්යාන සිත ප්රකාශ කරන ලද ද ඒ අංග දක්වන්නට පරිසුද්ධං යනාදිය කියන ලදි.