පරිවර්තන හාර විභංග වර්ණනාව
තත්‍ථ කතමො පරිවත්තනො හාරො යනු පරිවර්තන හාර විභංගයයි. එහි යම්හෙයකින් වර්ණනා කරනු ලබන සූත්‍රයෙක දක්වන ලද පරිදි කුසල අකුසල ධර්මයන්ට ප්‍රතිපක්‍ෂ වූ අකුසල කුසල ධර්මයන් ප්‍රහීණ කළ යුතු බැව් ආදී වශයෙන් වෙන්කිරීම ප්‍රතිපක්‍ෂ වශයෙන් පරිවර්තනයයි. එහෙයින් සම්මා දිට්ඨිස්ස පුරිස පුග්ගලස්ස මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති යනාදිය අරඹන ලදි. එහි මනාව පසසන ලද සුන්දර වූ දෘෂ්ටිය මෙහි ඇත්තේනුයි සම්මා දිට්ඨි නම් වේ. එහිය. ඒ සම්‍යග් දෘෂ්ටිත්වය පූර්වභාග සම්මා දිට්ඨියෙන් හෝ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් හෝ දතයුතුය. මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්නා හොති යනු පළමු ක්‍රමයෙන්දී විදර්ශනා සම්මා දිට්ඨිය ප්‍රහීණ වෙයි. යටපත් කරන ලදී යන අර්ථයයි. අවසන් ක්‍රමයේදී පළමු මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් ප්‍රහීණ වූයේ මුලින් සිඳදමන ලද්දේය යන අර්ථයයි.
යෙ චස්ස මිච්ඡාදිට්ඨිපච්චයා යනු මිථ්‍යාවට බැසගැනීමට හේතු වූ ආර්යයන් නොදකිනු කැමති බව ආදී ද ලෝභාදිය ද ප්‍රාණඝාතාදිය ද යන මේවායි. අනෙකෙ යනු ලාමකාර්ථයෙනි. පාපකා යනු අදක්‍ෂභාවය ඇතිකර වූ අර්ථයෙනි. අකුසල්දහම් උපදින්නාහ. අරඹන ලද විදර්ශනා ඇති මේ ආර්ය පුද්ගලයාගේ ද, ධම්මා යනු සමථ විදර්ශනාදි ධර්ම හෝ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෝය. නූපන් ධර්ම උපදී. උපන් ධර්ම වර්ධනයට පරිපූර්ණත්වයට පත්වෙත්. සම්මා සංකප්පස්ස යනාදියේ ද මේ ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. මේ වනාහි විශේෂයයි. සම්මා විමුක්ති ආදියේ මිච්ඡා විමුත්තිය නොමිදුනේම අපි මිදුනෙමුයි යන මෙවන් හැඟීම් ඇත්තෝ හෝ අවිමුක්තියෙහි විමුක්ත සංඥා ඇත්තෝය. මේ එහි වචනාර්ථයයි. අසත්‍ය වූ පාපී වූ විමුක්තිය හෙවත් විමොක්‍ෂය මෙහි ඇත්තෝනුයි මිච්ඡා විමුත්ති නම් වේ. අංග අටකින් යුත් මිච්ඡා විමුක්තිය කියන ලද ආකාරයෙන් මිථ්‍යාභිනිවේශ වශයෙන් පැවති අන්ත දෙක පිළිබඳ ලක්‍ෂණයන්ය. සම්මා විමුත්තිය වනාහි ඵලධර්මයන් ය. මිථ්‍යා දෘෂ්ටිකයන් ඇසුරුකරන බැවින් හෝ මිච්ඡා විමෝක්‍ෂය මිච්ඡා විමුත්ති නම් වේ. මිච්ඡා විමුත්ති ඤාණ දස්සනං වනාහි මිථ්‍යා විමොක්‍ෂයෙහි ද මිථ්‍යා දෘෂ්ටියෙහි ද සාරය යැයි ගැනීම් වශයෙන් පැවති අකුසල් සිත් ඉපදවීම යටපත් පිරිසෙයින් පාපයක් කොට මා විසින් මනාව කරන ලදැයි සිහිකරන්නාට උපන්නා වූ මෝහය ද වේ. සම්මා විමුත්ති ඤාණදස්සනස්ස යන මෙහි ශෛක්‍ෂයන්ගේ ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණය සම්මා විමුත්ති ඤාණ දර්ශනය යැයි අදහස් කරන ලදි. එය වනාහි මත්තෙහි භාවනා පරිපූර්ණත්වය පිණිස පවතී.
මෙසේ සම්මා දිට්ඨි ආදී ප්‍රවේශයෙන් මිථ්‍යාදෘෂ්ටි ආදිය දක්වා නැවත පාණාතිපාතා අදින්නාදානා කාමෙසු මිච්ඡාචාර ආදියෙන් වැලකීම්වලින් පාණාතිපාතාදීන්ගේ පරිවර්තනය දක්වන්නට යස්ස යනාදිය අරඹන ලදි. එහි කාලවාදිස්ස යනු ලක්‍ෂණ වචනයකි. කාලයෙන් කරුණු සහිත කෙළවර ඇති අර්ථවත් වූ දෙය. එය සම්පප්‍රලාපය ප්‍රහාණය පිණිස පිළිපන්නේ යැයි කියන ලදි.
නැවත යෙ ච ඛො කෙචි යනාදියෙන් සම්මා දිට්ඨි ආදී ප්‍රවේශයන්ගෙන්ම මිථ්‍යාදෘෂ්ටි ආදියෙන්ම වූ පරිවර්තනය වෙනත් ආකාරයකින් දක්වයි. එහි සන්දිට්ඨිකා යනු ප්‍රත්‍යක්‍ෂ වූ යනුයි. සහධම්මිකා යනු කරුණු සහිත යනුයි. ගාරය්හා යනු ගැරහිය යුතු යනුයි. වාදානුවාදා යනු වාදය ද අනුවාදය ද යන දෙකයි. වාදානුපාතා යැයි ද පාඨයක් වේ. වාදය අනුව පැවැතීම් යන අර්ථයයි. පුජ්ජා යනු පූජනීය යනුයි. පාසංසා යනු පැසසිය යුතු යනුයි.
නැවත යෙ ච ඛො කෙචි යනාදියෙන් මධ්‍යම ප්‍රතිපදාවේ අන්ත දෙක පිළිබඳ පරිවර්තනය දක්වයි. එහි භුඤ්ජිතබ්බා යනාදී පද සතර වස්තුකාම වශයෙන් යෙදිය යුතුය. භාවයිතබ්බා බහුලීකාතබ්බා යන පද දෙක ක්ලේශකාම වශයෙනි. තෙසං අධම්මො යනු වැඩිය යුතු ධර්ම වන්නේය යනුයි. ඒවායින් කාමයන් වැඩිය යුතුයි කැමති විය. කාමයන්ගෙන් වෙන්වීම කාමයන්ට ප්‍රතිපක්‍ෂ වූයේය. මෙසේ ඒවායින් මේ අධර්මයට පැමිණේ යන අදහසයි.
නිය්‍යාණිකො ධම්මො යනු විදර්ශනාව සමග වූ ආර්ය මාර්ගයයි. දුක්ඛො යනුවෙන් පාපය ගෙවා දමමුයි පැවති ශරීර තාපනය කියවේ. සුඛො යනු නිවැරදි වූ ප්‍රත්‍ය පරිභෝග කරන සැපයයි. මේ වාරයන්හිද කියන ලද ක්‍රමයෙන්ම අධර්ම භාවයට පැමිණීම කිවයුතුයි. දැන් අසුභ සංඥා ආදී ප්‍රවේශයෙන් සුභ සංඥා ආදියේ පරිවර්තනය දක්වන්නට යථා පන යනාදිය කියන ලදි. අරඹන ලද විදර්ශනා ඇත්තහුගේ කෙලෙස් නමැති අශුචි වැගිරීම් වශයෙන් ත්‍රෛභූමක සංස්කාරයන් අශුභ වශයෙන් එළඹ සිටී යයි තීරණය කර සබ්බ සංඛාරෙසු අසුභානු පස්සිනො විහරතො යි කියන ලදි. යං යං වා පන යන ආදියෙන් ප්‍රතිපක්‍ෂ වූ දෙයෙහි ලක්‍ෂණ දක්වයි. එහි අජ්ඣාපන්නො යනු අධි ආපන්නො යන පද දෙකයි. සමීපයට පැමිණියේ හාත්පසින් දත්තේ යන අර්ථයයි.
පරිවර්තන හාර විභංග වර්ණනාව නිමි.
වෙවචන හාර විභංග වර්ණනාව
තත්‍ථ කතමො වෙවචන හාරො යනු වෙවචන හාර විභංගයයි. එහි යම්සේ වෙවචන නිර්දේශය වෙයි ද එය දක්වන්නට එකං භගවා ධම්මං අඤ්ඤමඤ්චෙහි වෙවචනෙහි නිද්දිසති යි කියන ලදි. වෙවචනෙහි යනු පර්යාය ශබ්දයන්ගෙන් යන අර්ථයයි. පදාර්ථය මුලදී කියන ලද ම ය. භාග්‍යවතුන් වහන්සේ කවර හෙයකින් එක් ධර්මයක් නොයෙක් පර්යායන්ගෙන් දක්වන සේක් ද? කියනු ලැබේ. දේශනා කාලයෙහි ද මත්තෙහි ද කිසිවෙක්, කෙසේනම් යන අර්ථ අවබෝධය පරියාය වචනයෙන් වෙයි. එකෙණෙහි වික්‍ෂිප්ත වූ සිත් ඇති වෙන දෙසකට යොමු වූ සිත් ඇති අයට අන්‍ය ක්‍රමයකින් ඒ අර්ථාවබෝධය කරනු පිණිස පර්යාය වචනය යොදාගැනේ. එහිදී ඒ පදයෙන්ම ඉන් අන්‍ය වූ පදවල පුනරුක්ත අවබෝධ වන්නේය. මන්දබුද්ධිකයන්ට නැවත නැවත ඒ අර්ථ සලකුණෙහි නොමුළාවීම පිණිස පර්යාය වචන යොදා ගැනේ. නොයෙක් අර්ථ සමාන ව්‍යඤ්ජන සහිත වෙත් යන යම් අර්ථාන්තර පරිකල්පනයක් වේ ද එය දුරුකරනු පිණිස ද පර්යාය වචනය යොදා ගැනේ. නොදන්නා වචනයකදී විවිධ වූ ඒ ඒ සංඥාවන්ගෙන් ඒ ඒ අර්ථ හැඟවීම පිණිස ද පර්යාය වචන යොදාගැනේ. නිඝණ්ඩු ශාස්ත්‍රයෙහි මෙනි. පෙළ අර්ථය අවබෝධ කරගන්නා ධර්ම කථිකයන්ගේ සුඛසිද්ධිය පිණිස ද පර්යාය වචන යොදාගැනේ. හික්මවිය යුතු පුද්ගලයන්ට තමන්ගේ ධර්ම නිරුක්ති පටිසම්භිදා සම්පත් විභාවනය කරනු පිණිසත් එහි බීජ වපුරනු පිණිසත් භාග්‍යවතුන් වහන්සේ පර්යාය වචන නිර්දේශ කරන සේක.